“පාපන්දු ක්‍රීඩාවේදී හැම විටම මානසික ශක්තිය ගැන අපි කතාකරනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි මම තරම් මානසික ශක්තියක් තියාගෙන පාපන්දු ක්‍රීඩාවේ ඉස්සරහට ආපු කෙනෙක් ගැන ඔයාලට අහන්න ලැබිලා නැතුව ඇති....”
පාපන්දුවක් හමුවේ ලොවක් ඇඳ බැඳ ගත් ඒ වසන්ත සමය නිමවිය. එසේත් නැතහොත් ප්‍රංශයට අලුත් වසන්තයක් උදාවිය. එහෙත් මෙවර පාපන්දු ලෝක කුසලානයේදී වෙනදා මතු නොවන රටවල් රැසක් ගැන, ක්‍රීඩකයන් රැසක් ගැන කතාබහ කරන්නට අවස්ථාව පෑදිණ. ලෝක කුසලාන තරගාවලියකදී තමන් දැක්වූ ඉහළම දස්කමට හිමිකම් කී බෙල්ජියමය ද ඒ අතර විය. අප කතා කරන්නට සූදානම් වන්නේ බෙල්ජියානු කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයකු වන රොමෙලු ලුකාකු තමන් මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන පසුගියදා මාධ්‍ය හමුවේ කළ අනාවරණයයි.
තම මානසික ශක්තිය ගැන දැඩි විශ්වාසයක් තැබූ ලුකාකු උපන්නේ ද හැදී වැඩුණේ ද බෙල්ජියමේය. තම මව්පියන් දුප්පතුන් බව ඔහුට වැටහෙන්නට පටන්ගන්නා විට ඔහුගේ වයස අවුරුදු හය පිරුණා පමණි.
“මම පොඩි කාලෙදිම දැනගත්තා අපි හරිම දුප්පත් පවුලක් කියලා. ඒත් තාත්තා පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පස්සේ අපි හොඳටම වැටුණා. මට මතකයි අම්මා අපට කිරි දුන්නේ වතුරත් එක්ක කලවම් කරලා. ඒක දැක්ක දවසෙම තමා මම හිතාගත්තේ මගේ පවුල දුප්පත්කමෙන් ගොඩගන්නවා කියලා...”
වයස අවුරුදු හයේදී තමා සිතට ඇතුළු කරගත් ඒ චිත්ත ශක්තිය ඔස්සේ ඔහු ඉදිරියට ගියේය. ඔහු කෙමෙන් කෙමෙන් තම අරමුණ කරා ළඟා වන්නට විය. එහෙත් ඒ සියල්ල කරන්නට වූයේ දුප්පත්කමත් බඩගින්නත් තුරුලු කරගනිමිනි.
“අම්මා කිසිදේකට බයවෙන්න එපා! අපේ හොඳ කාලේ ළඟ ළඟම එනවා” තම දරුවන්ට සැළකීමට නොහැකිව ළතැවෙන තම මවට ඔහු වරින් වර පැවසුවේය.
මවට වූ පොරොන්දුව රකිමින් ඔහු නොනැවතී ඉදිරියට ගියේය. වයස අවුරුදු 13දී බෙල්ජියමේ ඇති ප්‍රසිද්ධම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Anderlecht වෙත යාමේ වරම හිමිකරගත් ඔහු වයස අවුරුදු 16දී තරග 73කදී ගෝල 33ක් වාර්තා කිරීමට සමත් වූයේය. ඒ සමඟින් යුරෝපා පාපන්දු පිටිය තුළ අවධානය දිනාගත් ඔහු එංගලන්තයේ චෙල්සි පිළ වෙනුවෙන් පවුම් මිලියන 10 ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කළේය.
එදා බොන්නට හරිහමන් කිරි වීදුරුවක් නොතිබුණු කොලු ගැටයා අද අවුරුදු විසි පහක් සම්පූර්ණ වනවිට ලොව සිටින මිල අධික පාපන්දු තරුවක් වී හමාරය. අද වන විට පාපන්දු පිටියේ දක්ෂයන්ගේ කෙම්බිමක් බඳු මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ සෙන්ටර් ෆෝවර්ඩ් ක්‍රීඩකයකු වන ලුකාකුගේ මැන්චෙස්ටර් යුනයිටඩ් කොන්ත්‍රාත්තුවේ අගය පමණක් පවුම් මිලියන 75කට වැඩිය.
“අප්‍රිකානු සම්භවයක් තියෙන ගොඩක් විශාල ළමා පිරිසක් යුරෝපය පුරා ජීවත් වෙනවා. එයාලගේ අම්මා තාත්තලා, සමහරවිට සීයලා ආච්චිලා යුරෝපයට එන්න ඇත්තෙ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න හිතාගෙනයි. මම මේ කතා කරන්නේ අන්න ඒ දරුවෝ වගේම ලෝකය පුරා ජීවත්වෙන ලුකාකුව අඳුනන හැම දරුවකු වෙනුවෙන්මයි. මට පුංචි කාලෙදිම ජීවිතයට අරමුණක් ලැබුණා. ඒ අරමුණ ඔස්සේම ඉස්සරහට ගිහින් මම ජීවිතය ජයගත්තා. එය ඔබටත් කළ හැකියි”.