පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - එඩ්වඩ් ජයකොඩි
දෙනෙතින් නොගලන එනමුත් කඳුළක පැහැය ගත් මුදාහල ආශා දැහැනක හුදෙකලා ශේෂය යහනේ දකිනු රිසි පිරිමින් කොතැනකද? පණගසන පුරුෂත්වයක් අහිමි පිරිමියෙකුම මිස ගැහැනියකගේ ඉමිහිරි සුසුම් සරයකින් ආත්ම ඇතුළාන්තයේ ගැඹුර කිතිකවමින් නැගෙන හුස්මකින්, දැඟලිල්ලකින් යහන් තලාවේ ඇතිරිලිත් පොඩිවෙන වේදනාවෙන්ම ඉකිබිඳින සුයාමයක් සදිසි රාත්‍රීන් නොපතන පිරිමින් කොතැනකද?
නෙතට නුහුරු කඳුළු බින්දු
පැදුරට මුහුවෙලා හොරෙන්.......
කාව්‍යොක්ති, වාග් චිත්‍රණ, ව්‍යංගාර්ථ, ධ්වනිථාර්ථවලින් පද පිරිමැද ගීත ලියන කවිකාර ගී පද රචකයකුගේ ගීතයකින් හමුවූ මේ ගී පද දෙපදය මගේ සිතේ ඉපදවූ සිතුවිල්ලයි ඒ. ගීතය වූ කලී....
සිරියහනේ ලණු ඉහිරී
සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රෑ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ.......
ප්‍රේමයට වලංගු වන්නේ වසන්තය පමණකැයි නොකියන්නේත් කවි ගී සාහිත රස අතර සරණ රසවතුන්මය. ගිම්හානයේදීත් වසන්තයේ සුළඟට එන්නයැයි අඬගසන්නේත් සිත තවම තරුණයැයි සැමදාමත් සිතන සදාකාලික ප්‍රේමවන්තයන්ය. ප්‍රේමය එහෙමය. කාලයක්, නියතයක්, සම්මතයක්, සම්ප්‍රදායක්, කොන්දේසියක්, සංස්කෘතියක් ප්‍රේමයට වලංගු නැත. අනුරාගයත් එහෙමය. මේ කිසිදු සාධකයක් ඊට වලංගු නැත. ලේ නහර විනිවිද රස පහස ස්පර්ශ කළ හැකි ප්‍රාණවත් හද ගැස්මක් ඇත්නම් අනුරාගයේ දලු කොයි ගසේත් දලු ලෑ හැකිය. සිරියහන යනු සම්මත අරුතින් ගත් විට අලුත විවාපත් යුවළක් ප්‍රේමාලිංගනයේ රස සුව ස්පර්ශ අනන්ත විඳින භුක්තියේ සයනයයි. එහෙත් ඒ සුව විඳින කවර යුවළකගේ වුවත් යහන සිරියහනක් වේයැයි සිතේ. ගීතයෙන් කියවෙන්නේ ආදර අනුරාග සුව අහිමි ඒ සුව මනෝමය වශයෙන් විඳින හුදෙකලා අවිවාහකයෙක් ගැනයැයි අර්ථකථනය කළද ඊටත් ගැඹුරින් පද පිරික්සද්දී මේ ගීතයෙන් කියන්නේ විවාහයක සැප පෙර විඳි දික්කසාදයකින් හෝ වෙනත් සමුගැන්මකින් විවාහය දෙදරා ගොස් තනිවූවකුගේ ආත්මීය හදගැස්මයැයි මට සිතේ.
සිරියහනේ ලණු ඉහිරී... ලණු ඉහිරී යන්න ව්‍යංගාර්ථයකි. බැඳීම දෙදරා යාම, දුරස් වීම, බන්ධනය අහිමි වී යාම වැනි අරුතක් ඉන් කියන්නට අදහස් කරයි. ඒ දෙදරා යාම දුරස් වීම ඇතිවන්නේ සිරියහනකය. සම්මුති අර්ථයෙන් පෙර කීවාක් මෙන් සිරියහන යනු ආදර බැම්මෙන් බැඳුණු දෙදෙනෙකුගේ කායික සන්තර්පණයන් දරා හිඳින සුවයේ සයනයයි. ලණු ඉහිරෙන්නේ නිකම්ම නිකම් යහනක නොව සිරියහනකය. මේ ගීතයෙන් කියන්නේ අවිවාහකයෙක් ගැන නොව විවාහයේ බැම්ම දෙදරා ගිය හුදෙකලා වූවකුගේ චිත්ත සන්තාපයයැයි මට හැඟෙන්නේ එනයිනි. ඒ සිතුවිල්ලට තවත් සාක්ෂියක් ඒ ගීතයේම මුල් කොටසින් සපයයි.
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ....
ගැහැනුකමට වටිනාකමක් දුන් ගැහැනු අතක ස්පර්ශයක් ලබන නිවෙසක් සිරියාවන්තය. එවන් නිවෙසක මකුළු දැල් වියන්නට මකුළුවන්ට අවසර නැත.
සිරියහනේ ලණු ඉහිරී
සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රෑ...
සිරියහනේ ලණු ඉහිරීමෙන්, විවාහය කැඩී කය මනස වේදනාවෙන් සුසුම් ලද්දී මට උරුමව ඇත්තේ ඒ සුසුම පමණක් නොවේ. මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ... ඔබ නැති නිවෙස අපිළිවෙලය. යහනට උඩින් ශ්වේත පැහැ වියන් වෙනුවට ඇත්තේ වියනක් තරමට ඝනකම් මකුළු දැල්ය. මකුළු දැලක් මිහිදුමක් තරමට දුහුල්ය. ඒ දුහුල් මකුළු දැලින් වියනක් තරමට දැල් බැඳෙන්නට නම් සිරි සිරියේ මකුළු දැල් බැන්දත් කාලයක් තිස්සේ උන් බැඳි මකුළු දැල් එකතුවක් ඊට අවැසිය. ඔහුට ගැහැනියකගෙන් ලැබෙන මේ සියලු ඉසුරැ අහිමි වී ගොස් දැන් කාලයක් ගත වී ඇතැයි යන්න ගී පද රචකයා අපූරැ සංකේතයක් භාවිත කර කියන්නට යත්න දරතැයි මට සිතේ. අනිත් අතට මකුළු දැලක් යනු මකුළු නිවහනයි. මකුළු පැටවුන් වෙනුවෙන් උනුන් වෙනුවෙන් උන් සාදන නිවහන එයයි. උන්ටත් උන්ගෙම පැටවු... උන්ටත් උන්ගෙම පවුලක්.... මම තනි යහනක වැළපෙද්දී මට ඔච්චමට වගේ මගේ යහනට උඩින් උන් උන්ගේ පවුල උන්ගේ යහන හදාගෙන උන් පවුල් කන හැටි මට බලන්න කියනවා වගේ... රටේ ලෝකේ මිනිස්සු විතරක් නෙවෙයි සොබාදහමත් මට හිනාවෙනවා.... උන් ගෙවල් තනන්නෙත් පවුල් හදන්නෙත් රූ... නෙතට නුහුරු කඳුළු, මගේ ඉකිලන සිරුරින් මුදාහරින ඒ කඳුළු පාට කඳුළු මගේ පැටවුන් බවට පත්වෙන සිහිනයකට පණ නොදී නිරපරාදේ ගලා යනවා.... සඳ මෝරා රාග ගිනි අවුළුවන තනිකම වේදනාව දනවන මේ කළුවරේ මේ සිතුවිලිද ඒ තනි වූ ශෝකාතුර මනසේ නලියතැයි මට සිතේ.
මේ සියල්ල අතරේ,
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
යට ලීය අපූරු ව්‍යංගාර්ථයකි. ගීපද රචකයා කියන මේ යට ලීය, යටි හිතයි. ප්‍රේමයට අනුරාගයට කවර කොන්දේසියක්ද? වසන්ත ගිම්හාන ඍතු වෙනස ඊට අදාළ නැත. දෑතට සිරකරගෙන ළය මඬලට තුරුලු කරගෙන සිඹින්නට විඳින්නට මලක මෙලෙක ස්පර්ශ කරන්නට මල් පැණි රස දෙතොලින් දිවගින් විඳින්නට ඉඩ හසරක් නැතත් ඔහු යටි හිතේ මවා ගන්නා ස්ත්‍රී රූ අඟ පසඟ අතරේ ස්වයං මෝක්ෂයක් සොයා යයි.
නෙතට නුහුරු කඳුළු බින්දු
පැදුරට මුහුවෙලා හොරෙන්...
පැදුරක් සයනයක් තෙත් කරන්නට නෙතින් වැගිරෙන කඳුළක් සමත් නැත. ඒ කඳුළෙහි අවසන් ඉම කොපුල් තලයකින් පිට යන්නෙත් නැති තරම්ය. ගී පද රචකයා ඉවසිලිවන්ත ලෙස සාහිත රස අතුරා කියන මේ කඳුළ ජීව විද්‍යාත්මක කඳුළකි. වෙරළු මල් සුවඳක් සුළඟට මුසු කරන කඳුළකි.
නාරිලතා මල් පිපෙන කාලයට තපස් වඩන තවුෙසා් ඒ ඉසව් අත්හැර යතැයි කියති. ඒ තවුස් දැහැන් බිඳින්නට තරම් සොබාදහමේ ඒ නිමැවුම ස්ත්‍රී රූපශ්‍රීයේ පරම වේෂයක් වන හෙයිනි. ගී පද රචකයා කියන මේ යටි හිතේ පූදින්නේ නාරිලතා මල්ය. නාරිලතා මල හා සමකළ රෑපකය ස්ත්‍රී රුවයි. මලක් සළු වසා සුන්දරත්වය සඟවා නොසිටියි. ඒ සොබාදහමේ කැමැත්තයි. ගී පද රචකයා කියන මේ හුදෙකලා රාග මුල් නොසිඳී යටි හිතේ එසේනම් මැවෙන්නේ නග්න ස්ත්‍රී රෑපය. නග්න ස්ත්‍රී රුවක් යටි හිතේ මැවෙන්නට නම් ඔහු නග්න ස්ත්‍රී රුවක රසභාව මනසින් පමණක් නොව දෑසින් සහ ස්පර්ශයෙන් විඳි අයෙකි. නොවිඳි නොදුටු යමක් මනසින් හෝ දකින්නේත් විඳින්නේත් කෙසේද? ගී පද රචකයා සියුම් ලෙස ඒ ප්‍රශ්නය මතු කර දක්වයි. එසේනම් ඔහු පෙර ස්ත්‍රී කාම සම්භෝගයේ සුව වින්දෙකි.
සඳෙන් සඳට මුවාවෙලා
කල දවසත් ගෙවී ගිහින්...
කල දවස ගෙවෙනවා යනුවෙන් ගැමි වහරේ ව්‍යවහාර වන්නේ වයසට යාමය. ගී පද රචකයා කියන්නේ අවිවාහකයෙක් ගැනයැයි පූර්ණ උපකල්පනයකට එන්නට මේ යෙදුම ඇතැම් විචාරකයෙක් යොදාගත හැක. එහෙත් කලදවස ගෙවෙන්නේ අවිවාහකයෙකුගේ පමණක්ද? විවාහයක් දෙකඩ වී හුදෙකලා වූවකුගේ ඊළඟ විවාහ ප්‍රාර්ථනාව සපල වෙන තෙක් ගෙවී යන්නේද ඒ කල දවසමය. ඒ කල දවස ගෙවී යන්නේ සඳෙන් සඳට මුවා වීය.
සඳෙන් සඳ යන්න කාලය අරුත් ගන්වන්නට යොදා ගත් යෙදුමක් ලෙසටද අරුත් පසිඳිය හැකිය. එහෙත් සඳ මෝරද්දී ගැහැනුන්ගේ විලිරුදා ඉක්මන් වෙන බව උන්මත්තකයන්ගේ උන්මන්තක ස්වභාවය ඇවිස්සෙන බව, රාගික හැඟීම් දලුලන බව කියයි. ජීව විද්‍යාත්මක පදනමක සිට විග්‍රහ කළත් සඳ මෝරද්දී එකී භාවයන් උත්සන්න වෙන ගුණයක් ඒ කිරණෙහි ඇති බව සැබෑවක්යැයි විශ්වාස කරයි. කාලය ගෙවී ගොස් ඇත්තේ සඳෙන් සඳට මුවාවීය. ගෙවී ගිය කාලය සමඟ ඉපදී මිය යන නැවත නැවත උපදින පැදුර තෙමන කඳුළු බිඳු ලෙස අවසානයේ එළිදැකි හැඟීම් කොතෙක් ඔහු මනසේ දරා යටපත් කරගෙන සිටින්නට ඇත්දැයි මේ යෙදුම ඉඟිදෙන බව හැඟේ.
යහන තලා සැප හිඳිනා
පලදී නැතුවා පෙර පින්
ඇඳ රෙද්දේ සුසුම් කෙඳිරිලි නැගෙන්නට නම් ඇඳ රෙද්දේ පොඩි පාරවල් සිරි සිරියේ රැඳෙන්නට නම් පෙර පින් අවැසි යයි සිතෙන තරමට මේ නොලැබීම මට දුකකි. මේ දෙපදයෙන් පිළිබිඹු වන ධ්වනිථාර්ථය එයයි. ඔහුගේ ආසාව හා විඳවීම අතර පරතරය මෙන්ම කර්මය ගැනද ගී පද රචකයා කියන්නට තැත් දරයි.
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්
ගැහැනුන් ස්වභාවයෙන්ම කනකර අභරණවලට ප්‍රිය කරයි. රචකයා මාල වළලු නොතිත් අයට යන යෙදුමෙන් සංකේතවත් කරන්නේ ගැහැනියයි.
අප අමතක වෙලා ගිහින්.....
අමතකව ගොස් ඇත්තේ මා නොව අපය. අමතකව යන්නට නම් පෙර දැන හැඳුනුම්කමක් ඇසුරක් පැවතිය යුතුය. රචකයා මාල වළලු යන යෙදුමෙන් සංකේතවත් කරන්නේ ගැහැනියද ගණිකාවද යන කුකුසක් මෙතනදී මතුවේ. මාල වළලු යන යෙදුමෙන් බොහෝ අභරණ පළඳින මෝස්තරකාර ගණිකාවන් සංකේතවත් කළැයි සිතෙන්නේ අවසානයේ අමතකව ගොස් ඇත්තේ මා නොව අප යැයි කියන හෙයිනි. මාල වළලු යන යෙදුමෙන් තමන් ආදරය කළ එක් ස්ත්‍රීයක් ගැන සඳහන් කළා නම් අප අමතක වෙලා ගිහින් වෙනුවට මා අමතක වෙලා ගිහින් ලෙස යොදන්නට තිබුණි. මම විතරද ඒ සුව සොයා ගියේ යන හැඟුමෙන් තම අභිමානයත් සියල්ල අතරේ දරාගෙන අප අමතක වෙලා ගිහින් ලෙස යෙදුවේයැයි සිතේ. සිරියහනේ ලණු ඉහිරුණු කල සිරුරේ පවස ගින්දර නිවාගන්නට ඔහු මේ රති සුවත් සොයා ගියා යැයි ඒත්තු ගන්වන යෙදුමක් ලෙස ගීතයේ හමුවෙන නාරිලතා මල් පූදින්නේ යන පදයද දැක්විය හැක. නාරිලතා මලක් නොව ඔහුගේ යටි හිතේ පූදින්නේ නාරිලතා මල්ය. මලකට නොව මල්වලට පෙම් බඳින්නේ අනංගයෙක්ම මිස ප්‍රේමවන්තයෙක් නොවන බව සිතන්නටද මේ ගීය ගැඹුරු ඉමක සිට සිතට බල කරයි.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර