මම අහසට අහසක් තරමටත් වැඩියෙන් තරමක් ආදරෙයි. ඒ තරම කොච්චරක්ද කියලා මගෙන් අහන්න එපා. මට දෙන්න තියෙන්නෙ මෙහෙම උත්තරයක්.
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව....
ඔයා මගෙන් අහන්න එපා අහසකට අහසටත් වැඩියෙන් ආදරය කරලා මොනවද ඔයාට ඒ අහස දෙන්නෙ කියලා.
මම මහ පොළොවක්නම් ඒ මහා පොළොව මහා නියගයකින් හතර අතට පැලිලා වේලිලා ගිනියම් වෙලා දිය පොදකවත් පහසක් නැතුව නිරුදක කතරක් බවට පත්වෙලා තියෙද්දී ඒ මහ පොළොව මත්තට මහා වැස්සක් දන් දුන්නේ ඒ අහස... ඒ පොළොව මහා දිග කාලයකට පස්සේ සිහිලසකින් නිවා දැම්මෙ ඒ අහස මහා වැවක වතුර කඳක් බොන්න තරම් පිපාසයකින් පෙලිච්ච ඒ මහ පොළොව වතුර බිංදුවකින් හරි සනසන්න මනුස්සකමක් දැන් දුන්නෙ ඒ අහස... කවදාවත් තරැවක තරම්වත් අයිතියක් අහස දෙන්නෙ නෑ. ඒත් හිටිගමන් කල්ප කාලයක් තරම් දිග කාලවලින් පස්සෙ අහස උල්කාපාතයක් පොළොවට දෙනවා. ඒ අහසට දරාගන්න බැරි වේදනා සමුදායක එකතුවක් මම වෙනුවෙන් උඹ දරාගනින් කියන්න වගේ. ඒත් පොළොව අකම්පාව ඒ මහා උල්කාපාතය දරාගන්න ලෑස්ති වුණත් හුඟුක් වෙලාවට සොබාදහමේ නීතිය මහ පොළොවට අසාධාරණයක් කරන්නෙ නෑ. ඒ උල්කාපාත අතරමඟදී පුපුරලා යනවා. මහ පොළොවට එකතු කරන්නේ අළු ටිකක් විතරයි.
සඳ හරි අහංකාරයි. මලානික තරු එළියක සෝබර සුන්දරත්වයට මම ආදරෙයි. ඒ තරුව මාත් එක්ක මගේ දුක බෙදා ගන්න ලෑස්තියි. ඒත් හඳ අහසට එන්නෙම එයාගෙ අයිතිය කියාගෙන. එයා ලෝකයට පෙන්වන ලස්සන එයාගේ හදවතේ නෑ. එයාගේ හදවත හිස්ම හිස් කුහරයක් විතරයි. එයා ලෝකයේ අන්ධකාරය වහන්න එලන රත්තරන් පාට සළුවල දිස්නයක් තිබුණට ස්නේහයක් නෑ. අහසක් නොතිබුණානම් සඳක් නෑ. සඳ සඳක් වුණේ ඒ හදවත හුස්මක් ගන්නෙ අහස හින්දා. ඒත් කවද්ද සඳක් ඒක එහෙමයි කියලා හිතුවේ. සඳට ආදරේ කරන මිනිස්සුන්ගෙන්, සඳ විඳින මිනිස්සුන්ගෙන් මට හැමදාම අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ආදරේ කරන්නෙ සඳටද? සඳේ එළියටද?
සඳට දොස් කියන ගමන් අහසට ආදරේ කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්.. සින්නක්කර අයිතිය නෙවෙයි ආදරය කියන්නෙ... කොච්චර තුරුල්ලෙ හිටියත් දැනෙන්න ආදරය කරන්න බැරිනම්. හිත පතුල ගැඹුරු හුස්මකින් ඉඹින්න බැරිනම් මොකටද මගේ කියන සින්නක්කර අයිතියක්... මගේ කියන තැනට නෙවෙයි හිත ඇදෙන්නෙ මගේමයි කියන තැනට... හිතට දැනෙන්නේ අහක බලාගෙන ගන්න හුස්මක් නෙවෙයි හදවතේ ගැඹුරම ගැඹුරුම හුස්මකින් සිපගන්න හුස්මක්... සඳක් කවදාවත් අහස වෙනුවෙන් කඳුළක් හෙලන්නෙ නෑ... අහස අඬන්නේ පොළොව වෙනුවෙන්...
පොළොව අවුලුවන්නෙත් නිවන්නෙත් අහස... සල්ලාලකමට පොළොව ගිනියම් කරන්නත් ආදරණීයව පොළොව නිවන්නත් අහසට පුළුවන්...මම ඒ දුර අහසට ආදරෙයි
“ප්‍රේමයනම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න
ලෝබ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට බිඳකුත් නොසිතා”
එහෙම ආදරය කරන්න පුළුවන්නම්... මහ පොළොව අහසට ආදරය කරනවා වගේ ආදරය කරන්න පුළුවන්නම්... ඒ ආදරය බෝධිසත්ත්ව පාරමිතාවක්... ඒ ආදරය මහා දානයක්... නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන වනස්පතියක්... ඒත් එහෙම ආදරයක් මේ ලෝකෙන් ඔයා හොයන්න එපා... පපුව පැලෙන්න තරම් මම ආදරෙයි කියන කෙනෙක් ළඟ පපුව පැලෙන්න තරම් හදවත දියවෙන්න තරම් ඇත්තටම ආදරයක් තියෙනවද කියන එක හැඟීමෙන් නෙවෙයි බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන්නම් ඒ කියන තරම් ආදරය තිබුණත් නොතිබුණත් ලැබුණත් නොලැබුණත් දරාගන්න ඔයාට පුළුවන් වෙයි. වචනවල තවරලා හදවත මාත්තු කරන වචන ඇතුළෙ ගැල්වුණු ආදරය පුංචි අතපසුවීමක් රණ්ඩුවක් ළඟ මම ඔයාව දාලා යනවා... මට එපානම් මම ඔයාව අත්හැරලා දානවා කියන වචන බවට පරිවර්තනය වෙන්න පුළුවන් එක මොහොතකින් දෙකකින්...අත්හැරලා එපා කියලා අයින් කරලා දාන එක දරාගන්න ලේසියි... පුංචි දේකදීත් මම ඔයාව අත්හැරලා දානවා... කියන වචනයට වැඩිය... මට දැනෙන්නෙ හිතෙන්නෙ එහෙම. ආදරය පහනක් වගේ දල්වන්න... ඒත් තිර හදලා තෙල් වත් කරලා ඒ පහන දල්වන්නේ මොන තරම් භක්තියකින් වුණත් එළියක් ආපහු ඉල්ලන්න එපා... ඒත් සෙනෙහසේ තරම් මැන බලන්න නොදන්න හදවතකින් කඳුළක් තරමවත් ආදරයක් නොලැබෙන්නත් පුළුවන්.. එක මොහොතකදී... ජීවිතය එක මොහොතක දෙපාමුල එහෙම පිටින්ම කඩා වැටිලා මුලු හදවතම හිස්වුණත් අඬන්න එපා.. කඳුළු අකැපයි... ආදරයට නෙවෙයි.. ජීවිතයට