ගුරුවරුන්ට හින්දි ගීතවලට නටන්න පුරුදු කරලා
මේ රටේ ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ගුරුවරුන් අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආශිර්වාදය ඇතුව පොල්ගොල්ල ගුරු විදුහලට පහුගිය දවසක ගියාලු පාසැල් ගුරුවරු ගුරුවරියන්ට මුද්‍රා නාට්‍ය වැඩමුළු පවත්වන්න.
ඒ වුණාට ඒ වැඩමුළුවලට සහභාගි වූ ගුරුවරු ගුරුවරියෝ නම් කියන්නේ මුද්‍රා නාට්‍ය කෙසේ වෙතත්, අන්තිමේදි ඒ අයට හින්දි සින්දුවලට නටන්න පුරුදු කළාලු.
අම්මලා ටාගට් කරන ළමා චිත්‍රපටකාරයෝ
අද සිනමා කර්මාන්ත අර්බුද රැසක් තියෙන බව කවුරුත් දන්නවා. ඒත් ඒ අර්බුදයට හේතුකාරක රැසක් තිබෙනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින ඇතැම් පිරිස් සිදුකරමින් යන කූට ව්‍යාපාරත් මේ අර්බුදයට සෘජුවම බලපා තිබෙනවා.
දැන් ඒ පිරිසගේ අලුත්ම උපාය තමයි ළමා චිත්‍රපට හැදීම. චිත්‍රපට ගැන මෙලෝ හසරක් නොදන්නා මේ අය ළමයි තෝරගන්නේ වැඩමුළු තියලා. ඒ වැඩමුළුවලදී ළමයාගේ දක්ෂතාවයට වඩා විමසා බලන්නේ ළමයාගේ අම්මාගේ දක්ෂතාවය. ඒ අය ඇහැට කනට පේනවා නම්, ඕනෙම දේකම ඔට්ටු නම් ළමයා ගොඩ යනවා. මෙවැනි පහත් ක්‍රියාවන් තුළින් සිනමාව විනාශ කරන අමනයන්ගෙන් අපේ සිනමාව වගේම අපේ දූ දරුවන් හා කාන්තාවන් බේරා ගැනීමට චිත්‍රපට සංස්ථාවට කළ හැකි දේවල් බොහෝ තිබුණත්, ඒ අයගේ අවධානය ඒ දෙස යොමු නොවන්නේ ඇයි?
ළඟින් ගියොත් ඇහැක් නැහැ
අද කාලෙ යහමින් මුදල් හදල් තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නේ හරිම බයෙන් කියලා කලාවට සම්බන්ධ නිෂ්පාදකවරයෙක් පහුගිය දවසක කිව්වා.
“අද සල්ලි තියෙනවා කියලා දැන ගත්ත ගමන් කලා ලෝකේ ඉන්න සමහර කට්ටිය කාන්දමක් වගේ ඇදිලා එන්නේ. ඒ අයගේ උපන් දිනවලට ආරාධනා කරනවා. දන්න හඳුනන නළු නිළියො හඳුන්වලා දෙනවා. වැඩකිඩ කෝටියයි.”
“සතියක් විතර ගියාම ටිකක් යාළු මිත්‍රකම් වැඩි වෙනවා. ඊට පස්සෙ අහනවා ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න ආස නැද්ද කියලා. ලක්ෂ සීයක් තියාගන්න එච්චරයි. ලක්ෂ පන්සීයක් අතට එනවා. එහෙමයි කියන්නේ. ප්‍රධාන නිළියවත් හඳුන්වලා දෙන්න පොරොන්දු වෙනවා.
ඔන්න ඕකට ගොඩක් අය කියන්නේ (බලමුකො) කියලනේ. නිනම් හරි එහෙනම් ඔයා හොඳ කතාවක් බලන්නකො කියලා කිව්වොත් උගුලට අහුවෙනවා. ඊළඟ දවසෙම කෝල් එකක් දීලා ලක්ෂ 15ක ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. ඒ නිසා සිනමාවේදින්ගේ වේශයෙන් එන ජල්තරකාරයන්ගෙන් කවුරුත් පරිස්සම් වෙන්න ඕනේ.” ඒ නිෂ්පාදකවරයා කිව්වා.
රඟපාන්න කැමතිද?
සිනමාවේ හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල රංගනයෙන් සිය දක්ෂතාවය පෙන්නලා ලංකාවේ විතරක් නෙවෙයි, පිටරට කප් ගහපු නලු නිළියොත් ඉන්නවනේ.
ඒ අයට රඟපාන්න, දක්ෂතාවයන් පෙන්නන්න, ඒ අයගෙ සැඟවුණු කුසලතා ඔප් නංවන්න අධ්‍යක්ෂකවරු කොයිතරම් කැප වුණාද? අදත් එවැනි අධ්‍යක්ෂකවරු නැතුවාම නොවේ. ඒත් මේ ක්ෂේත්‍රය බාල්දු කරන පහත් වැඩ කරන මිනිස්සුන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා දක්ෂ නලු නිළියන්ට තම හැකියාවන් පෙන්නන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
දැන් රඟපාන්න කැමතිනම් INBOX කරන්න කියලා මූණු පොතේ ඕන තරම් පොස්ට් අපි දකිනවා.
කැමති නම් කියන්න, ඉතුරු ටික අපි බලාගන්නම් කියලයි කියන්නේ.
ඒත් අන්තිමේදී ඒ අයත් විනාශ වෙලා කලාවත් විනාශ වෙනවා දන්නෙම නැතුව.
Text - Mithra