2018 ජුලි 28 වන සෙනසුරාදා

මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 471

පිපුණු මලේ රුව එමල දනීදෝ 
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා 
හැඩ රුව බලන්නෙපා 

නැති බැරිකම මුතු මාල හතක් වී 
කඩුල්ල පැන එයි 
නුඹ අත කරලන දා 

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා 
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ 
නොතලන් සිත මා ආදර දියණියනේ 
ආදර දියණියනේ 

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි 
වීදුරු කැඩපත බිම දැම්මේ 

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ 
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ 
නොතලන් සිත මා ආදර දියණියනේ 
ආදර දියණියනේ 

පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි 
වීදුරු කැඩපත බිම දැම්මේ
 

පද රචනය - ලූෂන් බුලත්සිංහල 
සංගීතය    - ඩන්ස්ටන් ද සිල්වා 
ගායනය     - නන්දා මාලිනි

අම්මාවරුන්ගේ සෙනෙහස කොතෙක්වේදැයි මනින්නට දෙවියන්වත් උගෙන ඇත්දැයි සිතෙන තරමට ඒ ස්නේහයේ මානයන් මහ දුරකය. මහා ගැඹුරකය. දුප්පත්කම් නැතිබැරිකම් කටු මැටි ගෙපැලේ කටු මැටි බිත්ති පුරා සෙවණැලි ඇඳි සඳ තාරුණ්‍යයේ දොරටුව හැර යොවුන් විය පිළිගත් දියණිවරුන් සිටින අම්මාවරුන්ට ඒ දියණිවරුන්ගේ ආසාවන් ඉෂ්ට සිද්ධ කරන්නට කාසි නෝට්ටු නැති අසරණකම තුළ ඈ කාටත් නොපෙන්වා විඳින වේදනාවන්ද අපමණයැයි සිතේ. පාට පාට ලස්සන ඇඳුම් අඳින්නට, දෙපයට හැඩකාර මිරිවැඩි පළදින්නට, කන කර දෑත දෙපා  අරුංගල් මාල වළලු පා සළඹ ආයිත්තම්වලින් හැඩ කරන්නට දෙකොපුල් වත්සුණු ගල්වන්නට, නෙත් සඟලේ අංජන කුංකුම තවරන්නට, ගත සුවඳ විලවුන් ගල්වන්නට ඒ දියණිවරු දක්වන්නේ නොතිත් කැමැත්තකි. දියණිවරුන්ගේ ඒ ආසාවන් නොහඳුනන අම්මාවරුන් නැති තරම්ය. එහෙත් ඇගේ යොවුන් විය ඉල්ලා හිඳින ඒ සිහිනවලට තටු විදා සරන්නට ඉඩ නොදී දුප්පත්කම, නැතිබැරිකම මහා පවුරක්ව නැගී සිටියි. ඒ දියණිවරු අනාගත බිරින්දෑවරැන්ය. අනාගත අම්මාවරුන්ය. පෝෂණයෙන් සුරක්ෂිත කෑම බීම ඒ දියණිවරුන්ට අවැසි බවද මේ අම්මාවරු දනිති. එහෙත් එහෙව් කෑම බීම තබා කුස පිරෙන්නට බත් වේලක්වත් දෙන්නට මේ අම්මාවරුන්ට හැකිකමක් නැත.

නෙක පැහැ ඇඳුම්, ආයිත්තම්, කන කර, වත්සුණු, විලවුන් අඳින්නට පළදින්නට ගල්වන්නට නැතත් ඇය රුවැත්තියකි.

පිපුණු මලේ රුව එමල දනීදෝ 
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා 

මලක රුව සොබාදහමේ නෙත  තරම් දකින වෙනත් නෙතක් නැති තරම්ය. සොබාදහමේ අසිරිමත් චින්තනය මල් එක් එක් පැහැයෙන් වර්ණ ගල්වා ඇත. මලට සුවඳක් එක් කර ඇත. ඒ සුවඳ මල පරවී පෙති හැලී යන තෙක් මල හැර නොයන සුවඳකි. මලේ ඒ සුවඳ සහ පාට බඹර සේනාවෝ මල වෙත කැඳවති. සුවඳට සහ පාටට ආකර්ෂණය වී මලට කිට්ටු වී බලද්දී රස මල් පැණිත් මල් රේණු මතින් වෑහෙයි. ඉඳින් පැහැයත් සුවඳත් මකරන්දයත් එක් වූ ඒ මල බඹරුන්ට රස ආකරයකි. මල මත පතුලේ දැවටී බඹරුන් රස උරද්දී මල සොබාදහමේ නියමය ඉටු කරන්නට සැදී පැහැදෙයි. ඒ පරාගනය වී පල උපද්දවන්නටය. තරුණියත් ඒ මල හාම සමානය. ඇය නෙක පැහැ ඇඳුම් ඇඳ මඟ තොට දකිද්දී ඇගේ පැහැයට නෙත් ඇදී යයි. කිට්ටු කර බැලූ විට ඈ වෙතින් විලවුන් සුවඳ නික්මෙයි. ඇය තරුණ සිතක ආකර්ෂණයට ලක් වන්නේ නිතැතිනි. වැඩිවියට පත්ව ද්වීතීයික ලිංගික ලක්ෂණ පහළ වීමෙන් පසු ඇගේ සිරුර ද  මලක් මෙන්ම පල දරන්නට, මාතෘත්වය දරන්නට සුදුසු තත්ත්වයකට පත්වෙයි.

මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා.... 

මලක ජීව විද්‍යාත්මක ක්‍රියාවලියටම දියණියකගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියත් සම නොවේදැයි විමසන මේ ගී පදයෙන් අම්මා කියන්නේ දුවේ හැඩ රුව බලන්නෙපා බඹර වසඟයේ පැටලී නුඹ පෙති බලෙන් ඇහැරවා පිබිදෙන්නට ගියොතින් නුඹ විනාශ වී යාවි. නුඹේ රුව දීගෙක යන්නට කල දවස එනතුරා සඟවා ගනින් වැනි අරුතකින්යැයි මට සිතේ.

මුතු මාල යස ඉසුරේ සංකේතයකි. සෞභාග්‍යයේ සංකේතයකි.

නැතිබැරිකම මුතු මාල හතක් වී 
කඩුල්ල පැන එයි 
නුඹ අත කරලන දා...

නුඹටත් යස ඉසුරින් පිරි ජීවිතයක් දිනෙක හිමි බව මේ මවුන්ගේ විශ්වාසයයි. කොයි අම්මාත් එහෙමය. දැලි දූවිලි මැදින්, දුප්පත්කම් බඩගිනි මැදින් කොයි අම්මා තාත්තත් දකින්නේ දොළොස් මහේ පහන් දැල්වුණු දරුවන්ගේ අනාගතයන්ය. ඒ අනාගත දවස් සරි කරන්නට ඒ අම්මලා තාත්තලා නොකරන කැපකිරීමකුත් නැත. නුඹත් ශිල්ප ඉගෙන ඉසුරු සපිරි අනාගතයකට මං පෙත් විවර කරගනිද්දී නුඹ සොයාගෙන ඒවි හොඳ කදිම කුමාරයෙක් වගේ ඉලන්දාරියෙක්... සුසුම් අතරේ සරමින් අම්මා දකින හීනය එයයි.

මුතු මාල හතක් යන්න විවාහය ගැන කියන සංකේතයක්යැයි සිතේ. මුතු මාල යනු මහා අනර්ඝ වටිනාකමක් ඇති වස්තුවකි. ඒ විවාහයත් වටිනාකම්, යස ඉසුරු, බව බෝග, වස්තුව පිරි විවාහයකි. කඩුල්ල පැන එයි යන්න නුඹ සොයාගෙන එයි යන්න නොකියා කියන්නකි. ඒ එන දාට නුඹත් අත කරලන තැනක ඉඳියි දුවේ වැනි හැඟීමක් මේ අම්මා තුළ නලියයි. දුප්පත් දියණිය අතකරලන්නටනම් ඇය සාර සිප් සොයා යන මඟක යා යුතුය. දුප්පත්කමේ ඝනකම් ඇතිරිලි මත අතුල ජීවිතය මත ඇය දල්වාලන බලාපොරොත්තුවේ පහන් වැට ගව් ගණනක් දුර බව හැඟේ.

කටු මැටි බිත්තිය දරිද්‍රතාවයේ සංකේතයකි. මද අඳුරු ලාම්පු එළිය ඒ කටු මැටි බිත්ති මත මවන මලානික ආලෝකයෙන් ඇය හිස පීරයි. හිස පීරමින් හැඩ බලයි. දුප්පත්කම කෙතරම් කටුක වුණත් යොවුන් සිතුවිලි, සිහින උදුරා දමන්නට ඒ කටුක බව සමත් නැත. ඒ කටුක බව පරයා ඒ නිදහස් සිතුවිලි මහෝඝයක් වී රළ නගයි. කටු මැටි බිත්තිය මත විසුල ආලෝක පුංජයෙන් රූ සිරි විඳින දියණියගේ දසුන අම්මාගේ හිත පාරවයි.

නොතලන් සිත මා ආදර දියණියනේ... ඒ අම්මගේ අයැදුමයි.

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ.. එසේ කියන ගී පද රචකයා තවත් තැනකදී කියන්නේ පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ යන්නය.

දියණියගේ කන, කර හිස්ය. ඒ හිස් කනකර සාක්ෂි දරන්නේ දුප්පත්කම වෙනුවෙන්ය. ඒ කන කර රන් පොටක්, රන් අරුංගල් යුගලයක් තබා රිදී පොටක් රිදී තෝඩුවක් පළදන්නට තරම්වත් හයියක් නැති අසරණකමට අම්මා පිළිතුරු සෙව්වේ වීදුරු කැඩපත කුඩුකර දැමීමෙනි. කැඩපතින් රුව දකින හැමවරම අභරණින් හිස් වූ කන කර අතගා බලන්නට දුව හදයි. ඒ දකින මගේ හිත පිච්චෙයි වැනි සිතුවිල්ලක් ඈ තුළ උපදින්නට ඇත.

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ 
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ 

මා සිත නොතලන් දියණියේයැයි කියමින්ම අම්මා දුවගෙන් පැනයක් විමසයි.

ළිඳට හිරු එළිය වැටී ළිඳේ වීදුරු පැහැ අඩිය කැළතෙන්නට පෙර හෝරාවේ.. පිනි වැටෙන ජාමේ ඇයි දියණියේ නුඹ ළිඳට එබී හිනැහෙන්නේ? අම්මා විමසයි.

දියණිය ඇගේ රූ සිරි දෙස ළිං කණ්ණාඩියෙන් බලන්නේ කාටත් හොරාය. කිසිවකුත් නෙතු පියන් නොහැරුණු තත්ත්පරයකය. ඒ බව ගී පද රචකයා කියන අයුරු ලගන්නා සුළුය. 

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ 
එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ 

දුවේ නුඹේ හිස් කන කර අත ගැටී නුඹේ හිත රිදුම් දුන්නොත් මට බෑ වාවන්න... ඒ හින්දයි මම වීදුරු කැඩපත කුඩු කරලා දැම්මේ.. මාත් එක්ක අමනාපෙන්ද නුඹ ලාම්පු එළිය වැටුණු කටු මැටි බිත්තියෙන් බලාගෙන හිස පීරන්නේ... ළිං පතුලෙන් නුඹේ මුහුණ සිනහවේ හැඩද බලන්නේ...

අම්මා කෙනෙක් අපමණ වේදනා සඟවා විමසන ඒ පැනය අම්මා කෙනකුගේ හිත පතුල සියුම් ලෙස සිඹ බලන්නට කරන අතිශය සංවේදී ඇරයුමකි.

♦ දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 

අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය, 
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02