බහුතර මුස්ලිම් ජාතිකයන් වෙසෙන මැදපෙරදිග රටක් වන ලෙබනනයේ එක් නගරාධිපතිවරයෙක් ආන්දෝලනාත්මක තීරණයක් පසුගියදා ගනු ලැබුණා. බ්‍රෞමනා නම් ලෙබනන් නගරයේ නගරාධිපතිවරයා තම නගරයේ සංචාරක ආකර්ෂණය වැඩිකරගැනීමේ අරමුණින් ගිම්හාන කාලයේ පොලිස් කාන්තාවන්ට කොට කලිසම් ඇන්දවීමට තීරණය කළා. එය මේ වනවිට ලෙබනනයේ වගේම මැදපෙරදිග කලාපයේම ලොකු කතාබහක් නිර්මාණය කළ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
ලෙබනනය කියන්නේ මැදපෙරදිග කලාපය තුළ තිබෙන වැඩිම බහු ආගමික බහු වාර්ගික විවිධත්වයක් තියෙන රටයි. වෙනත් මැදපෙරදිග රටවල සියයට අසූවක් පමණ ඉක්මවූ මුස්ලිම් ජනගහනයක් හිටියත් ලෙබනනයේ මුස්ලිම් ජනගහනය සියයට 54යි. සියයට 40 කට වැඩි ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසකුත් ඩෘස්, බහායි, බෞද්ධ, හින්දු වගේ වෙනත් ආගම් අදහන සුළු පිරිසකුත් එරට ජීවත් වෙනවා. මේ නිසාම කලාපය තුළ වැඩි බටහිරකරණයක් සහිත රටක් විදිහටත් ලෙබනනය නම් කරන්න පුළුවන්.
බ්‍රෞමනා නගරාධිපති පියෙරේ අකාර් සඳහන් කරන්නේ ලෙබනනයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙය ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි.
“කොට කලිසම් කියන්නේ ලෙබනන සංස්කෘතියේම කොටසක්. මීට අවුරුදු හැත්තෑවකට විතර කලින් මැදපෙරදිග කලාපයේ ප්‍රසිද්ධියේම කොට කලිසම් ඇඳපු පළමු කාන්තාව හිටියේත් අපේ නගරයේ. ඉතින් කොට කලිසම් කියන්නේ අපේ කාන්තාවන්ට අමුතු දෙයක් නෙමේ” නගරාධිපතිවරයා එහෙම කියනවා.
මුල් අදියර වශයෙන් ලෙබනන තරුණියන් පිරිසක් තාවකාලිකව පොලිස් සේවයට බඳවාගනිමින් ගිම්හාන ඍතුව තුළ නගරයේ රථවාහන හැසිරවීම සඳහා ඔවුන් යොදාගෙන තිබෙනවා.
කොහොම නමුත් නගරවාසීන්ගෙනුත් මේ පියවරට එතරම් විරෝධයක් එල්ල වී තිබෙන පාටක් නැහැ.
“මේක නිකම්ම නිකම් කොට කලිසමක්. හැමෝම කොට කලිසම් අඳිනවා. ඉතින් මෙයාලා කොට කලිසම් අඳින එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ”නගරයේ වෙළෙඳසැල් හිමියකු වන එලී පවසනවා.
මෙසේ බඳවාගෙන තිබෙන තරුණ පොලිස් නිලධාරිනියන් සියලු දෙනාම විශ්ව විද්‍යාල සිසුවියන් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ උගත් තරුණියන් වීමත් තවත් විශේෂත්වයක්. “අපි මේ සේවයට බැඳුණෙ ගොඩක් කැමැත්තෙන්. අපි දැනටත් ආසාවෙන් රැකියාව කරගෙන යනවා. ඉදිරියේදීත් හැම ගිම්හාන ඍතුවකදීම මේ සේවය ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” එක් පොලිස් නිලධාරිනියක ද මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරලා තිබුණා.
ඇතැම් ලෙබනන් කාන්තාවන් නම් පොලිස් කාන්තාවන්ට කොට කලිසම් ඇන්දවීමේ තීරණයට ලොකු විරෝධයක් පළකරන බව පෙනෙන්න තිබෙනවා. ලිංගිකත්වය ඉස්මතු කිරීමේ පියවරක් විදිහටයි ඔවුන් මෙය හඳුන්වන්නේ. ඒත් තවත් සමහර කාන්තාවන් මේ තීරණයට පක්ෂවත් අදහස් දක්වනවා. “අපේ රටත් ලෝකේ අනිත් හැම රටක්ම වගේ තමයි. ලෝකෙ අනිත් හැම තැනම තියෙන නිදහස මෙහෙත් තියෙනවා” ඔවුන් එහෙම කියනවා.
කොහොම නමුත් මේ කටයුත්තට විරෝධය දක්වන්නන් පවා එය තම ආගම පසුබිම මුල් කරගත් විරෝධයකට වඩා මෙම පියවර කාන්තාවන්ගේ ලිංගිකත්වය ඉස්මතු කිරීම පිළිබඳ විරෝධාත්මක පදනමකින් ඉදිරිපත් කිරීම සැළකිය යුතු කරුණක්!
ඒ කොයිහැටි වෙතත් සුන්දර පොලිස් නිලධාරිනියන් නිසා බ්‍රෞමනා නගරයේ රථවාහනවල ගමන් වේගය සැළකිය යුතු වේගයකින් අඩුවෙලා කියලත් දැනගන්න ලැබෙනවා.
Text — Suranga