2018 ජුලි 28 වන සෙනසුරාදා

අපි වගේ අයට අණදෙන්න මිනිස්සු නැහැ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

Indika Upamali

මේ දවස්වල ඉන්දිකා ලොකු වැඩකට අතගහලා කියලයි ආරංචිය...?

ඔව්... මගේ පළමු ගීත රූපරචනය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක අගෝස්තු පළවෙනිදා තමයි එළිදක්වන්නේ. 1990 අවුරුදේ දී තමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. ගායිකාවක් විදිහට මාව හඳුනාගත්තේ 1998 අවුරුද්දෙදී එදා ඉඳන් මේතාක් මම ගීත ගායනා කරලා තිබුණම රූපරචනයක් කරලා තිබුණේ නැහැ. අපි ආපු කාලේදී ඔය රූපරචනා තිබුණේ නැහැ. ඊට පස්සෙනේ ඒ කලාව එන්න පටන්ගත්තේ. ඉතින් ඒ ආපු ගමන ආපස්සට හැරිලා බලද්දී මේ ගීත ජනතාව අතරට නොයන්න මෙහෙම රූපරචනා නොමැතිවීමත් එක හේතුවක් විදිහට මම හිතුවා.

ඔබේ අලුත් ගීතය වෙනස් වුණු අපූරු ගීතයක් නේද...?

මේ ගීතය පද රචනා කළේ අශෝක හඳගම මහතා. මේක අලුත් තේමාවකට ගියපු නිර්මාණයක්. මේ ගීතය සංගීතවත් කළේ චිත්‍රාල් සෝමපාල ඇත්තම කිව්වොත් හඳගම අයියගේ ගීත රචනා ශෛලයට මම ගොඩාක් කැමතියි. ඒවා මට දැනිලා තියෙනවා. ඒ කැමැත්ත නිසාම හඳගම අයියට මම ගීතයක් ලියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙද්දී ඔහු මේ ගීතය ලියලත් ඉවරයි. ඊට කලින් හඳගම අයියගේ “මේ මගේ සඳයි” චිත්‍රපටයට අාරාධනාව ලැබුණා. නමුත් මට ඒකට සහභාගි වෙන්න ලැබුණේ නැහැ. ඉතින් මේ ලැබුණු අවස්ථාව ගැන ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා.

“මම දෝංකාරියයි” ප්‍රේමණීය ගීතයක් නේද...?

ඔව්... මේකේ තේමාව හරි අපූරු තේමාවක්. ග්‍රීක පුරාවෘත්ත කතාන්දරයක් මුල්කරගෙන තමයි මේ ගීතය ලියවුණේ. එකෝ සහ නාර්සිසස් දෙදෙනාගේ ප්‍රේමය ගැන කියවෙන්නේ. ඇත්තටම එතන ප්‍රේමයක් කියලා කියන්නත් බැහැ. එකෝ කියන කාන්තාව නාර්සිසස් කියන තරුණයාට ආදරය කරනවා. නමුත් ඒ තරුණයා ගංදියේන් බලද්දී එයාගේ රූපයම එයාට පේන්න පටන්ගන්නවා. එයා ඒකෙන් මත්වී ඉන්න කෙනෙක්. ඒක නිසා එකෝගේ ආදරය ප්‍රතික්ෂේප වෙනවා. එකෝගේ ආදරය නර්සිසස්ට දැනෙන්නේ නැහැ. ඒ ගැන කියවෙන හරි අපූරු කතාන්දරයක්. ඉතින් මේ කතාන්දරව වර්තමානයට ගලපලා හරි අපූරු ගීතයක් නිර්මාණය වුණා. අද තියෙන ගීත රැල්ලට වෙනස්ම වූ ගීතයක් තමයි මේ. මගේ වුණත් මෙතෙක් ගායනා කළ ශෛලයට වඩා වෙනස්ම වූ ගීතයක්. චිත්‍රාල් අයියගේ හරි අපූරු සංගීතයෙන් මේක තවත් අපූරු නිර්මාණයක් වුණා.

ගීතය රූපරචනා කරද්දී වෙනස් හැඩයක් ගන්න බවයි පෙනෙන්නේ...?

රූපරචනාවෙන් ලොකු වෙනසක් තියෙනවා. මේක එක කැමරා එල්ලකින් තමයි මුලු ගීතයම රූපගත වෙන්නේ. ඒකට රංඟනයෙන් දායක වෙන්නේ චිත්‍රාල් අයියයි මමයි. ඒක හරිම අපූරු අත්දැකීමක්. ස්ටූඩියෝ එකක් ඇතුළේ තමයි රූපරචනාව සිද්ධ වුණේ. ඇත්තටම මේක අපේ හැමෝගේම එකතුවෙන් කරපු නිර්මාණයක්. ලොකු මුදලක් වියදම් කරන්න මට මුදල් තිබුණේ නැහැ. ඒ නිසා අඩු මුදලකින් ඉතා හොඳ නිර්මාණයක් කරන්න අපිට ඕන වුණා. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් මහන්සි වුණා. ගීතය ගැන මට ලොකු සතුටක් තියෙනවා. හඳගම අයියා නිසා තමයි මේ වගේ අපූරු නිර්මාණයක් කරන්න මට පුළුවන් වුණේ. මම මට වටිනාකමක් දීලා තිබුණේ නැහැ නිර්මාණයක් කරද්දී. මම ටිකක් පස්සගහපු වෙලාවල් අනන්තවත් තිබුණා.

නිර්මාණයක් පමාවෙන්න “අම්මා” කියන කෙනාගේ වගකීමත් හේතුවක් වුණාද...?

නැහැ... ඇත්තටම කේමදාස මාස්ටර්ගේ ඇසුරේ හැදුණු කෙනෙක් හැටියට නිර්මාණයක්නම් ඒ නිර්මාණයට සම්පූර්ණ සාධාරණයක් වියයුතුයි කියලා මම විශ්වාස කළා. මට ඕනේ වුණේ හැමවෙලේම නිවැරදි දෙයක් ලබලා දෙන්නයි. එහෙම වෙද්දී මේ යන රැළිවලට අපිට යන්න බැහැ. මගේ ගමන ඉතාම හිමින් වුණත් මම කවදාවත් කලාව ඇතුළේ දී බොරු කරන්න කැමති කෙනෙක් නෙමෙයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මම ඉගෙනගත්තා. දැන් මම උගන්වනවා. කේමදාස මාස්ටර්ගේ පදනමේ අවුරුදු විස්සක් මම ඒ නිර්මාණවලට දායක වුණා.

ලොකේ Art කියන දේ කොතනද තියෙන්නේ කියලා හොයාගෙන ගිය කෙනෙක්. මේ නිසා අපි වගේ අයට මේ රටේ අණදෙන්න මිනිස්සු නැහැ. මීට වඩා අද මේ පවතින බාල රැලිවලට තමයි අද මේ රටේ මිනිස්සු ඇඳගෙන යන්නේ. ඉතින් ඒ රැලිවලට මම කවදාවත් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මම කලාවෙන් පසුබෑම් වුණා. පුතා ඉපදුනායින් පස්සේ වගකීම් වැඩිවුණා. සමාජයට කළයුතුයි කියලා හිතෙන වගකීම් පවා වැඩිවුණා. දරුවෙක් ඉඳිද්දී ඒක දැනෙනවා වැඩියි. සමහර විට මේකට රූපරචනාවක් කරන්න ඕනේ කියලා අශෝක හඳගමගෙන් යෝජනාව වුණේ නැත්නම් මේක මගේ සාමාන්‍ය ගීතයක් බවට පත්වේවී. ඒක මගේම තෘප්තිය සඳහා පමණක්ම තියේවී.

අද පවතින රටාව ගැන ඔබ ඉන්නේ කලකිරීමෙන්ද...?

කලකිරීමකටත් වඩා ඒක මොකක්දෝ අවාසනාවක්. අද බොහෝදෙනා ජීවත් වෙන්නේ අන්තර්ජාලයත් එක්කයි. මිනිස්සු තමන්ගේ ජංගම දුරකතනයත් එක්ක හැමවෙලේම හුදෙකලා වෙන්න උත්සාහ ගන්නවා. ප්‍රසංගයක් බලන්න ගියත් ප්‍රසංගය බලන්නේ සජීවීව තමන්ගේ ඇස් දෙකෙන් නෙමේ. තමන්ගේ ජංගම දුරකතනයෙන්. අද බොහෝ දෙනා ළඟ කාගේ හරි මළගෙදරකදීත් සෙල්ෆි ගහන කලාවක්නේ තියෙන්නේ. ස්වයං වින්දනයක යෙදෙන ලෝකෙක තමයි අද අපි ජීවත් වෙන්නේ. ඒ ගැන කියවෙන ගීතයකුත් මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.

අද අවුරුදු තුනක පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්...?

ඔව්... දැන් මගේ පුතාට අවුරුදු තුනයි. දැන් එයා ළදරු පාසැල් යනවා. පුතා හරිම සංවේදී දරුවෙක්. මම එයා මගේ කුසේ ඉදිද්දී පවා මම වැඩිපුරම ගායනා කළේ නන්දා මාලනී මහත්මිය ගායනා කරන “රුවන් වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්” කියන ගීතය. පුතාට පුංචි කාලේ ඉඳන්ම මම නිදි කළෙත් ඒ ගීතයෙන්මයි. ඒ ගීතය කියලා නිදි කරවද්දී එයා ඒ හැම වචනයකම තේරුම අහනවා. අද පුතාට ඒ ගීතය කටපාඩම්. මට මතකයි දවසක් වෙච්චි දෙයක්. එයා දවසක් මට කියනවා. “අම්මා මට බුදුහාමුදුරුවෝ හම්බවෙලා නැහැ. මම එයත් එක්ක කතා කරලා නැහැ. බැහැයි අපේ ගෙදරත් පහන තියෙනවා. පන්සලෙත් ඉන්නවා. පන්ස‍ෙල් හාමුදුරුවෝ කතා කළාට මේ බුදුහාමුදුරුවෝ මට තමා හම්බවෙලා නැහැ.” කියලා. එයා හරි සජීවී මේ සැබෑ ලෝකයේ ජීවත්වෙන දරුවෙක්. එයා හැමවෙලේම ප්‍රශ්න අහනවා.

ඉන්දිකා වසර ගණනාවක්ම ඉගෙන ගත්තු දැනුම තවත් පිරිසකට උගන්වනවා නේද...?

ඔව්... මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත්, පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙණෙත් සංගීතය උගන්වනවා. ඒ පන්ති පටන් අරගෙන අවුරුදු දහයක් වෙනවා. කේමදාස මාස්ටර් නැති වුණේ 2008 අවුරුද්දේ. 2009 අවුරුද්දේ මම පන්තිය පටන් ගත්තා. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. කේමදාස මාස්ටර් ඉන්නකම් අපිට ප්‍රායෝගිකව වැඩ කෙරුණා. අවුරුදු විස්සක් මම මාස්ටර්ගේ නිර්මාණවල හිටියා. හැම අවුරුද්දෙම මාස්ටර් කොන්සට් එකක් තිබ්බා. ඒ හැම අවුරුද්දෙම අපේ හැකියාවක් පෙන්නන්න වේදිකාවක් තිබුණා. නමුත් මාස්ටර් නැතිවෙලා ටික කාලයක් ගියාට පස්සේ “දැන් වේදිකාවක් කෝ” කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඒ අවුරුදු විස්සේම මම පුහුණුවීම්වල හිටියා. ඒ වෙද්දී කේමදාස පදනම තිබුණේ ජනකලා කේන්ද්‍රයෙයි. ඒකෙන් අපිව එළියට දැම්මා. ඒකත් එක්ක අපිව විසිරුණා. මට ඒ ලැබුණු හුදෙකලා බව මට දරාගන්න බැරි වුණා. ඒ නිසා පන්තියක් පටන් ගත්තා. එකෙන් මට ප්‍රායෝගිකව පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා. අවුරුදු විස්සක් තිස්සේ මාස්ටර්ගෙන් ඉගෙන ගත්තු දේවල්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විවිධ ගුරුවරුන්ගෙන් ලැබුණු ආභාෂ එක්ක බොහෝ දේවල් මම නැවත නැවතත් ඉගෙනගත්තා. ඉතින්... ලබන අවුරුද්දේ අපි කොන්සට් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

Text - Dishani  /  Pic – Sumudu

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00