2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

දැහැන

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

නොදොඩම ඉන්න
අන්තිම පදය
කියා නිම වද්දී
ලොකුවට
නෙත් හැර
මා මුහුණත
මත හෙළන බැල්ම
මට ඇති
කතා නැති

ජීවිතේ හුඟක් තැන්වලදී මම වචනවලට වැඩිය නිශ්ශබ්දතාවයට කැමතියි. ආදරෙයි. ඒ නිහඬ බව තුළ වචන අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. අහන්න. මුවින් නික්මෙන වචනවලට වඩා ඒ වචන හරි සියුම්. හරි ගැඹුරුයි. ආරියවංශ රණවීර තවමත් මල් කියන පොතට ලීව මේ කවිය මගෙ හිතට හරි ළඟයි. ජීවිතේ දුටුව පළමු දවසෙම පළමු තත්පරයේම මම හුඟක් වෙලා වචනයක්වත් කතා නොකර ඒ ඇස් දිහා බලාගෙන හිටියා. ඒ ඇස් අස්සෙ දැනුණු හුරු ගතිය කවදා කොහේදී ඇතිවෙච්ච හුරුබවක්ද කියන්න මම දන්නෙ නැහැ. මම ඒ ඇස් අස්සෙ හෙව්වෙම ඒ හුරුපුරුදු බවේ මතකයෙන් ගිලිහිච්ච සංසාර අයිතිය. මතක් කරගන්න හැදුවෙම ඒ මතකයේ ඇරඹුම.

මම එයාගේ ලෝකයේ එක පුංචි තිතක්. එයා මගේ ලෝකයේ හැම හුස්මක්. මගෙ ජීවිතේ හැම අයිතියක්. හඬ ස්වරය එක මොහොතක වෙනස් වුණත් හිත හෝස් ගාලා ඇවිලෙන්න ඒත් ඇති. ඒක බොළඳකම විදිහට අර්ථකථනය කරන්න මම කැමති නෑ. ජීවිතයේ යථාර්ථය ඔයා හදවතින් පසක් කරගත්තත් ජීවිතය හැඟීම් එක්ක විඳිද්දී සියුම් ඉසව් සංවේදී තත්ත්පරයන් මඟ හැරගන්න එපා. ජීවිතය සුන්දර විදිහට විඳින්න පුළුවන් ඒ ඉසියුම් භාවයන් එක්ක. මට හිතෙන්නෙ ආදරය හදවතින්ම විඳිද්දී බොළඳකම ඒ ආදරයේ ආත්මීය ලක්ෂණයක්. ආදරය අවබෝධයේ රිදී පාටින් පාට කරද්දී බොළඳත්වයේ සියුම් රත්තරන් කුඩු ඒ රිදී සුන්දරත්වය මතුපිටින් ඉහින්න. ආදරය කොයි තරම් ලස්සන සිත්තමක්ද කියලා ඔයාට තේරෙයි. හම්බවෙන වෙන්වෙන ආදරයක් වෙලාවකට හරි වේදනාත්මකයි. ආදරය මහා සාගරයක් වගේ තිබුණත්, හදවතේ තාවුල්ල උතුරන්න ආදරේ දෝරෙ ගලා ගියත්, ආදරෙයි කියන එක සියලු සීමාවන් විනිවිද හදවතට දැනුණත්, ජීවිතේ සියල්ල ළඟින් ඉඳගෙන බෙදාගන්න නැතිවෙද්දී, පපුතුරේ හිස හංඟාගෙන ජීවිතේ වාරු ඉල්ලන්න නැතිවෙද්දී, හිතට දුකක් වේදනාවක් දැනෙද්දී සුසුම් හිත කීරි ගස්සවද්දී, හිතට දැනෙන දෙයක් කියාගන්න ඉඩහසරක් නැතිවෙද්දී, ලෙඩක් දුකක් විඳවිල්ලක් ළඟ වතුර වීදුරුවක් ඉල්ලගන්න හරි අනේ ළඟක නෑ කියලා හිතෙද්දී හිත ගිනි තියන වේදනාවේ රස්නය ආත්මයම ගිනිබත් කරනවා. ඒත් ඒ සියලු අහිමිවීම් දරාගෙන, ජීවිතේ සිහින දන්දීගෙන ජීවිතයම කරගත්ත ආදරයක් වෙනුවෙන් සියල්ල කැපකරන්න ලෑස්ති වෙච්ච හදවතක වපසරිය අනන්තයක් වගේ. ඒ ආදරයේ සීමාවන් හොයන්න එපා. කොච්චරක්ද කියලා මනින්න කිරන්න එපා. මාත් එක්ක තව එක මොහොතක් කතා කරන්න කියලා කරන ඉල්ලීමක් හිත රිදෙන විදිහට අහක දාන්න එපා. හුඟක් හිස්තැන් පිරිච්ච, හුඟක් තැන් සීරිලා තුවාල ‍වෙච්ච කාත් කවුරුත් නෑ කියලා දැනෙන හිතකට තියෙන එකම සැනසිල්ල සතුට ආදරයෙන් කතා කරන වචනයක් දෙකක් වෙන්න පුළුවන්.  පිහිතුඩකින් හදවතට අනිද්දී  රිදෙනවට වඩා රිදෙනවා සැර වචනවලින් හදවත සිදුරු  වෙන්න අනිද්දී. අඬන කෙනෙකුට අඬන්න එපා කියන්න නෙවෙයි අඬන්නේ ඇයි කියලා අහන්න පුළුවන්නම් මනුස්සකම යන්තම්හරි තැවරිලා තියෙන්නේ අන්න එතනයි.

ඔයාට මුණගැහිලා තියෙනවද වචන ළඟ හුඟක් සංවේදී වෙන හදවත් තියෙන අය. ඒ සංවේදීතාවයන් ගැඹුරු හදගැස්මකින් තේරැම් ගන්න. ඔයා නෙවෙයි දෙයියන් වහන්සේ කීවත් මම මගේ සමහර තීරණ වෙනස් කරන්නෙ නෑ. ඔයාට පුළුවන්නම් මගෙත් එක්ක ඉන්න. නැත්නම් යන්න ජීවිතයේ හුඟක් දේවල් කැපකරගෙන මහා භක්තියකින් ප්‍රේමයකින් ජීවිතේ මුදුනතක තියලා හදවතින් නමස්කාර කරගෙන ඔයා ආදරය කරන කෙනෙක් ඒ වගේ වචන අහුරකින් දමලා ගහද්දී ආත්මය මත කැකෑරෙන හැම වේදනාවක්ම කඳුළක දියකරලා ඉකිගහලා අඬන්න ඔයාට හිතෙයි. පිරිමියෙක්ගේ පිරිමිකම කියන්නේ පෞරුෂත්වය කියන්නේ දඩබ්බරකම්, හිතුවක්කාරකම්, දරදඬුකම් කියලා හිතන බහුතරයක් ශ්‍රී ලාංකික පිරිමින්ගේ ගෝත්‍රික මානසිකත්වය වෙනස් වෙන දවසක් තියෙනවනම් ඒ දවස වෙනකම් හුඟක් ගෑනුන්ගේ ඇස්වලින් ඒ වගේ නිර්දය වචන වෙනුවෙන් කඳුළු වැක්කෙරෙයි. ඕනෑම සියුමැලි කැටයමකට කළු ගලක හුස්ම දෙන්න පුළුවන්. ඒත් කළුගලක් කියන්නේ ශක්තියේ අසිරිය. ශක්තියේ ආනුභාවය. හැබැයි ඒ ශක්තියේ අසිරිමත්බව මත ආනුභාවය මත ලෙයින් පණ ගැහෙන ඕනෑම රේඛාවක් අඳින්න පුළුවන්. ඕනෑම ආදරණීය සංවේදී රේඛාවක් අඳින්න පුළුවන්. නොමැකෙන්නම අඳින්න පුළුවන්. 
එවන්  කළුගලක් සදිසි අසිරිමත් සංවේදී ආදරණීය පිරිමි හිතක් මේ  නිරුදක කාන්තාරයේ කොතැනකදී හරි හම්බ වෙනවනම් 

අත අල්ලගෙන ජීවිතයේ ඉතිරි දුර ඇවිදින්න... 
අත අතනෑරම ඇවිදින්න... 
මගේමයි කියලා මටත් කියන්න 
මට එදාට මරණය වෙනුවට ජීවිතය මුණගැහෙයි...