2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

රිදෙනවනම් අඬන්න එපැයි....

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

කර්ම භූමි 18

නේහා... ඒ තමයි කුඩම්මාගේ කුසින් බිහිකළ මගේ තාත්තාගේ දෙවැනි දරුවට තාත්තත් කුඩම්මත් තැබූ නම. දුවකට වඩා පුතෙක් වටිනවා කියලා තාත්තා කියන හැමවෙලාවකම කුඩම්මා කළේ මගේ වැරැද්දක් කිය කියා තාත්තට ආඩපාලි කියපු එක. නේහාගේ ළා රෝස පැහැ අත් පා මගේ හිතේ ඇති කළේ මහා මොකක්දෝ ළෙන්ගතුකමක්. ඒ හින්දම නේහාව වඩාගෙන තුරුලු කරගෙන ඉන්න මම ආසා කළා.

ඔහොම අල්ලන්න එපා... නිකම් ගෙරි හමක් අල්ලනවා වගේ... රිදෙන්න පුළුවන් ළමයට...
රිදෙනවනම් අඬන්න එපැයි....

කට නම් තියෙනවා මොකක් නැතත්...
නංගි ආසයි මම වඩාගන්නවට... අඬ අඬා ඉද්දී මම වඩාගන්නකොට නංගි ටක් ගාලා ඇඬිල්ල නවත්තනවා.
පොඩි උන් රස්නයක් දැනුණු ගමන් අඬන එක නවත්තනවා... ඒකෙන් මේකෙන් වැඩක් නෑ... නංගිගේ රෙදි බේසම හෝදගෙන ආවනම්...
මම කරබාගෙන ඉස්තෝප්පුවට ගොඩවුණේ නංගිගේ රෙදි බේසම ඔළුවේ තියාගෙන ගඟට යන්න හිතාගෙන. කුඩම්මා ඒත් එක්කම මගේ පිටිපස්සෙන් ටික දුරක් ආවා...
අමර්.... මම හැරිලා බැලුවා විතරයි....

ඉගෙනගන්න කියලා මහ ලොකු ආසාවකුත් නෑ නේද?
මොකද නැත්තේ... මම ඉස්කෝලේ යන්නෙ.
ඉස්කෝලේ යන හැමකෙනාම ඉගෙන ගන්නෙ නෑනේ...
මම ඉගෙන ගන්නවා.

එහෙනම් පන්තියේ පළවෙනියා වෙන්න එපැයි...
හැම ළමයටම පන්තියේ පළවෙනියා වෙන්න බෑ.
නරකද ඉස්කෝලෙ ගමන නවත්වලා තාත්තගේ කඩේ වැඩවලට උදවු වුණානම්...
මට රෙදි බේසමෙන් කුඩම්මාගේ මූණට දමලා ගහන්න හිතුණා.

මම ඉස්කෝලේ යන එක නවත්වන්නේ නෑ. අම්මා මට හැමදාම කීවේ ඉගෙනගන්න කියලා... මම මොකටද කාගෙවත් කඩවල වැඩ කරන්නේ.
තාත්තගේ කඩේ කොහොමද කාගෙවත් එකක් වෙන්නේ... හරි අපූරුයි කතා කරන විදිහ... අනුන්ගේ... මෙහෙම පුතෙක් ජාතක කළාට වැඩිය හොඳයි ගොම ටිකයි කිරි ටිකයි ගන්න වැහු පැටියෙක් හැදුවනම්.
මම රෙදි බේසම එහෙමම අත්හැරලා එක පිම්මේ ගඟ දිහාට දිව්වා... කුඩම්මා මොකක් කියලා කෑ ගැහුවද කියලා මට තේරුණේ නෑ... මම දුවලා ගිහින් නැවතුණේ ගඟ ඉස්මත්තේ... ගං ඉවුරේ ඉඳගෙන මම හුඟක් වෙලා කිසිම හිතුවිල්ලක් නැතුව ගඟේ කැලතෙන වතුර ටික දිහා බලාගෙන හිටියා... මගේ ඇස් අස්සෙන් පනින කඳුළුවල සීතල කම්බුල්වලට උරාගන්නා ඉඩදීලා මම අරමුණු විරහිත ඇස් වලින් ඈත අහසයි ගඟේ දිය කඳයි දිහා බලාගෙන හිටියා... මට මේ හැම මොහොතකම මතකයට ආවේ මගේ අම්මව... මට කෑ ගහන්න..... කෑ ගහලා අඬන්න තරම් වේදනාවක් දැනුණා.

කුඩම්මා රෙදි බේසමක් අරගෙන ගඟට ආවේ මම එහෙම ඉද්දී... කුඩම්මාගේ පිටිපස්සෙන් තාත්තත් ආවා... තාත්තා ආව ගමන් කළේ මට රිදෙන්නම පයින් පාරක් ඇන්න එක.
තාත්තා....
ඔව් මම උඹේ තාත්තා තමයි. ඒත් උඹ මගේ පුතා නෙවෙයි.
තාත්තා....
මට දෙවැනි වතාවටත් එහෙම කියවුණා.
මොකද උඹේ මේ හිතුවක්කාරකම... හැමතිස්සෙම කුඩම්මත් එක්ක රණ්ඩුවට පැටලෙන්නේ.
මම...
ඔව් උඹ....
පට්ටපල් බොරු.
එහෙනම් මොකක්ද ඇත්ත.
කුඩම්මා තමයි යක්ෂණියක් වගේ මගේ ඇඟේ එල්ලෙන්නේ....
උඹට හැම තිස්සෙම පෙනෙන්නේ කුඩම්මාගේ වැරදි විතරයි... උඹ හොඳ එකා...
කුඩම්මා මට ඉස්කෝලෙ යන්න එපා කීවා...

ඉස්කෝලේ යන්න එපා කීවා...?
ඔව්. තාත්තාගේ කඩේ වැඩ කරන්න කීවා....
හ්ම්.... ඒකත් නරක නෑ....
කුඩම්මා මට ඉරිසියයි....

පේනවද මුගේ කටේ තරම... තුන්වේල උයලා කන්න බොන්න දෙනවට....
ඒ දෙන්නෙත් දංකුඩ ටික.... සමහරදාට මට දෙන මාළු පිනි නරක් වෙන්නත් ඇවිත්.
වහගනින් කීවේ කට.... කුඩම්මා කියන විදිහට පුළුවන් නම් ඉඳපන්.... නැත්නම් පලයන්....

 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00