2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

බඩ තඩියාට රසිකයෝ හැටදාහක්!

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ගාෆීල්ඩ් කියන්නේ කාගේත් ආදරය දිනාගත් කාටූන් චරිතයක්. බඩ මහත වගේම නිතරම කටමැත දොඩවන මේ පූස් චරිතය ලොකු කුඩා හැමෝගේම ප්‍රියතම කාටූන් එකක් කිව්වත් වැරදි නැහැ. මේ කියන්න යන්නේ කාටූන් ඒකේ ඉන්න ගාෆීල්ඩ් ගැන නම් නෙමෙයි. හැබෑ ලෝකේ ඉන්න ගාෆීල්ඩ් කෙනෙක් ගැනයි. 

මේ අරුම පුදුම පූසා ගැන වාර්තා වෙන්නෙ එක්සත් ජනපදයේ බටහිර මිචිගන් ප්‍රදේශයෙනුයි. බ්‍රොන්සන් නම් මේ පූසාගේ අරැම පුදුමත්වය තමයි එයාගේ බර රාත්තල් 33ක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පූසෙක් වගේ දෙගුණයක්. 
තමන්ගේ වයස්ගත භාරකරුවන්ගේ මරණයෙන් පස්සේ මෙයාව බාරදීලා තියෙන්නේ බටහිර මිචිගන්වල තියෙන පුණ්‍ය ආයතනයකටයි. එතැනදි තමයි මේ අධි බර පූසා ගැන තොරතුරු දැනගන්න ලැබෙන්නෙ.

 

කොහොම වුණත් මේ ගාෆීල්ඩ් පූසාව භාරගන්න තරුණ යුවළක් කැමැත්ත පළ කරලා. හැබැයි එයාලට බ්‍රොන්සන්ව භාරදෙන්න පුණ්‍යායතනය කැමති වෙලා තියෙන්නෙ එක් විශේෂ කොන්දේසියක් පිටයි. ඒ තමයි හැම මාසෙකදිම බ්‍රොන්සන්ගේ බර රාත්තලකින් අඩු කිරීමට පොරොන්දුවක් ලබාදෙමිනුයි. ඒ මගින් එයාගේ බර රාත්තල් 15ත් 18ත් අතර මට්ටමට ගෙන ඒම තමයි පුණ්‍ය ආයතනයේ බලාපොරොත්තුව. 

දැනට හොයාගෙන තියෙන විදිහට බ්‍රොන්සන්ට දවසට කිහිප වතාවක් පිෂ්ඨය සහිත ආහාර ගොඩක් දෙන්න කලින් ස්වාමි දියණිය පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම ස්වාමිදුව වයස්ගත කෙනෙක්වීම නිසා බ්‍රොන්සන්ට ගෙදරින් එළියට බැහැලා ඇවිදින්න යන්න ලැබිලා නැහැ කියලත් කට්ටිය අනුමාන කරනවා. ඉතින් දවසට හත්අට පාරක් බඩ පිරෙන්න කෑම කාලා ගේ ඇතුළට වෙලා හිටපු බ්‍රොන්සන් අධික විදිහට මහත් වෙච්ච එක පුදුමෙට කාරණේකුත් නෙමෙයි. 
ඉස්සර බඩ පිරෙන්න නෙමෙයි, හිත පිරෙන්නම කෑම හම්බවුණු බ්‍රොන්සන්ට දැන් නම් කෑමබීම වලින් ටිකක් ෂේප් වෙන්න සිද්ධ වෙලා. දැන් එයාට දවසකට කන්න පුළුවන් කැලරි 375ක කෑම විතරයි. ඒ වගේම ඉස්සර හිතේ හැටියට සීනි ජාති, මස් මාළු කාපු බ්‍රොන්සන්ට දැන් කන්න ලැබෙන්නේ ධාන්‍ය වර්ග සහ අඩු තෙල් සහිත කෑම විතරයි. 

“එයාට දෙන කෑම ටික කාලා එයා පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි තව දුන්නොත් එයාට කන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ. එයා තාමත් අලුත් ජීවිතේට හුරුවෙන ගමන් ඉන්නෙ. ඒක එයාට ලේසි දෙයක් වෙන එකක් නැහැ. ඒත් තව මාස කිහිපෙකට පස්සේ අනිත් පූසෝ වගේම දුවලා පැනලා වැඩකරන්න පුළුවන් වුණාම එයා ගොඩක් සතුටු වේවි” බ්‍රොන්සන්ගේ අලුත් භාරකාරයා වන මයික් එහෙම කියනවා. 

කොහොම වුණත් තමන්ගේ ලොකු මහත බඩ හින්දම බ්‍රොන්සන් මේ වෙද්දි ජනප්‍රිය තරුවක්. බ්‍රොන්සන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල පිටුවේ දැනට හැට දාහකට වැඩි රසිකයෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. 

 

► Text — Suranga

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00