2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මැරෙනකම් රඟපානවා කියලා ආසවක් මට නෑ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

මේ දවස්වල කමල් මොනවද කරන්නේ?
දවස්වල ඉතින් කරගෙන යන වැඩම කරගෙන යනවා. හිමීට හිමීට පුළුවන් විදිහට අපේ වැඩ ටික ගැටගහගෙන යනවා. ඔය අතරින් සංගීතයට, ටෙලි නාට්‍යයට, චිත්‍රපටවලට අවශ්‍ය කරන පහසුකම්වලින් සමන්විත තැනක් ගොඩනගමින් පවතිනවා. ශබ්දාගාර, චිත්‍රාගාර, පුහුණුවීම්වලින් සමන්විත එක සංකීර්ණයක් පවත්වන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒක පවත්වන්න තීරණය කරලා තියෙන්නේ කෝට්ටේ ප්‍රදේශයෙයි. ඉතින්... ඒක ගැන සම්පූර්ණ විස්තරයක් අපි පසුවට කියන්නම්. ඒකේ මූලික වැඩකටයුතු දැන් කරගෙන යමින් පවතින්නේ. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

මෙවැනි කලා සංකීර්ණයක් ඇති කරන්නට කමල්ට හිතුණේ ඇයි? විදෙස් සංචාරවලින් ලබපු අත්දැකීම්ද?
නැහැ. අපි තාමත් සම්පත් වශයෙන් ගත්තොත් හරිම දුප්පත්. ඒ වගේම අපිට තියෙන ශක්තිය එක්ක බලද්දි මේ දේ සපුරා වැඩක් කරද්දි අපිට බොහෝ වෙලාවට එක එක තැන්වලට ගිහින් කොටස් වශයෙන් කරගෙන නිර්මාණයක් කරද්දි විශාල කාලයක් වැය කරන්න වෙනවා. මේක නිසා නිර්මාණයක් කරද්දි මට හරි උදාසීන ගතියක් දැනෙනවා. කෙටි කාලයක් තුළදී අපි වේගයෙන් වැඩ කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් මට ඉතා කෙටි කාලයක් තුළදී තමයි වැඩ කරන්න ආසාවක් ඇතිවෙන්නෙත්. මම ජීවත්ව ඉන්නකම් මේ කලාවේ නියැලෙනවා කියලා අදහසක් නැහැ. නමුත් රංගනයට මගෙන් වෙච්චි යම්කිසි දෙයක් තියෙනවනම් තව සුළු කාලයක් මට රඟපාන්න තිබුණොත් ඇති. ඊට පස්සේ මට රඟපාන්න ඒතරම් ආසාවක් ඇති වෙන එකක් නැහැ.

ඒ කියන්නේ කමල් ළඟදීම කලාවෙන් ඈත් වෙයිද?
නැහැ. ඊට වඩා අවශ්‍යතාවයන් තියෙනවා කියලා මට දැන් තේරෙනවා. මේ රටේ කලාවේ අනාගතය සම්බන්ධව අපේ මාර්ගෝපදේශය ලැබිය යුතු තැන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම මෙතෙක් තව කාගෙහරි පිටපතකට රඟපෑවා. බොහෝම සීමිත වූ හිතට දැනුණු පද රචනාවක් ලැබුණොත් විතරක් ගීත ගායනා කළා. ටෙලි නාට්‍යයක් ගත්තත් ඒ හැම දෙයක්ම සීමාවන් වුණා. තව කාගෙන්හරි යැපිලා අපි ඒවා කළා. නිර්මාණයක් කරද්දී වුණත් ඒ නිර්මාණය කොටස තැන් තැන්වල තිබුණේ. අධ්‍යක්ෂකවරුන්ට පවා ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ කලාකරුවන් ටික එක තැනකට කේන්ද්‍ර කරගන්නට පුළුවන් නම් ඒක හොඳයි කියලා මට හැමවෙලේම හිතුණා. අපේ රටේ උසස් කලාවත් වෙනුවෙන් කැපවෙච්චි, ඒ සඳහා හොඳ දැනුමක් තියෙන, බුද්ධියක් තියෙන වගේම මහන්සි වෙන විශාල පිරිසක් නැහැ. නමුත් මේ ඉන්න අය අතරේ හරි එකතුවක් ගොඩනගන්න ඕනේ. අද මේ හැමෝම ඉන්නේ තම නිර්මාණයන් එක්ක තැන් තැන්වල විසිරිලා. තම තමන්ගේ න්‍යාය පත්‍රයන් තම තමන්ගේ ජීවන න්‍යායන් එක්ක ඔවුන් හුදෙකලා වෙලා. ඒකට ප්‍රධාන හේතුව වන්නේ කලාකරුවන් එක තැනකට එකතු වෙලා තමන්ගේ නිර්මාණයක් නිදහසේ කරගෙන අවසානයේදී හොඳ නිර්මාණයක් කරන්නට අවශ්‍ය තැනක් නොමැතිකමයි. ඒ වගේම අද අප අතරේ ඇති සහසම්බන්ධතාවයන් බිඳිලා ගිහින්. ඇත්තටම මේක ලොකු අවශ්‍යතාවයක්. මේකෙන් කිසිදෙයක් කෙරැණේ නැතත් අඩුම තරමේ මේ මිනිසුන් ටික මුණගැහිලා සුහදශීලීව කතාබහ කරන්න තැනක් තියෙනවනම් ඒකත් ලොකු දෙයක්නේ. අද බොහෝ කලාකරුවන්, කලාකාරිනියන් කාගේහරි මළගෙදරක, මඟුල් ගෙදරක හෝ උත්සවයකදී තමයි මුණගැහෙන්නේ. මේ හුදෙකලාවෙන් අයින් වෙලා අලුත් හොඳ නිර්මාණ බිහිකරන්න වැඩි කාලයක් ගතකරන්න සුදුසු කාලයක් හොයාගන්න ඕනේ. මේ සඳහා අපි අතරේම සම්බන්ධයක් ගොඩනැගෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය පසුබිමක් යම්තාක් දුරකට හෝ ලබලා දෙන්නයි මේ හදාගෙන යන්නේ.

රැවුලයි, කොණ්ඩයයි විතරක් ඒ විදිහට තිබුණට මදි

ලබන මාසේ කමල් ප්‍රසංගයකට විදෙස්ගත වෙනවා නේද?
ඔව්. සැප්තැම්බර් මස මුල් කාලයේදී මමයි, බිමල්, අමල් තමයි මේ ප්‍රසංගයට සහභාගී වෙන්නේ. මීට අමතරව මීනා ප්‍රසාදිනිත් අපිත් එක්ක සින්දු කියනවා. ඕස්ට්‍රේලියාවේදී තමයි මේ ප්‍රසංගය තියෙන්නේ.

ළඟදීම තිරගතවීමට නියමිත ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ කමල්. මේක අභියෝගාත්මක චරිතයක් වුණා නේද?
ඔව්. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ මගේ චරිතය මට බොහෝම අභියෝගාත්මක චරිතයක් තමයි. රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ කවුරුත් දන්නා හඳුනන ප්‍රතිරූපයක් සහිතව, හැම කෙනා තුළම චිත්‍රයක් මැවිලා තියෙන චරිතයක්. ඉතින් එවැනි චරිතයක් මවනකොට අපිට ඔහුගේ රැවුලයි, කොණ්ඩයයි විතරක් ඒ විදිහට තිබුණට මදි. ඔහුගේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණත් මතු කළයුතු වෙනවා. ඔහු‍ගේ කටහඬ, ඉරියව්, අංගචලනයන්, මුහුණේ පෙනුම වගේ හැමදෙයක් ගැනම හොඳට හිතන්න ඕනේ. ඒක ලොකු අභියෝගාත්මක දෙයක් වුණා. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ, වේශ නිරෑපණ ශිල්පී නාරද ධනංජය ඇතුළු කණ්ඩායම ලොකු මහන්සියක් ගත්තා. නිර්මාණයක් කරද්දී ජීවත් වූ චරිතයක් අළලා නිර්මාණයක් කරද්දී හරිම පරිස්සමින්, ඉවසීමෙන් කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි හැමෝම සාර්ථකව මුහුණ දුන්නා. අපි කණ්ඩායම මේ වෙනුවෙන් රූගතකිරීම් කරන්නත් කලින්ම කාලයක් තිස්සේ මූලික වේශ නිරූපණයක් සිදු කළා. මේ නිර්මාණය සාර්ථක කරන්න අධ්‍යක්ෂකතුමා ඇතුළු මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.

ගින්නෙන් උපන් සීතල මෙවර ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වෙලා තියෙනවා. කමල්ට ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මේකේ හොඳ තිරපිටපතක් ලියවිලා තිබුණා. ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙල ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙසින් ද ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය නියෝජනය කරනවා. අපේ මේ චිත්‍රපටය තෝරාගැනීමම අපිට ලොකු සතුටක්. අමෙරිකානු චිත්‍රපට එක්ක තරග වදින්න ලැබීමම අපට ලොකු ශක්තියක්. අපේ කලාව සම්බන්ධව අනිකුත් රටවල් අවධානය යොමු කළ හැකි අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ සිනමාවට මේක හොඳ ශක්තියක්.

අමෙරිකානු චිත්‍රපට එක්ක තරග වදින්න ලැබීමම අපට ලොකු ශක්තියක්

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසරප චිත්‍රපටය අගෝස්තු 11 වැනිදා තිරගතවීමට නියමිතයි. 
ඔව්. චන්ද්‍රසිරි මගේ සමකාලීන මිත්‍රයා. ඔහු එක්ක වැඩ කරන පළවෙනි අවස්ථාව මේකනම් නෙවෙයි. ඔහුත් එක්ක වැඩ කරන තුන්වැනි චිත්‍රපටය තමයි මේ. කාලයකට පස්සේ වුණත් ජයන්තත් එක්ක මේ වගේ වැඩකට සම්බන්ධ වෙලා ඒ චිත්‍රපටය අද මම නරඹද්දී මට හිතෙන්නේ ජයන්ත කියන්නේ ඇත්තටම ඉතාමත් සංවේදී මානුෂීය හැඟීම්, මානුෂීය බැඳීම් ගැන කතා කරන්න පුළුවන් ඉතාමත් සංවේදී කලාකරුවෙක් කියලයි. ඔහු මනුෂ්‍යත්වය කියන දේ තමයි ඔහුගේ විෂය කරගත්තේ. ඔහු අපූරු අධ්‍යක්ෂකවරයෙක්.

 

► Text - Dishani  /  Pic – FB

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00