පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - එච්. එම් ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
අදහනු බෑ ඇය ළඳක් නිසා.... මේ ගී පදය මගේ සිත නතර කරන්නේ මා කියවා ඇති එක් සංස්කෘත ශ්ලෝකයක මතකය අබිමුවය.
ඖදුම්භර භවංපුෂ්පං
ස්වේත වර්ණෂ කාකයො
මත්ස්‍ය පාදෙ ජලෙ ථිෂ්ථේට්
නාරි චිත්තං න විශ්වශෙත්
අට්ටික්කා ගසේ මල් පිපුණත්, කාකයෝ සුදු පාට වුණත්, මත්ස්‍යයන්ගේ කකුල්වල පා සලකුණු ජලයේ හිටියත්, ගැහැනු සිත විශ්වාස කළ නොහැක.. ඒ සංස්කෘත ශ්ලෝකයේ අරුතයි.
ඒ ශ්ලෝකය එවන් අර්ථයක් දෙද්දී තවත් සංස්කෘත ශ්ලෝකයක් මෙසේ කියයි.
පුස්තකං වනිතා රත්නං
පරහස්තං ගතං ගතං
ඉන් කියවෙන්නේ පොතක් සහ ගැහැනියක් වෙන අතකට ගියොත් ගියාමය, තවකෙක් සන්තක වුණොත් සන්තක වුණාමය යන්නය. පුරුෂෝත්තමවාදී සමාජයක ඒකාධිපති පිරිමිකමේ ගල් කණු මත ගොඩ නැංවූ සමාජයක ගැහැනිය දුහුවිල්ලක් සේ සලකා පෑගෙන්නට ඉඩ හල එදා සමාජයක බ්‍රාහ්මණ චින්තනය ගැහැනියට දුන් අර්ථකථන සුබවාදී වූයේ නැත. පුරැෂයෙක් යනු උත්තම ශුද්ධෝත්තමයෙක් සේ සැලකූ සමාජයක සියලු පව් උදෙසා වග විය යුත්තේ ගැහැනිය යන්න සමාජ නිර්ණායකයක් බඳු විය. පුතුන් ලද්දොත් පුතුන් වැදුවොත් මහ පිනක්මය යන්න පාරම්බෑ බ්‍රාහ්මණ චින්තකයෝ ඒ පුතුන් වදන්නෙත් ගැහැනු සිරුරකින් බව ඒ පුතුන්ට මාතෘත්වය පිරිනමන්නේත් ගැහැනුන් බව අමතක කළහ. ඒ යුගයෙන් මේ යුගයට ගෙවුණු කාලය වසරවලින් ගණන් තැබුවොත් වසර දහස් ගණනකි. එහෙත් ගැහැනුන්ගේ අයිතිවාසිකම් හා නිදහස ගැන කතා කරන ගෝලීයකරණය වූ ලෝකයේත් අපට අනන්තවත් බ්‍රාහ්මණ යුගයේදී පිරිමි කකුල්වල හයියට පෑගුණු ගැහැනුන් මෙන්ම පටාචාරාවන් සහ කුවේනිලාවන් ද හමුවේ. නිදහස් චින්තකයන් ලෙස සමාජය හමුවේ ප්‍රතිරෑප දිගහරින බහුතරයක් පිරිමින්ගේ පපු අස්සෙන් මතු වන්නේ අදටත් සුදු ඇතිරිල්ලේ රතු සෙවණැලි සොයන කුහක සුචරිතවාදීන්ම මිස කවර නිවහල් පිරිමින්ද? මිනිසුන් යහපත් වන්නේ හෝ අයහපත් වන්නේ පිරිමිකම හෝ ගැහැනුකම තුළ නොව වෙනත් සාධනීය සාධක තුළ බව යැයි ප්‍රේම කීර්ති ද අල්විස් වැනි සාධාරණ දෑසකින් සමාජය දෙස බැලූ ගී පද රචකයකුටවත් නොවැටහුණේද? මේ ගීතය එවන් සිතුවිල්ලක් මා තුළ ජනිත කරයි.
ඇය හෙට ආවද පසු දින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා....
මේ ගී පද ගැඹුරේ අරුත් පසිදිද්දී ගැහැනියක් විශ්වාස කරන්නේ කොහොමද යන ප්‍රශ්නය ගී පද රචකයා ඉතා සියුම් ලෙස ඉස්මතු කරයි. ඇගේ පතිවත විශ්වාස කළ හැකිද යන කාරණය ගී පද රචකයා විමසයි. පතිවත ගැන කතා කරන සමාජය ඉතා කලාතුරකින්වත් පතිනිවත ගැන කතා නොකරයි. හැර යන ගැහැනුන් ගැන, වධක බිරියන් ගැන කතා කරන සමාජය වධක සැමියන් ගැන එතරම් කතා කරන්නට උත්සාහ නොකරයි. ඒ මිනිහා වරදේ බැඳුනෙත් ගැහැනියගේ වැරැද්දෙන්යැයි කියන සමාජය වරදේ බැඳෙන ගැහැනුන්ට පමණක් ගල් ගසන්නට පේවී බලා හිඳියි.
ඒ ගෑනිත් හෙට මාව අත්හැර යාවි. මොකද ඇයත් ගැහැනියක් නිසා... ගී පද රචකයා මේ ගීතය තුළ ගැහැනුකම ඉතා සියුම් ලෙස හෑල්ලුවට ලක්කරයි. බිරියකගේ හැරයාමෙන් පසු හුදෙකලා ජීවිතයක් ගෙවූ පිරිමියකු තවත් බිරියක් කැන්දාගෙන ඒමට සැරසෙයි. එහෙත් ඇය නොවෙනස් ප්‍රේමයකින් ඔහු හා රැඳෙනවාද යන්න ඔහුටම අවිනිශ්චිතයකි. ඒ ගැහැනියට වඩා පළමු සමුගැන්මෙන් ඉනික්බිති ඔහු විඳි හුදෙකලාව තුළ ඔහුට ළෙන්ගතු වූයේ තනිකමය. ඔහු තමා වෙතට එන ගැහැනියට වඩා තමන් සමීපයේ නිබඳවම රුඳී සිටි තනිකම විශ්වාස කරයි. දෙවැනි බිරියත් තමා හැර ගියත් ඒ තනිකම තමා හැර නොගොස් තමන් හා රැඳෙන වග ඔහු විශ්වාස කරයි.
මේ පිරිමියා දුර්වල සිත් ඇති සම්ප්‍රදායික පිරිමියකු නොවේදැයි සිතන්නට ද මේ ගීතය අපට බල කරයි.
හිටපන් තනිකම මගෙ ගෙයි මිඳුලෙම
හතර මායිමෙන් එහා නොයා
ඔහු ගැහැනියක ගෙනෙන්නේ විවාහක බිරියක් ලෙස මිස පාළුව තනිකම මකා ගනු රිසියෙන් පැයකට දෙකකට නොවේ. තනිකමට ඔහු රැඳියන් කියන්නේ ගෙයි මිඳුලේමය. ඒ මිඳුල යන පදය විවාහය උදෙසා සාක්ෂියකි. පළමු විවාහය බිඳී ගොස් රිදුණු හදින් සිටි ඔහු දෙවැනි බිරිය කැටුව එන්නේත් ප්‍රේමය පිළිබඳ විශ්වාසයකින් නොවේ. කොයි මොහොතක හෝ ඇය හැර යාවියැයි ඔහු තුළ සැක සංකාවකි. ගිනිපෙළෙල්ලෙන් බැට කෑ මිනිසා කනාමැඳිරි එළියටත් බියවෙතියි සමාජ පිරුළක් තිබේ. විශ්වාසයක් නැත්නම් නැවතත් ඔහු මෙවැනි තීරණයක් ගත්තේ හදවතින් හැගීම්වලට වහල් වී මිස බුද්ධියෙන් නොවන බව ඔහු තනිකමනම් සුමිතුරාට කරන අයැදුමෙන්ම පැහැදිලි වෙයි.
සියල්ල ඉදිරී ගරා වැටුණ දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම්
දැනහඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්
බ්‍රහ්මණ චින්තනයේ ධවල පැහැ පිරිමි සලකුණ මතු වී ආ තවත් යෙදුමක් ගීතයේ මේ කොටසේදී හමුවේ.
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම්
ඔහු තමා පිළිබඳව කරන ආත්ම කථනය අනුව ඔහු තුළ අපමණ මනුෂ්‍යත්වයක් තිබේ. ඒ මනුෂ්‍යත්වය ලෙස විවරණය කළේ මුලු මහත් සමාජයක් උදෙසා පරාර්ථකාමී චින්තනයකින් මුදාහල මනුෂ්‍යත්වයක් නොව මවුපියන්ට සැලකීම යුතුකම් ඉටුකිරීම වැනි සීමාවක් බව සිතේ. ඒ මනුෂ්‍යත්වය මරන්නට ඇයට නොහැකි විය. ඒ නොකියා කියන්නේ ඇගේ සැහැසිකමය. ඇගේ සැහැසිකමත් තමාගේ මනුෂ්‍යත්වයත් උලුප්පා කියනවාට වඩා ඔහුට මෙලෙසින් සිතන්නට හැකි වුණානම්,
ප්‍රේමයනම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට නොසිතා බිඳකුත්
ප්‍රේමය නම් එයයි. බෝධිසත්ව ගුණ කැටි වූ පරාර්ථකාමී සිතුවිලිවලින් පිරුණු සැබෑ ප්‍රේමයනම් එයයි.
ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ
තනිකමට කෘත ගුණ දක්වන ඔහු තමාගේ මනුෂ්‍යත්වය මතු කරමින් බිරියගේ සැහැසිකම නොකියා කියයි. මනුෂ්‍යත්වයක් හද තිබුණේනම් ඇයතින් වතුර වීදුරුවක් හෝ බිවූ කෘත ගුණය ඔහු ඇයට නොදක්වන්නේ ඇයි? ඇයට දොසක් නොකියා විරහව නොවිඳින්නේ ඇයි? ඔහු එදා මෙදා තුර පෙම් බඳින්නේ ගැහැනියකට නොව තනිකමටය. ඔහු විශ්වාස කරන්නේ ගැහැනියක නොව තනිකමය. එසේ නම් ඔහු දෙවැනි විවාහයකට මඟ හැදුවේ ඇයි? ඒ හුදෙක් ඔහුගේ සිරුරේ රාග ගිනි නිවාගනු රිසියෙන්මද? ඒ පද එලෙසින් අපට සිතන්නට බල කරයි.
ප්‍රේම තාපයෙන් පරමල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
ප්‍රේමය, විවාහය ජීවිතය පිළිගන්නට ඔහු සැදූ සිරියහනක් නැත. ඔහු තවත් ළඳක් එන බව කියන්නේ පරමල් යහනටය. ඔහු හැඟුම් මරා ජීවත්වෙන මනෝ රාජික පරාජිතයෙක් දැයි සිතෙන තරමට හුදෙකලාව ආත්මය කරගත්තෙකි. නැත්නම් තාමත් මනසින් අතීත ප්‍රේමයේම ජීවත් වන්නෙකි. නැත්නම් පරමල් සුවඳ.. පරවුණු හිමි නැති අතීත සුවඳ ඔහුට තවත් දැනෙන්නට විදිහක් නැත. තවත් අතෙකින් මේ බලහත්කාර විවාහයක්දැයි සිතේ.
තවත් ළඳක් එයි හෙට දවසේ
ළඳක් කැටුව එන බව වෙනුවට ඔහු කියන්නේ ළඳක් එන බවය. ඒ අතර හැමදාමත් ජීවිතයේ සියල්ල බෙදා හදාගත් තනිකමට කියන්නේ මට උඹ තරම් ඒ ගෑනිව විශ්වාස නෑ.. ඒ නිසා මගෙන් පොඩ්ඩක් ඈත් වුණත් මා හැරදා යන්න එපා යන්නය.
ප්‍රේමය, විශ්වාසය ගොළු බිහිරි න්‍යායෙන් ස්පර්ශ කරන තුදුස්වක ගැසුණු කශේරුකාවක් සහිත පිරිමියකු මේ ගීතය තුළින් මුණගැසෙතැයි මට සිතේ.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර