2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 311

සඳ මෝරා උඩුගුවනට එන කලට
ඔබේ රුව පෙනෙනවා කවුළුව තුළින් මට

ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් නුඹ නැතුවා දුකකි

සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබෙ මෘදු පහස මට නැතුවා දුකකි

ගී පද රචනය - තිස්ස අබේසේකර
සංගීතය        - කාලෝ විජේසිරි
ගායනය        - මාලනී බුලත්සිංහල

කුර ගගා පැමිණෙන හැන්දෑ කළුවර ජීවිතය පුරා විසුල වේදනා රැහැන් එකට එක්කාසු කොට සිත මත මිටි බැඳ හදවතට දරාගන්නට බල කරතැයි මට සිතේ. හිරු හා දිවෙන ළා රත්තරන් පැහැ දිවා කල සිනා කතාබහ ගැටුම් වැඩ රාජකාරි මැද හිතට නොදැනෙන අතීත වර්තමාන බොහෝ හැඟීම්බර සංසිද්ධීන් වේදනාත්මක මතක ඡායාවන් හිතේ ඉස්තෝප්පුවට ගොඩවැදී සල්ලාපයන්ට ඉඩහසර සොයන්නේ කළුවර ඝනකමට සළු පොරවාගන්නා රාත්‍රියේදීයැයි තවත් වරෙක මට සිතේ.

හදවතට තදින් තුරුලු කරගෙන ජීවිතයේ සමස්තය එය බවට පත්කරගෙන ප්‍රේමය විඳින කල, ඉල්ලා හිඳි ප්‍රේමය එලෙසින්ම ලැබෙන කල ප්‍රේමයත් සමඟ සැලකිල්ල, රැකවරණය, ගෞරවය, භක්තිය සෙවණැලි සේ ජීවිතය නිවාලමින් හාත්පස දැවටෙන කල එය නිර්වාණය සදිසි සුවයක්යැයි මම විශ්වාස කරමි. ඒ සියල්ල අහිමි වූ සඳ.... ඉකිලන ආත්මයක සීරී ලේ ගලන තුවාලවල වේදනාව කොතෙක්දැයි අසනු කුමටද?

ඉසියුම්ම සුළඟටත් ජීවිතයක් හා ආත්මයක් තිබේ. ඒ උණුසුම හා සිසිලසයි. කොහේ සිට පැමිණෙන්නේද? යළි කොහේ යන්නේද? යනතෙක් කොතැනක රැඳෙන්නේද කියන්නට නොදනිතත් ඒ සුළඟටත් සොබාදහම හුස්මක් දී ඇතැයි මම විශ්වාස කරමි. විශ්වයේ අවසානය කවදා කොතැනක හෝ ලියැවී ඇත්නම් ඒ අවසානය තෙක් සොබාදහම මනුෂ්‍ය හද සන්තානයේ අපිරිමිත දුක් වේදනා ප්‍රීති සුඛ සංවේදනා දරාගන්නට ඉවසාගන්නට විඳගන්නට මඟහැරගන්නට අපූරු සිද්ධාන්තයක් ඔස්සේ පාඩම් කියාදෙමින් මහා මෙහෙවරක යෙදෙයි. එනයින් සොබාදහම කෙදිනකවත් ලියා අවසන් කළ නොහැකි ආත්මීය කවියක් වැන්න. සඳ ඒ සොබාදහමේ එක් විස්මිතයකි.

දුරට සොඳුරුය
ළඟට හිස් කුහරය
එනමුත් ආදරය
නොසිඳෙන්නටම ලියලැවෙයි
අරුමයත් එතැනමය
සඳක් සදිසිව.....

සඳ ගැන එලෙස කවි සංකල්පනා මැවෙද්දී තිස්ස අබේසේකරයන් ලියූ මාලනී බුලත්සිංහලයන්ගේ ශෝකී ආත්මීය රාවයක් බඳු වූ කටහඬින් ගැයුණු සඳ මෝරා උඩුගුවනට එන කලට යන ගීතය අපූර්වතම භාවාත්මක හැඩතල රැගෙන මගේ හදවත පතුලට රිංගයි.

සඳ මෝරා උඩුගුවනට එන කලට... අඩ සඳක් ගැන නොවේ මේ කියන්නෙ. පුරපස සඳක් ගැනය මේ කියන්නේ. අන්ධකාරයේ සළු දෙබෑ කරගෙන තරු එළි නිවා දමමින් දැල්වුණු පුරපස සඳක් ගැනය මේ කියන්නේ. අහස් පොළොව සූරියකාන්ත මලක් සේ ඒ සඳ පොබකරයි. මෝරන සඳ මතින් වෑහෙන කිරණ අනුරාග හැඟුම් උසිගන්වන එන්නතක්ය. උන්මත්තකයින්ගේ උන්මත්තක භාවයන්, මෙන්ම ආදරණීය අනුරාග හැඟුම් හද පුවරු මත උසිගන්වන ලියලවන සඳ අහසට වැඩි සඳ කවුළුව තුළින් ඇය දකින්නේ ඇගේ හද සන්තානය මත ජීවම් වූ ප්‍රේමයේ මහ රුත්ය. ඒ මහ රුත් ඇගේ ප්‍රේමයය. ඒ ප්‍රේමය ඇයට කියාදුන් ප්‍රේමයේ ඇඳුරාණන්ගේ රුව සිහිනයක් සේ සඳ එළිය දිගේ පැමිණ කවුළුව ළඟ නතර වනු අපට දැනේ. එහෙත් ඇඳිය හැකි සියුම්ම රේඛාවේ තරමටත් හිඩැසක් නොතියා පෙරදවසක පපු තුරුලට තුරුලු කරගත් ස්නේහයෙන් අවබෝධයෙන් ජීවිතය, දුක, සතුට හැම තත්ත්පරයක බෙදාහදාගත් ප්‍රේමයක් ගහක් වැලක් සේ වෙලී දැවටී හිඳ කවර සංසිද්ධියක් නිසාවෙන් හෝ දුරස් වී අත්හැරි බන්ධන බිඳිති බවට පත්කළ දවසක දැනෙන සංවේදනාවන්ගේ පරාසය කොතෙක්දැයි කියන්නට නොවෙ‍හෙසෙමි.

සඳ මෝරා උඩුගුවනට එන කලට
ඔබේ රුව පෙනෙනවා කවුළුව තුළින් මට
ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

සඳඑළිය විසුල රැයම හැඟීම් හිත් ගැඹුරට කාවද්දන දිගු ගීයකි. ඒ ගීයේ අරුත් පසිඳන සඳ ප්‍රේමය හදවතේ සියුම් ලේ නහර පවා උණුසුම් කරමින් හැඟුම් දහරා උපද්දවයි. හැර ගියත් හැර නොයන ප්‍රේමය එවන් මොහොතක යළිත් හිත අද්දරට පැමිණේ. ඒ මතක මංපෙත් දිගේ අත්වැල් බැඳගෙන ඇවිදින්න යන්නට අඬගසන රිසියෙනි. තබන අඩියක් අඩියක් පාසා දෙපතුල ඇනෙන්නේ රිදුම් දෙන අතීත මතක කඳුළු බව හදවතට පසක් වුවත් කඳුළු මහ වැසි වැටෙද්දීත් අපි ඒ පාර දිගේ ඇවිදින්නෙමු. රාත්‍රිය ඒ තරම් බලසම්පන්න බලහත්කාරකම් කරන්නට සමතෙකි. සඳඑළිය ඒ බලහත්කාරකම්වලට දෙන සහයෝගය ඊටත් වඩා මහානුභාවසම්පන්නය. සඳ එද්දී... ඒ එන සඳ ඔහු රුව මතකයට නගද්දී.... ඇය තනි යහනකය. තනි යහනක සීතලක් මිස උණුසුමක් කොතැනකද? හද ඉකිලන්නේ ඒ සීතල කටු වෙසින් ඇනෙන්ට වූ විටය. මේ බිඳීගොස් ඇත්තේ හුදු ප්‍රේමයක් පමණක් නොව ඇය තැනූ සිහින මන්දිරයම විය හැක.

සියලු දුක් සන්තාප සංවේදනා සතුට බෙදාහදාගන්නට දරු පැටවුන්ගේ කිරි සුවඳ උණුහුම විඳින්නට මැවූ සිහින යාත්‍රාවම විය හැක. නැත්නම් ඇය අත් විඳින්නේ විවාහ බන්ධනයක් බිඳී විසිරී ගිය තැන රැඳී ගිය වේදනාත්මක හැඟුම් සමුදාය විය හැක.

ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට 
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට 

කොයිතරම් උපේක්ෂාවෙන් ඉවසිලිවන්තව ජීවිතයේ අහිමිවීම් අත්හැරයාම් දරාගත්තත් ඝනකමට කළුවර ඉහිරෙන හුදෙකලා රාත්‍රියක ඒ අතීත ස්නේහයන් වේදනාවන් බවට පරිවර්තනය වී හදවත මත මුරගායි. 

හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

මේ ගීතයේ එන ප්‍රබල භාව කම්පනයක් දනවන ගී පදය එයයි. අන් අයගේ දුක්වේදනා දැනෙන සංවේදී හිතක් ඒ සියලු සිත් අස සහෘද බවට පත්වෙයි. එහෙත් තමන් ගැන තමන්ට දැනෙන දුක... මේ ලොකයේ සියල්ලන් කෙරේ ඇතිවන දුකට වඩා තමන්ට තමන් ගැන දැනෙන වේදනාව ප්‍රබලය. ඒ වේදනාව සමඟ තනිකම, අසරණකම, නිබඳවම පැමිණේ. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් නැත යන්න යථාර්ථයක්ම බව කියාදෙයි.

හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට යන ගී පදය ඇසුරේ මට කාත් කවුරුත් නැහැ... ලෝකයට ආදරය කළත් මා කිසිවෙකුගේවත් මා ඉල්ලා හිඳන ආදරය නොලබන ගැහැනියක්ය යන රිදුම්කාරී අසරණ සිතුවිල්ල සමඟ විඳවන ගැහැනියක ගී පද රචකයා අපූරුවට මතුකරයි. ජීවිතයේ සමස්තය තුළ ඔහු ඇයට අහිමි බව කියයි.

සඳ අහස මඟහැර ගිය පසු හිරු අලුත් දවසක් කැටුව පැමිණේ. එහෙත් ඒ අලුත් දවස ආදරය කැටුව ජීවිතයේ වීදි දිග ඇවිද යන්නට අත අත නෑරෙන්නට අල්ලාගත් දෑතක හිමිකම ඇගේ ජීවිතයට වලංගු නැත. දුක් පිරිපත්, හද පවුර මත ගිනි කඳු විසල් ලෙසින් නැඟී සිටියත් සියල්ල නිහඬ මුවින් දරාගෙන තනියම ජීවිත මඟතොට ඇවිද යන ගැහැනියකි ඈ...
ලොවට සඟවාන ඒ සියලු සංතාප ඇය සිනාසුණත් ප්‍රාණ සදිසිව පෙම් කළ ඔහු ජීවිතය අස අද නැති අඩුව ඈ හිත පාරවයි. 

මා අසලින් නුඹ නැතුවා දුකකි....

දුකෙහි තරම තුලාවක ලා මනිනු කුමටද? මනිනු කෙලෙසද? ප්‍රේමය සේම විරහවේ ගින්දරද මනින්නට මිණුම් දඬු සොබාදහම නිර්මාණය කර නැත. 

සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ....

සීතල නිය තුඩින් යන්න මේ ගීතයේ හමුවන ඉතා සියුම් ව්‍යංගාර්ථයක්, රෑපකයක් ලෙස මම දකිමි....
සීතල නිය තුඩු... ඇයට අද දවසේ අහිමි ඈ පැතූ ආදරණීය ජීවිතයයි. සැනසිල්ලයි. සිසිලසයි. ඒ ප්‍රාර්ථනා සිහින ඇගේ ගත නැමැති ආත්මය පාරවයි. ලේ ගලන්නට සූරයි... ඒ තුවාල පිරිමදින්නට ඒ තුවාලවලට පැලැස්තර මිස ඔසු ගල්වන්නට කිසිවෙකුත් ළඟ නොරුඳී හුදෙකලාව ගැඹුරේ ඒ විඳින විඳවන ආත්ම ප්‍රකම්පනය සීතල නිය තුඩු මගින් සංකේතවත් කරතියි සිතේ.

තවත් අතකින් සඳ මෝරද්දී... ඒ පුරපස සඳ අවුලුවන රාග ගිනි නිවන්නට... ඈ ගත ගැඹුරින් අල්ලා හිඳන ආදරණීය පිරිමි පහසක උණුසුම් රිදුම් තුළින් ගත සුරාන්තයට පත් කරන්නට ඔහු නොමැති සඳ... ඈ සහසක් වේදනාවන් මතින් ඔත්පල කළ ඇගේම සීතල ඇඟිලි තුඩින් ඈ ගත සතපවන්නට හුදෙකලා සුරාන්තයකට මඟ සොයයි. ඈ ගත ගිනි නිවන්නට ඈ ඇගේම ඇඟිලි තුඩු මත හුදෙකලා අනුරාග සිතුවිලි දවටයි. එහෙත් ප්‍රේමයේ මුසුවන් තුළ විඳින අනුරාග සුවයක් හුදෙකලා අනුරාග සතපවා ගැනීමක අවසානයත් අතර වෙනස ඇය කියයි. ඒ හුදෙකලාවේ සොයායාම සංසිඳිල්ලක් වුවත් නොරිදන සතුටක් නොවේ.

සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබ මෘදු පහස මට නැතුවා දුකකි....

ළඟ රැඳුණු සඳ දැනෙනවාට අනන්ත ගුණයත් සැබෑ ප්‍රේමයේ වටිනාකම හදවතට දැනෙන්නේ අත්හැර දැමූ ක‍ෙලක යැයි මට වරෙක සිතේ.

සියලු මානවීය හා ප්‍රේමණීය හැඟීම්වල නොහිම් වටිනාකම් දැනෙන්නේ අඩුවක් නැතුව හිස්තැන් පිරවූ යුගයක් පසුකර තවත් යුගයක් ඒ පිරවූ හිස්තැන්ම හිස්තැන් ලෙස දැනෙන්නට වූ කලෙක යැයි මට වරෙක සිතේ.
ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද? අවසන මම ඔබෙන් එසේ විමසමි.

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00