පෑන මගේ ආත්මය. ආදරය මගේ ජීවිතය. ආත්මයක් මට හැමදාමත් තිබුණා. ඒත් මට කවදාවත් ජීවිතයක් තිබුණෙ නෑ. මට මගේම කියන්න ජීවිතයක් තිබුණෙ නෑ. හිඟන්නකු සේ මහමෙරක් ඉල්ලද්දී ඇඟිලි තුඩු අගිස්සට බොර දිය කඳුළක් විතරමද ලැබුණේ... තිබහට තොල් දෙක තෙමා ගත්තත් උගුරෙන් පල්ලෙහාට හලාගන්න අවසරයක් නැති බොර දිය කඳුළක් විතරමද ලැබුණේ..... මම අනන්තයක් දන්දෙද්දී ගිනිදන හිත් නුවරක දාහයට මොන අහසද එක පොද වැස්සක් දන් දුන්නේ...
මට දෙවෙන්දෙරෝ සං මතක් වෙනවා. දෙවෙන්දෙරෝ සංට එහෙම හිතෙන්න ඇති කියලා මට හිතෙනවා. නොරිකෝ මගේ හිතට දුරයි. ඒත් දෙවෙන්දෙරෝ මගේ හිතට හරි ළඟයි. හුඟක් අයට දෙවෙන්දෙරෝ සං පරාජිතයෙක් විතරයි.. ඒත් මම ඒ දෙවෙන්දෙරෝ සංට ආදරෙයි. එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා ඔයාට මතකනම් ඔයාට දෙවෙන්දෙරෝව මතක ඇති. ආදරය ළඟ ඒ තරම් සංවේදී වෙන්න පුළුවන්ද පිරිමියෙකුට? මළවුන්ගේ ලෝකයෙන් දෙවෙන්දෙරෝ ඇස් අරින දවසක මට එහෙම අහන්න හිතෙනවා.
දෙවෙන්දරෝ සං... ඔයාවත් මාව අහන්න... මට ඔයාට එහෙම කියන්න හිතෙනවා... හුස්මක් වැටෙන හදවතක් මම වෙනුවෙන් මගේ ළඟ පාතක නෑ දෙවෙන්දෙරෝ මට ඒ වචන ටික කියන්න... හුස්මක් වැටුණට, ලේ නහර තිබුණට හැම හදවතක්ම හදවතක් නෙවෙයි දෙවෙන්දෙරෝ... මගේමයි කියන්න හදවතක් ඔයාට තිබුණද? මට හිතෙන්නෙ නෑ.... රෑ කළුවර ලෝකය පුරා කළු ඇතිරිලි එලද්දී මගේ හිත තරු එළි ඇවිත් කොනිත්තනවද කොහෙද? මට කියාගන්න බැරි තරම් රිදිල්ලක් දැනෙනවා... කළුවරේ වහලා තියෙන දොරක් ඇරගෙන යද්දී ඔයාට මහන්සිද? තේකක් හදලා දෙන්නද? වතුර වීදුරුවක් දෙන්නද? කියලා අහන්න කෙනෙක් නැති හුදෙකලා අඳුරකට දොර ඇරගෙන යද්දී මට වචනවලට ගැටගහගන්න බැරි තරම් රිදිල්ලක් දැනෙනවා දෙවෙන්දරෝ... පාළුවක සීතල ළඟ හිම කැටයක් කොච්චර උණුසුම්ද? දෙවෙන්දෙරෝ වේදනාවක හිරිවැටිල්ල ළඟ අකුණක් මොනතරම්නම් සියුමැලිද? දෙවෙන්දෙරෝ හිත පහුරු ගාගෙන ඇදී යන සුසුම්සරක් ළඟ මහා චණ්ඩ මාරුතයක් කොයිතරම්නම් නිසංසලද? දෙවෙන්දරෝ නතර කර ගන්න බැරි තරමට ඉකිගැහෙන මේ හැඬුම් ළඟ මහා වැස්සක් කොච්චරක්නම් නිසොල්මන්ද?
ඔයාට මරණයට පෙර කීවතාවක් හිතුණද දෙවෙන්දෙරෝ ඔයාට කියාගන්න ඕන දේවල් අහගෙන ඉන්න, ජීවිතේ පාරවල් හොයාගෙන ඉගිල්ලෙද්දී රිදුණු අත්තටු පිරිමදින්න, ඉකිගහලා අඬන්න ඕන වුණාම වාරු වෙන්න ඔයාටම කියලා උරහිස දන් දෙන්න කෙනෙක්, මගේ ළඟින් හිටියනම් කියලා.. මරණයේ සීතලටත් වඩා තනිකමේ සීතල හුඟාක් ගැඹුරුයි... දරාගන්න ඉවසගන්න බැරි තරමට දරුණුයි... දෙවෙන්දරෝ ජීවිතය කියන ගහ ඵලවලින් බරවෙන්න ඉඩහසර හදාගත්ත අයට ආදරයෙන් නැත්නම් අනාදරයෙන් හරි ජීවත් වෙන්න කූඩුවක් හදාගත්තු අයට ඒ තනිකමේ සීතල... ඒ සීතලේ ආත්ම වෙව්ලිල්ල.. ඒ සීතලේ මරණය... ඒ සීතලේ දරඳඩු අසරණකම කවදාවත් ඒ විදිහටම දැනෙන්නේ නෑ... ආදරෙයි කියන අකුරු හතර අනන්ත වාරයක් කීවත් ඒ අයට අපිව පුංචි තිතක් විතරයි... ඒ අයගේ මහා විසල් ජීවිත ඇතුළේ.
දෙවෙන්දරෝ ඔයා වගේම මාත් බලන් ඉන්නවා ආදරණීය මගේම කටහඬක් අහන්න... ඔයා වගේම අසාධාරණ විදිහට එක පුංචි ඉඩක්වත් තත්පරයක්වත් මම ඉල්ලන්නෙ නෑ... කවදාවත්... ඒත් දෙවෙන්දරෝ මුළු ජීවිතයම සින්නක්කර අයිතියට පවරලා දන්දීලා එක මොහොතක අයිතියක් නෙවෙයි ආදරයක් නෙවෙයි සැනසිල්ලක් නෙවෙයි හදවතේ දුක්ඛ දෝමනස්සයන්වලට උත්තරයක් නෙවෙයි පිළිසරණක් නෙවෙයි ඒත් ඒ ඔක්කොම වචනවලට හරවලා හිත නිවාගන්න එක මොහොතක් ඉල්ලද්දී ඔයා වෙනුවෙන් මගෙන් වෙලාවක් ඉල්ලන්න එපා කියන එකනම් උත්තරේ මට කියලා දෙන්න දෙවෙන්දරෝ කාත් කවුරුවත් නැති හිතකට දැනෙන වේදනාව අසරණකම දුප්පත්කම දරාගන්න .
කවුරුත් කාටවත් ආදරේ නෑ
ඔව්... කවුරුත් කාටවත්ම ආදරේ නෑ.....
එහෙම හිතෙද්දී දැනෙද්දී දැනෙන වේදනාවට වැඩිය මරණය හුඟක් උණුහුම් දෙවෙන්දෙරෝ..