2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

පෙරුම් පුරනවද මතු බුදුවන්නට මට දී රැකවරණා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

මගේ මුළු සිරුරේම හැම ලේ බින්දුවක්ම මගේ හිස මතට එකතු කරන්න නළල මත සටහන් කරන්න ඒ හාදුවට පුළුවන්. ඒක ආත්ම ගාණක් තිස්සේ මගේ නළල මත එයා තියපු හාදුවක්. ඉහළට ගන්න ගැඹුරු හුස්ම ඉහළ රඳවාගෙන ඉන්න පුළුවන් අන්තිම තත්ත්පරය දක්වා ඒ හාදුව මගේ නළල මත රැඳෙනවා.

නොඉල්ලමි කිසිවක්ම නුඹ සුවඳ හැරෙන්නට.... ඒ සුවඳ වෙන කිසිම සුවඳක් නෙවෙයි. මට මගේම වුණු සංසාර සුවඳක්. ඒ එක බැල්මකට පුළුවන් මගේ මුළු ජීවිතයම ඇහැරවන්න. ඒ එක හුස්මකට පුළුවන් මාව දවස් ගණනක් ජීවත් කරවන්න. ඒ එක වචනයකට පුළුවන් මගේ ආත්මය මත ලේ  හලන හැම තුවාලයක්ම සුවපත් කරන්න. ආදරය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා විතරක් අහලා තිබුණු හිතකට එක ස්පර්ශයකින් ඇඟිලිතුඩු පවා හිරිවට්ටන අමුතුම ඔව්... අමුතුම ආදරයක් ජීවිතේ පළමු වතාවට විඳින්න ලැබෙද්දී ඒ ආදරය තමයි මුළු ජීවිතයම...

තවත් කෙනෙක්ට එහෙම ආදරයක් ළඟ රුඳෙන්න කෙන්දක තරම්වත් ඉඩක් නෑ... අයිතියට ආදරය සරිකරලා බැඳීම් අස්සෙ හිරකරන්න හදන සම්ප්‍රදාය ජීවිත කොච්චර බලහත්කාරයෙන් කූඩුකරන්න ගියත් ඒ හැම ලෙන් දොරක්ම බිඳගෙන ආයෙත් ආයෙත් හිත ඇවිත් නවතින්නේ අර පුරැදු සුවඳ ඉල්ලගෙන. ආත්මය ඉකිගහ ගහා ඉල්ලන්නේ ඒ හුරුපුරුදු සුවඳ... හිත මොන අගුපිල් මංමාවත් වන තරණය කරගෙන ගිහින් හරි නවතින්නේ ආදරය දැනෙන තැන... ආදරය ඉල්ලන තැන... එතනින් හිත ගලවලා තව තැනෙක රඳවන්න මේ ලෝකේ වටිනාම මුතු මැණික් සල්ලි දෙපා ළඟ ගොඩගැහුවත් කෙනෙක්ට බෑ කියලා මට හිතෙනවා... එහෙම හි‍ෙතන්න තරම් දෙවියන් වහන්සේ වගේම කෙනෙක් දෙවියන් වහන්සේ මට මුණගස්සවලා තියෙනවා.

එහෙම ආදරයක ජීවමාන අනාගත සාධකයක් කුස මත පොහොට්ටුවක් වෙලා පිපෙනවානම්... ඒ ඇස් අස්සේ මම කියෙව්වේ එහෙම කතාවක්. ඒ ඇස් මට හම්බවුණේ ප්‍රේමම් දමිළ චිත්‍රපටයේ... ජීවිතේ හැම පිටුවකම හමුවීමක් වෙන්වීමක් වෙනුවෙන් පේළි වෙන්වෙලා. ජීවිතේ සමහර දේවල් අත්හැරලා දාන්න හරි ලේසියි... අපි අත්හරින්න මොහොත එනකම් බලාගෙන ඉන්න දේවල් අපේ ජීවිත ඇතුළෙ තියෙනවා... ඒ වගේම කවුරු කොයි විදිහට කීවත් කවදාවත් අත්හැරලා දාන්න බැරි දේවලුත් අපේ ජීවිත ඇතුළෙ තියෙනවා... මුල් පිටින් ඇදලා උගුල්ලලා දාන්න හැදුවත් ආයෙ ආයෙත් තිබුණටත් වඩා වේගයෙන් මුල් ඇදලා පැළවෙන දේවල් අපේ ජීවිත ඇතුළෙ තියෙනවා. 
ආදරය කියන්නේ... ප්‍රේමය කියන්නේ බලහත්කාරකමක් නෙවෙයි...

නිරායාසයෙන් ඉපදෙන්න ඕන දෙයක් 
සැබෑ උත්පත්තියක් අරගෙන ආවොත් මරණයටවත් මරන්න බැරි හැඟීමක් 
හුස්මක් හුස්මක් ගාණේ පණක් අදින ජීවිතයකට අලුත් පණක් දෙන හැඟීමක්
පාට හේදිච්චි ජීවිතයමත සායම් නොයන පාටක් තවරන හැඟීමක් 
ලෝකයට පෙරළා ආදරය කරන්න උගන්වන හැඟීමක් 
අහස පොළව අතර හීන අහුලන්න හිතට බලකරන හැඟීමක් 
නොඉල්ලා කිසිවක්ම බොහෝදේ දන් දෙන්න පාරමිතා පුරන හැඟීමක් 

ඒත් මහ රුත් සපිරුනු මෙවන් ආදරයක් ප්‍රේමයක් මගේම කරගන්න - විඳින්න සංසාරේ කල්පයක් පෙරුම්පුරන්න ඕනේ කියලා මට හිතෙනවා. මම හිතන හිතුවිල්ල වැරදි නෑ කියලත් මට හිතෙනවා. 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00