ඔහු තරුණ කලා ශිල්පියෙක්. ටිකක් ඇහැට කනට පෙනෙන හැන්ඩියෙක්. වටින් ගොඩින් එන ආරංචිවල හැටියට පෙම්හබ කීපයකුත් තියෙනවලු. ඒ අතර වයස් භේදයකින් තොර පෙම්වතියනුත් ඉන්නවලු.
දවසක් ඔහුට සැර SMS එකක් ඇවිත්.
මගේ වයිෆ් එක්ක තියෙන සම්බන්ධෙ වහාම නතර කරපන්.
කලබල වෙච්ච පාර මිනිහා ඒක එයාගෙ හොඳම යාළුවට පෙන්නුවලු.
ඉතින් ප්‍රශ්න වැඩිකරගන්නෙ නැතුව ඕක අතහැරලා දාපන් දැම්මම.
ඕක කියන තරම් ලේසි නැහැනෙ මචං
ඇයි මොකක්ද අවුල?
SMS එකේ නමක් ගමක් දාලා නැහැනෙ. මම කොහොමද දන්නෙ මේක කොයි ගෑනිගෙ මිනිහා එවපු එකක්ද කියලා.
දර්ශන තලයේ අපූරු කතා කියන ප්‍රවීණ කලා ශිල්පියා, පහුගිය දවසකත් ඔහුගේ අසල්වැසි නිවසක සිදුවූ අපූරු කතාවක් කිව්වලු.
මේ නළුවා යන එන හැමතැනකම කතා හදන්නට අමුද්‍රව්‍ය හොයන නිසා, ඔහුගේ ඇන්ටෙනාවට රසවත් කතා අහුවෙනවා.
ඔහුගේ අසල්වැසි නිවසක තරුණයෙකු කෙල්ලක් එක්ක කාලයක් ඉඳන් පෙම් පැටලැවිල්ලක් තියෙනවලු.
කෙල්ලගෙ පැත්තෙන් විරුද්ධතාවය වැඩිවෙනවත් එක්කම කොල්ලා තීරණය කළාලු, කෙල්ලවත් අරන් පැනලා යන්න. එහෙ මෙහෙ යන්නෙ නැතුව කෙල්ලව තමන්ගෙ ගෙදරට ගෙනල්ලා අම්මට කතාව කිව්වලු.
එහෙනම් මක්කරන්නද? උඹලා අදම ගිහින් කසාද බැඳලා දෙන්නම අර කොණේම කාමරේ දැනට පදිංචි වෙයල්ලකො, කොල්ලගෙ අම්මා කියලා.
අම්මෙ දෙන්නෙක් නෙවෙයි, තුන්දෙනෙක්.
මොකා? උඹ කෙල්ලො දෙන්නෙක් එක්ක ආවද?
නෑ අම්මෙ මෙයාගෙ තාත්තා හරිම වසයි. මෙයා මාත් එක්ක ආපු බව දැනගත්තම අම්මව මරන්න හදයි. ඒ බයට එයාගෙ අම්මත් අපිත් එක්කම ආවා. මේවා බේරුමක් වෙනකම් එයාගෙ අම්මත් මෙහෙ හිටපුදෙන්කො.
කලකට පෙර ටෙලිනාට්‍ය කීපයක සුළු චරිත රඟපෑ එක්තරා ශිල්පිනියක් දැන් පරණ ඩිරෙක්ටර්ලට කතා කර කර අහනවලු, එයාට සුදුසු චරිත නැද්ද කියලා.
බැරිම තැන දර්ශන තලයටත් ගියාලු, ඩිරෙක්ටර් හමුවෙන්න.
මෙයා හොඳයිනෙ බොස් අර අපි හොයන චරිතෙට, සහාය අධ්‍යක්ෂකවරයා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයාට රහසින් කිව්වලු.
හොඳයි හොඳයි.. ඔක්කොම හොඳයි.. ඒත් මෙයාට තියෙනවනෙ ලොකු ප්‍රශ්නයක්?
මොකක්ද ඒ? වෙලාවට එන්නෙ නැද්ද? හැසිරීම අවුල්ද?
නෑ නෑ එයාට ඩයලොග් මළාට මතක හිටින්නෙ නැහැ. අමාරුවෙන් රියසල් එකේදී හරිගස්සගන්නවා, ඒත් සීන් එකේදී නානවා. අපට නාන කට්ටිය එක්ක වැඩ කරන්න වෙලා නැහැනෙ බං, ඩිරෙක්ටර් කිව්වලු.
දුරබැහැර පෙදෙසකින් කොළඹට ඇවිත් තමන්ගෙ නළු හීනය සැබෑකරගත් කලා ශිල්පියෙක් නැවතිලා ඉන්නෙ හෝමාගම පැත්තෙ බෝඩිමක.
වසරකට වැඩි කාලයක් නැවතිලා හිටිය බෝඩිමෙන් අයින්වෙන්න කියලා හදිසියේම අයිතිකාරයෝ කියලලු.
මිනිහා දහඅතේ යනවලු, සුදුසු බෝඩිමක් හොයාගන්න. අන්තිමේදී වයස්ගත ජෝඩුවක් ඉන්න ගෙදරක කාමරයක් කුලියට දෙන බව ආරංචිවෙලා ඔහු එතැනට ගියාලු.
මේ ළමයව කොහෙහරි දැකලා පුරුදුයි වගේ.. ඒ කතාවෙන් කොල්ලට පොඩි ගැම්මක් ආවලු.
ඔව් මම නළුවෙක්... ටෙලිනාට්‍යවල ඉන්නවා. 7.30ට දැන් යන එකෙත් මම ඉන්නවා, ඒත් මම ඉන්න කෑල්ල දැන්ම යන්නෙ නැහැ...
නැහැ නැහැ පුතේ... අපේ ගෙදර ටීවී එකක් නැහැ, අපි ඔය ටෙලිනාට්‍ය බලන්නෙ නැහැ. හන්දියෙ එළවළු කඩයක් දාගෙන හිටියා ඔය වගේම ළමයෙක්.
► Text - Mithra