ගී පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - නන්දා මාලිනී
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සෑදි මේ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගේ
මනමේ ළඟ මා සිත මොහොතකට නතර වෙයි. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ එන මේ ගී පද ප්‍රේමයත් ප්‍රේමයේ නිවුන් සොහොයුරෙකු වූ අනුරාගයේත් භාවපූර්ණ සුන්දරතා ගැන සාහිත්‍යයේ නෙක මෙවලම් භාවිතයෙන් කියන්නට දැරූ අතිශය සොඳුරු වෑයමක්යැයි මට සිතේ. ප්‍රේමයෙන් සිත සතුටින් ප්‍රමුදිත වූ සඳක ලෝකයේ කලඑළිය දකින්නට එපමණක් සෑහේයැයි සිතන්නට තරම් අපූරු බලයක් ප්‍රේමය සතුවෙයි.
ප්‍රේමයෙන් සිත තුටින් උතුරයි. පිපුණු නෙක පුෂ්පයන්ගෙන් මහා ඝන වනාන්තර අලංකාර වෙයි. මහා ගස් බඳ වටා ලතාවන් ආලයෙන් වෙලී... බලන්න.... ප්‍රේමය හිතේ ඉපදෙද්දී ස්පර්ශයෙන් ඒ ප්‍රේම කැකුළු මත අනුරාගයේ පිනි ඉහින හැටි. තුරු සිරුරු මත ප්‍රේමයෙන් අනුරාගයෙන් වෙලුණු ලතාවන් මණ්ඩපයක් සේ සැදී... බලන්න ඒ තුරු දහන හිරු රජිඳුන්ගේ චණ්ඩ රැස් දහර සුණු විසුණු කරන හැටි... මනමේ ප්‍රේමවන්තයන් එලෙසින් සොබාදහමට යාවී ආදර අනුරාග සුව ගැන කියද්දී.... ඔසරිය හැඳි වලව්වක පුංචි මැණිකේ කෙනෙක් ඇවිලෙන තුරුණු හැඟුම් දිගහරින ගීයක් ළඟ මම නැවතුනෙමි....
සඟවා කියන සඳ ආදර හැඟුම් නොසඟවා කියද්දී ජනිත කරන හැඟුමටත් වඩා චමත්කාරයැයි මට සිතේ. හිත ඉල්ලන අනුරාගී ස්පර්ශයන් ගැන ඉල්ලීම්ද ඉඟියෙන් හංගා අනේ මට එපා යැයි කෝලකම් කර තෙපලද්දී යටි හිතට ඕනෑ යැයි හැඟෙන දේ ලජ්ජාවට ගැහැනුකම් ඉස්මතු කරමින් මට එපා යැයි හිසත් පොඩ්ඩක් ගස්සා කියද්දී ඇත්තටම ඒ කෝලකම් ගැහැනුකම් පිරිමි හිත් අලවන සුළුය.
ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
ඔන්න මගේ ඔසරි පොටින් එහෙම අදිනවා එහෙම නෙවෙයි... අදිනවා එහෙම නෙවෙයි යන පුංචි තරවටුව පතුලේ ගැබ්ව ඇත්තේ අනේ අදින්නකෝ වැනි කෝල අර්ථයකි. ඔසරි පොටින් අදිද්දී ඔසරි පොටේ කොණක් වැදී මගේ කුස යහන සීරුණොත්... ඒ කුස මඬල කොතෙක් නම් සියුමලිදැයි නොකියා කියන අපූරු ගී බස කවියක් වැනිය. වලාකුළයි ඉරෙන්නේ... වලාකුළක් කෙතරම් මෘදුදැයි අල්ලා බලන්නට සිතෙන තරමට ඒ ගී පදය යට හැංගුණු ව්‍යංගාර්ථය රමණීය වෙයි.
එමෙන්ම වළාකුළයි ඉරෙන්නේ යන පදයෙන් දූහුල් ඇඳුම් ඉරීයයි වැනි අරැතක්ද හැඟවෙතැයි සිතේ.
රිදී පොටින් අදින්නෙපා තරැ දෙපොටයි කැඩෙන්නේ
මේ රිදීපොට සම්ප්‍රදායික ඔසරියට පළඳින හවඩිය යැයි සිතේ. රිදීපොට ස්පර්ශ වෙන්නේ උකුල් තලාවටය. විසේකාර හයිය පිරිමි අතකින් රිදී පොට අදිද්දී ඒ ඇඟිලි තුඩු ස්පර්ශය උකුල් තලය මත දනවන මොහොතක කිතියට වුවත් නෑඹුල් ගැහැනු සිරැරක් හිරිවැට්ටවිය හැක. ඔන්න අදිනවා එහෙම නෙවෙයි කියන්නේ අනේ අදින්න යැයි කියාගන්න බැරිකමට නම්....
මුහුණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
මුහුණට එබෙන්නයැයි කියන්නේ මුහුණ සිඹින්න යැයි සිතේ. මුහුණට මගෙ එබෙන්නෙපා.... මගේ මුහුණ එහෙම ඉඹිනවා නෙවෙයි ඔන්න... ඒ ඇයි මාව සිප නොගන්නේයැයි හැඟුම් සඟවා විමසන්නකි. පුයර ගැල්වූ මගේ සඳවන් කොපුල් තලවල පාට හේදෙයි ඔන්න සිපගත්තොත් එහෙම... හේතුවත් කියමින් කරන සොඳුරු සැඟවිල්ල කෙළවර.
හැමදාමත් ඔච්චම් - නෑ ඕලු විලට පනින්නේ
මේ ප්‍රේමවන්තයා ආදරණීය ආලවන්ත හැඟුම් අභිමුව කෝඩුකාරයෙකි. එහෙත් මේ පුංචි මැණිකේගේ කැමැත්ත ඔසරි පොටෙන් සැංඟුණු ළමැද තලා යහන, උකුළු තලා නිම්න අඩවන් නෙතින් උණුහුම් ඇඟිලි තුඩු කෙළවර අනන්ත සුව කැටි වූ පිරිමැදිල්ලකින් සනසන විසේකාර ආලවන්තයෙක්ට යැයි ගීයේ ගැඹුර පිරික්සද්දී මට සිතේ. රඹ කැන් කඳ යුගල කෙළවර වියළි බිම් මත පොද වැහි වැටී තෙමෙද්දී ඒ බිම මතපෙති දිග හැර පූදින නිල් කටරොලු මල් ඉල්ලන්නේ ඇත් පහසක් වැනි මහා වැස්සක්නම් ඒ කටරොලු මල් අබිමුව බවුන් වඩන මුණිවරුන් කුමටද? විල උතුරා දෙගොඩ තලායද්දී විලට බැස දියේ සැනසෙනු බැරිනම්... ඒ නෝක්කාඩු සිත චෝදනා මුඛයෙන් නගන චෝදනාව ගී පද රචකයා ගේ පෑන් තුඩට හසුවූ රසාත්මක ප්‍රස්තුතයක් සේ මම දකිමි.
එතන් කැලේ වලි කුකුළෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා....
අධ්‍යාත්මික ප්‍රේමයේ සුව සොයන ඉවසිලිවන්ත ප්‍රේමවන්තියක් ගී පද රචකයා අප හමුවට නොකැඳවයි. ප්‍රේමයේ සියුම් වැස්ම රාගය මිස... ආදරණීය ස්පර්ශයන් මිස... සිරුරු අවුලන ගින්දරක ගනුදෙනුවක් මිස අන් කවරක්ද? මුණිවර ප්‍රේමයන් සාහිත්‍යක්ම මිස යථාර්ථයක් නොවන බවද මේ ගී පද පහදන්නට උත්සාහ කරන්නේ... ඔව් එය එසේම යැයි මම විශ්වාස කරමි.
වලි කුකුළන් සටනට වන් කලෙක මරණය තුරු හෝ සටන අත්නොහරියි. අනෙක් අතට ඒ කුකුළන්ය. දැඟලිල්ල කොහොමත් ඉහටත් උඩින්ය. අන්න ඒ දඩබ්බර වලි කුකුළන් මට පේන්න නටනවා. හරියට මට ඔච්චමට වගේ.... දඩබ්බරකම්... හිතුවක්කාරකම්... වරෙක පිරිමිකම් තවත් ඔව් තව තවත් සුන්දර කරයි. මේ වලි කුකුළන් එවන් තුරුණු මදයෙන් මත්වූ ශක්තිවන්ත පිරිමින් ගැන කියන සංකේතයක් වැන්න. ඒ කුකුළු නැටිල්ල ඈ සිත රාග ගිනිසිළු දල්වයි. අත්තන මලත් සොඳුරු සංසර්ගයක... මට පෙනි පෙනී බඹර තුඩක වෙලෙනවා... සොබාදහමත් ආදර අනුරාග ගනුදෙනුවක... මම විතරක් සීතල ආදරයක....
ඇය සොබාදහමත් සාක්ෂියක් කරගෙන ඉවසිලිවන්ත කෝඩුකාරයෙකුට දොස් කියන ලස්සන.... ගීතයේ රසය පදවල ගිලී විඳිද්දී මට එසේ සිත්වේ.
බිනර මහට කළුවර දී මේ පෝයත් පිරෙනවා...
බිනර මහ - මහ වැහි ඇද වැටෙන සීතල සැප්තැම්බරය... මහ වැස්ස හද පවුරු මත රාගයේ උල්පත් මවන සීතල සැප්තැම්බරය. නිකිණි මහේ පෝයත් ගෙවී යනවා. සඳ එළියත් ගිනි අවුස්සන බලපුළුවන්කාරයෙක්... ඒ පුර සඳත් ඇවිත් ගිහින්... ඊළඟට වැහි මාසය... වැස්සත් සීතලත් කළුවරත් හරි හැඟීම්බරයි... ගින්දර අවුළුවන මහා හුළඟක් වගේ.... තවත් නම් නුඹත් එක්ක ඉවසිලිවන්ත ප්‍රේමයක සීලය රකින්න බෑ මට ......
පට සළු පිලි කසී රටේ විල පෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිලෙනවා
ඒ ඇගේ ආඩම්බරයි. වංශවත් පවුල් පසුබිමේ දිගහැරැමයි. යස ඉසුරැ ඇඳුම් ආයිත්තම් රන් අභරණ අපිට දීලා අපිව කැටුව යන්න ඕනතරම් අය බලාගෙන ඉන්නවා. ඒත් මම ඉවසන්නේ බහක් දුන්න නිසා නුඹට...
ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
ගමේ කමට නුඹට බහදුන්න මම වෙනතක් බැලුවොත් කතා හැදෙන්නෙත් මට. ඇගේ ගෞරවය ගැන ඒ ඇගේ වදවිල්ලයි.
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා
අපි වෙනතක් බලනවා. අපි යන යෙදුම ඇය ඇගේ ආත්ම ගෞරවයේ සුරුකුම උදෙසා මම යන්න වෙනුවට යොදාගත් ආදේශයක්යැයි සිතේ...
මම විතරක් නෙවෙයි ගෑනියෙක්ගේ උවමනා එපාකම් හරියට තේරුම් ගන්න බැරි වුණොත් මොන ගෑනිත් අහක බලනවා ඔන්න. වරදක් කළත් මම ඒ මම විතරක් නෙවෙයි මම වගේ වෙන ඕනෑම ගෑනියක් කරන වරදක් ඒක. ගැහැනුකමේ සූක්ෂම බව අපි යන යෙදුමෙන් මොනවට පැහැදිලි කරතැයි ගීතය විචාරයේ අවසනදී මට සිතේ.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර