ප්‍රේමයනම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි... සුරම්යයි
රාගයෙන් තොර ප්‍රේමයක් කොහෙද... ගහට පොත්ත වගේ රාගයත් එක්ක ප්‍රේමයත් ඇලී තියෙනවා... ප්‍රේමය නොකැඩෙන බන්ධනයක් බවට පත්කරන්නේ රාගය....... රාගයෙන් තොර ප්‍රේමයක් නෑ කියන එක කිසිසේත්ම පිළිගන්න අකමැති හුඟක් අය ප්‍රේමයට හැර නොයන හුස්මක් දෙන්නෙ රාගය එන්නතක් කියන කාරණය සාධනීය ලෙස ගෙනහැර දක්වන්න උත්සාහ කරමින්. සම්මුතික අදහසකට විසම්මුතිකව යන්න හීනෙකින්වත් අකමැති සම්ප්රදායේ කොටු පවුරැ ඇතුළෙ ආත්ම බන්ධන හදාගත්ත හුඟක් දෙනා මට හිතෙන්නේ ජීවිතය හොයාගෙන හොයාගෙන හොයාගෙන යද්දී හම්බවෙන හුඟක් රස ස්ව කැමැත්තෙන්ම කොන්දේසි විරහිතව අත්හැර දාපු අය.... ජීවිතය සුන්දරයි... නියපොත්තකින් පවා විඳින්න පුළුවන් සුවය, ස්පර්ශය විඳින හදවතක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්නම්....
අහන්න.... එන්න මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න... ඔයා එකඟද රාගයෙන් තොර ප්‍රේමයක් නෑ කියන එකට... මම එකඟ නෑ... රාගයෙන් වියුක්තව ප්‍රේමය පවතින තැන් හුඟක් ජීවිතේ හමුවෙනවා... හැබැයි එහෙම හමුවෙන්නේ අධ්‍යාත්මික ප්‍රේමයේ දිව්‍යමය සුවඳ දැන හඳුනාගත්තොත් විතරයි කියලත් මට හිතෙනවා... ආදරය ප්‍රේමය කියන්නේ අන් කිසිවක් නොව ඉන්ද්රියමය ගනුදෙනුවක් පමණක් කියලා හිතෙන අයට ආදරය ප්‍රේමය කියන්නේ ලිංගික ආස්වාදයක් විතරයි... අසීමිත ලිංගික වින්දනයක් විතරයි. ඒ ලිංගික බන්ධනයේ පුංචි හරි සීරීමක් ඇතිවෙච්ච දවසක ඔවුන් ආදරය ප්‍රේමය කියලා අරැත් පසිඳින්න හදපු හැම ගැටයක්ම ටිකින් ටික ලිහිලා යයි...
අහන්න..... ප්‍රේමයේ සමස්තය රාගයෙන් වියුක්ත නෑ... ඒත් මම කියන්නේ ප්‍රේමයේ සමස්තය කියන්නේ රාගය නෙවෙයි. නිල් කැටේට දිලිහෙන දියවරක් වගේ ප්‍රේමය රාගයෙන් මිදී පවතින තැන් ජීවිතෙන් මම එකතු කරගත්තා. ඔයා එක්ක ඒ ගැන කතා කරන්න... කියන්න තියෙන හැමදේම හුස්මක් දැනෙන දුරින් ඉඳගෙන ඇස් දෙක දිහා බලාගෙන කියන්න ඉඩක් නැතිකොට අපි දුර ඉඳන් කතා කරමු අකුරැවලින්.
ගෙදරින් එළියට ගිය දරුවෙක් රෑ කළුවර වැටෙනකම් ගෙදරට නේද්දී අම්මා කෙනෙක්ගේ පපුව අස්සෙන් පුංචි බයක් රිදිල්ලක් මතුවෙනවා... මගෙ දරුවට කරදරයක්ද? දරුවා බඩගින්නේද? අසනීපෙකින්ද? මගේ ඇහැට දරුවා දකිනකම් මට නිවනක් නෑ... නමට අම්මලා නෙවෙයි හදවතින්ම මවු ගුණ දන්න අම්මලා ගෙදරින් එළියට ගිය තමන්ගේ දරුවා වෙනුවෙන් බලාගෙන ඉන්නෙ එහෙම හිතුවිලිත් එක්ක. ඒ අම්මගේ පපුව හෝස් ගාලා ඇවිලෙන්නේ ඇඟ ඇතුළෙ ලේ වලින් බුබුළු දදා මතුවෙන ආදරය කියන ඉන්ධනයේ සැරට. එහෙම වෙලාවට අම්මට බත් කටක් කන්න බෑ. වතුර උගුරක් බොන්න බෑ... ඇස් නිදිමතින් පියවෙන්නෙ නෑ. බලහත්කාරයෙන් ඇස් පිහාටු ඇහරවාගෙන ඉන්නවා නෙවෙයි... ආදරය බැඳීම.... පපුව පලාගෙන ලේ ගලන්න තරම් හදවතට කිඳාබැස්ස ආදරයේ හයිය තමයි ඒ.... දරුවෙකුට ලෙඩක් දුකක් හැදුණත් ඒ ආදරය එහෙමයි... පුංචි කැස්සක් හැදුණත් කහින වාරයක් වාරයක් පාසා පපුව පිරිමදිමින් ඇහැරගෙන ඉඳියි... ඒ ආදරයම... අම්මා කෙනෙක්ගෙම ආදරය පිරිමියෙකුට වචනයේ පරිසමාප්ත අරුතින් බිරිඳක් වෙච්ච බිරිඳගෙන් පෙම්වතියගෙන් හම්බවෙන්න පුළුවන්... සමහරවිට අම්මා කෙනෙක්ගේ ආදරය කැටිවෙච්ච ආදරයක් ජීවිතේ අතරමඟදී මුණගැසුණු ජීවිතයට හුස්මක් වෙච්ච ගැහැනියකගෙන් පිරිමියෙකුට හමුවෙන්න පුළුවන්. අම්මා කෙනෙක්ගේ ස්නේහය ගැහැනියකගේ හදවතේ තමන්ගේ ජීවිතයම කරගත්ත පිරිමියා වෙනුවෙන් තැවරෙන එහෙම වෙලාවක ඒ ආදරේ ඇතුළෙ අල්පමාත්‍රයකවත් රාගයක් නෑ... අර අම්මා දරුවා වෙනුවෙන් බලාගෙන ඉන්න විදිහටම තමයි ඒ ගැහැනියත් තමන් ආදරය කරන පිරිමියා වෙනුවෙන් බලාගෙන ඉන්නෙ... පිරිමින්ට එහෙම ආදරය කරන ගෑනු ඉන්නවා. ඒ ගැහැනියකට තමන් ආදරය කරන පිරිමියාව වෙලාවකට දැනෙන්නේ තමන්ගේ දරුවෙක් විදිහට. නාවලා කිඹුහුමක් යයි හෙම්බිරිස්සාවක් හැදෙයි කියලා බයට තෙත තුනී වෙනකම් කොණ්ඩය පිහදාලා ඕඩික්ලෝන් ටික ඔළුවට දාලා තමන්ට ගිම් නිවාගන්න දෙන උරමඬලේ ළය මඬලේ පුයර ගල්වලා දෙපතුල් පවා ස්නේහයෙන් සිඹගන්න, තමන් ආදරය කරන පිරිමියාට දණ ගහලා වඳින ගැහැනුන් ඉන්නවා. ඒ ආදරය ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය විතරක් නෙවෙයි. භක්තිය, ගෞරවය, දේවත්වය ඒ හැමදේම ඒ ආදරේ ඇතුළෙ තියෙනවා. ඒක සංසාර පාරමිතාවක්. බුදුන්ට දෙවියන්ට පූජා කරන්න වගේ භක්තියකින් කැඳක් බතක් හදලා කවලා පොවලා තමන් ආදරය කරන පිරිමියාව රැක බලාගන්න ගැහැනියෙකුට කිසිවක් ආපසු නොඉල්ලා ඇය සාගරයක් වගේ දන්දෙන ප්‍රේමය වෙනුවෙන් ලැබෙන්නේ දිය දෝතක් තරම් ප්‍රේමයක් වෙන්න පුළුවන්.
සාගරයක් වෙනුවෙන් දිය දෝතක්....
අකම්පාව හුඟක් දේවල් දරාගෙන ඉන්න ගැහැනියකට ඒ දිය දෝතත් මහා සාගරයක්... දිය දෝතක් ඇති තිබහක් නිවන්න....
නිදාගන්නවකෝ ඕයි... තමුසෙ මොකටද ඇහැරලා ඉන්නෙ..... පිස්සු ගෑනියක්... ආදරේ නැතිකමට නෙවෙයි ඒත් ඉඳලා හිටලා හරි කියවෙන ඒ වචන වෙනුවට ගැහැනියකගේ ආදරයේ සිසිලස, තෙතමනය, තරම තේරැම් ගන්න පිරිමියෙකුට හැමදාමත් පුළුවන්නම්.... ඔයා බණිද්දී මට තරහක් එන්නෙ නෑ. ඒත් දුකක් දැනෙනවා කියන ගැහැනියකගේ ප්‍රේමයේ පරාසය තේරුම් ගන්න පුළුවන්නම්... පිරිමියෙකුට...
නුඹ මට මනුස්සයෙක් නෙවෙයි දෙවියෙක්... ඍෂිවරයෙක් කියන හැඟීමෙන් සලකන ගැහැනියකගේ ප්‍රේමය වෙනුවෙන් පිරිමියෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග ඒක කියලා මට හිතෙනවා....