2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ඒ වෙලාවට මාරම ජොලි ඒවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න තමයි බැරි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 182

ඉෂාන් ගම්මුදලි - රයන් වෑන්ව මුණගැසුණු මුල්ම කාලය මතකද?
මට මතක හැටියට රයන්ව මට මුණගැහුණේ මීට අවුරුදු පහළොවකට විස්සකට පමණ උඩදියි. එතකොට අපි දෙන්නා මෙහෙම ජනප්‍රිය නැහැ. ඒ අපි කලාවට ආපු මුල්ම කාලයයි. ඒ වෙද්දි මම රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයක් කරලා තිබුණා. නිරෑපණ ක්ෂේත්‍රයේ ටිකක් හිටියා. හැබැයි ජනප්‍රිය වෙලා හිටියේ නැහැ. මම උසස් පෙළ අධ්‍යාපනය කරලා නුවරින් කොළඹට ආපු මුල්ම කාලය තමයි ඒ. ඉතින් නුවර ඉඳන් කොළඹ ඇවිත් නුහුරු පරිසරයක ජීවත් වෙද්දි ඒ දැනුණු හුදෙකලාව වගේම කට්ටක් කාපු කාලයක තමයි රයන්ව මට මුණගැහෙන්නේ. මට තාම මතකයි බම්බලපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයකදී තමයි මට මුලින්ම රයන්ව මුණගැහුණේ. එතකොට රයන්ට හිතෙන්න ඇති මම ආගන්තුකයි කියලා. ඒ නිසා මට ඒ කාලෙදිත් රයන්ව ලොකු හයියක් වුණා. ඒ කාලෙදිත් රයන්ට ලොකු සමාජ පිළිගැනීමක් තිබුණා. රයන් දන්න යාළුවෝ හැමතැනම හිටියා. අදටත් ඒ වගේම තමයි. ඉතින් නුවර ඉඳන් කොළඹ ආපු ඒ ආගන්තුකයාට රයන් ලොකු හයියක් වුණා.

රයන් මොන වගේ කෙනෙක්ද?
රයන් කියන්නේ අතිශයින්ම සුන්දර මනුස්සයෙක්. අපි දකින රයන් ඇඟ පුරා පච්ච කොටාගත්තු, මාල දාගෙන, හරි සෙල්ලක්කාරව හිටියට ඔය මනුස්සයාගේ ඇතුළේ ඉන්නේ පුදුමාකාර මනුස්සකමක් තියෙන අති සුන්දර මනුස්සයෙක්. රයන් ප්‍රසිද්ධ කරන්නේ නැති වුණාට පුදුමාකාර විදිහට නැතිබැරි අයට, රෝහල්වලට උදවු කරන මනුස්සයෙක්. ඒ පිංදහම් එයා කරන්නේ තනියම නෙමේ. අපිවත් එයා හවුල් කරගන්නවා. ළඟදිත් එයා රෝහලකට දානයක් දුන්නා. ඒකට මට කතා කළාට යන්න බැරිවුණා. ඉතින් හිතන විදිහට රයන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වැඩිපුරම වියදම් කරන්නේ අහිංසක මිනිසුන් වෙනුවෙන්ම තමයි.

රයන්ට කේන්ති යනවද?
අසාධාරණයකදී රයන්ට මළ පනිනවා. ඒ වුණත් පුළුවන් තරම් ඒ කේන්තිය රයන් දැන් මඟහරවා ගන්න උත්සාහ කරනවා. කොහොම වුණත් රයන්ට සමහර වෙලාවට කේන්ති යන්නේ එයාට අසාධාරණයක් වෙච්චි වෙලාවට වඩා අනිත් අයට වෙන අසාධාරණ වෙලාවල්වලදී තමයි. යාළුවොන්ට අමාරුවක්, අසාධාරණයක් වෙච්චි වෙලාවලදී රයන් කවදාවත් මඟහරින්නේ නැහැ. කෙනෙක් සතුටින් ඉන්න වෙලාවටත් වඩා කෙනෙක්ට අසනීපයක්, ප්‍රශ්නයක්, දුකක් ඇති වෙලාවකදී රයන් අනිවාර්යයෙන්ම ඒ යාළුවත් එක්ක ඉන්නවා.

රයන්, ඉෂාන්, වගේ යාළුවෝ සෙට් එකක්ම ඔයාලා අතරේ ඉන්නවනේ. මේ කණ්ඩායම එකතු වුණාම මොකද කරන්නේ?
ඒ වෙලාවට ඉතින් මාරම ජොලි තමා. ඒවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න තමයි බැරි. හැබැයි මෙහෙමයි. අපි සෙට් වෙන්නේ අරමුණක් ඇතිව නෙමේ. අපි මේක කරමු කියලා කවදාවත් හිතලා ප්ලෑන් කරලා සෙට් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් කට්ටිය එකට සෙට් වුණාට පස්සේ ඉතින්... ආයේ දෙකක් නැහැ. අපේ සෙට් එකේ කිහිපදෙනෙක් ඉන්නවා ඒ අතරේ කාවිංගයා (කාවිංග පෙරේරා), අතුල අයියා (අතුල අධිකාරී) ඉන්නවා. ඉතින් අතුල අයියා ඉන්නවනම් ඉතින් සින්දුවක් අහන එක අනිවාර්යයෙන්ම කරනවා. සමහරදාට එළිය වැටෙනවා දන්නෙත් නැහැ. අපි සින්දු කිය කියා සුන්දර දවස් ගතකරනවා.

අතුල සින්දු කියද්දි රයන් එහෙම සින්දු කියන්නේ නැද්ද?
අම්මෝ... කියනවා කියනවා.. සමහරදාට රයන් සින්දු කියනවට වඩා යටි ගිරියෙන් කෑගහනවා. හැබැයි ඉතින් රයන්ටත් මාර වොයිස් එකක් තියෙන්නේ. රයන් පිරටවල්වල ෂෝවලට පවා යනවා. ඒ තරමටම ඌට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්.

රයන්ටයි, ඉෂාන්ටයි එකම නාට්‍යයක රඟපාන්න ලැබිලා නැද්ද?
අනේ.. ඇත්තටම නැහැනේ. තවමත් අපි දෙන්නට එකම නාට්‍යයක වැඩ කරන්න ලැබිලා නැහැ. මම වෘත්තියෙන් නළුවෙක් නෙමේ. මම මහජන බැංකුවේ වැඩ කරන්නේ. ඉතින් බැංකුවේ වැඩ කරන ගමන් තමයි මම රඟපෑම කරන්නේ. හැබැයි රයන් මේ වෙද්දි පට්ට ජනප්‍රියයි.

රයන්ගේ රංගනය ගැන ඉෂාන්ට මොකද හිතෙන්නේ?
පුදුමාකාර සන්තෝෂයක් තියෙන්නේ. දැන් තමයි එයා හරි තැනට ඇවිත් තියෙන්නේ. උගේ ඇඟ ඇතුළේ හැංගිලා තිබුණ රංගන හැකියාව දැන් තමයි ඌ එළියට දාලා තියෙන්නේ. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය නිසා රයන් මාර විදිහට ජනප්‍රිය වුණා. දැන් තමයි රයන්ගේ කාලේ. හැබැයි මම හැමවෙලේම රයන්ට කියන්නෙත් එකම විදිහට කොටු වෙන්නෙ නැතිව විවිධ චරිත රඟපාන්න කියලයි. හැබැයි පසුගිය කාලේදි විකාශය වුණ මුතු කුඩ ටෙලි නාට්‍යයෙන් ඒ වෙනස රයන් පෙන්නුවා.

රයන් එක්ක පාරේ එහෙම යද්දි එයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අම්මෝ.. ඒක මාරයි. එළියට බැස්සම සමහරදාට රයන්ව බේරගන්න බෑ. මෙයාගෙත් වැඩේම ඒකම තමයි. වෙලාවකට මෙයා එක්කනම් අපිට වැඩකට යන්න බැහැ. වටේ ඉන්න හැමෝටම කතා කර කර, හිනාවෙවී ඒ අය එක්ක සෙල්ෆි ගහ ගහා තමයි මෙයා එන්නේ. ඉතින් සමහරදාට මෙයාව ඇදගෙන අපි තමයි දුවන්නේ.

රයන් වගේ යාළුවෙක් ජීවිතේට මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නේ?
ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම රයන් කියන්නේ මට යාළුවෙක්ටත් වඩා හොඳ සහෝදරයෙක් වගේ. රෑ දොළහට එකට හරි මොනවාහරි හදිසි දේකට රයන්ට කෝල් කරලා කිව්වොත් මචං ඉන්න තැන කියපන්.., වෙන්න ඕනෙ මොනවද කියපං එච්චරයි එයා කියන්නේ. ඇත්තටම රයන් වගේ යාළුවෙක් ජීවිතයට ලැබීම ලොකු හයියක්. උගේ පෙනුමෙන් පේන්නේ රස්තියාදුකාරයෙක්. ඇඟ පුරා පච්ච ගහගෙන, අරැංගල් දාගෙන, කොණ්ඩෙට අමුතු විලාසිතා කරගෙන හිටියට උගේ ඇතුළේ ඉන්නේ පුදුමාකාර හොඳ කෙනෙක්. ඒ පෙනුම එක්ක ගැලපෙන්නේ නැති එකෙක් තමයි ඇතුළෙ ඉන්නේ.
ඉෂාන් රයන් ගැන කියපු එකේ රයනුත් ඉෂාන් ගැන කිව්වේ මොනවද කියලා අපි අහල බලමුද? මෙන්න ඒ කතාව.

රයන්.. ඔයාට මතකද ඉෂාන්ව මුලින්ම මුණගැහුණු ඒ කාලේ?
ඉෂානුයි මායි මුලින්ම මුණගැහුනෙනම් මීට අවුරුදු ගණනාවකට උඩදියි. එතකොට මම කලාවට සම්බන්ධ වුණු අලුතයි. ඒ වෙද්දි මට හිතෙන විදිහට ඉෂාන් නිර්මාණ කිහිපයකම රඟපාලා තිබුණා. හැබැයි එදා ඒ ඉෂාන්ව හම්බවෙච්චි දවසේ ඉඳන් ඇතිවෙච්ච මිතුදම අදටත් ඒ විදිහමයි. ඒ අපූරු යාළුකම් අපි දෙන්නා මැරෙනකල්ම තියේවි කියලා මම විශ්වාස කරනවා.

ඉෂාන් කියන්නේ මොන වගේ යාළුවෙක්ද?
ඉෂාන් කියන්නේ සුන්දරම සුන්දර පට්ට හොඳ හිතක් තියෙන යාළුවෙක්. ඉෂාන් හරි ආසයි එයාගේ යාළුවන්ට උදව් කරන්න. ඒක මේ මූනිච්චාවට කරන දෙයක්වත්, නොකර බැරිකමට කරන දෙයක්වත් නෙමේ. ඒ උදව් ඉෂාන් කරන්නේ බොක්කෙන්මයි. මේ ක්ෂේත්‍රයේ සමහර කලාකරුවන් ඉන්නවා තමන්ට වඩා වෙනත් කලාකරුවෙක් ඉස්සරහට එනවට ආස නැහැ. ඒ වගේ ගොඩක් කට්ටිය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි ඉෂාන් හිතේ ඒ අදහස නැහැ. තමන්ගේ ක්ෂේත්‍රයේ කෙනෙක්ට විතරක් නෙමේ අනිත් අය ඉදිරියේදීත් ඉෂාන්ගේ හදවත පිරිසිදුයි. අවංකයි.

ඉෂාන්ට කේන්ති යනවද?
ඉෂාන්ට කේන්ති යනවා කීපවතාවක්ම මම දැකලා තියෙනවා. හැබැයි ඒ හැම වතාවකම ඉෂාන්ට කේන්ති ගියේ යම් අසාධාරණයක් වෙනුවෙන් විතරයි. ඒ අසාධාරණ ඉදිරියේ ඉෂාන් කතා කරපු වෙලාවල් තිබුණා. සෙට් එකකට ගියාම අපි හැමෝම එකයි. අපි රූගතකිරීමකට උදේට ගියාම අපි බොන්නේ එක තේ එකනම් අපි හැමෝම කන්නේ එකම කෑම වේලනම් අපි හැමෝම එකයිනේ. ඉතින්... මිනිසුන් පහත් කරලා කතා කරනවානම් ඉෂාන්ට පෙන්නන්න බැහැ.

ඉෂාන් හරි අපූරුවට අඳින පළඳින කටයුතු කරනවා නේද?
ඔව්.. ඉෂාන් විලාසිතා කරනවා. එයාට ආවේණික වුණ විලාසිතාවක් තමයි එයාට තියෙන්නේ. ඉෂාන්ගේ ගම නුවර. එයා එයාගේ ගමට, ඒ ගමේකමට හරි ආදරෙයි. ඒ නිසා එයා කොළඹ ඇවිත් ඕනෑවටත් වඩා ස්ටයිල් කරන්නෙත් නැහැ. ඉෂාන්ගේ මව්පියෝ වුණත් මම දන්නවා. ඒ අය නුවර ඉතා හොඳ වැදගත් මිනිස්සු. ඇත්තටම මම ඉෂාන් අඳින පළඳින පිළිවෙළට හරි කැමතියි.

ඉෂාන් කියන්නේ විනෝදකාමී කෙනෙක්ද?
අම්මෝ ඔව්.. ඉෂාන් හරි ආසයි යාළුවෝ එක්ක විනෝද වෙන්න. ඒ සෙට් වෙන හැම මොහොතකම අපි ළඟ බොක්ස් ගිටාර් එකක් තියෙනවාම තමයි. ඉෂාන් සින්දු කියන්න හරි ආසයි. ඌට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. මුලින් මුලින්මනම් ඒ කියන සින්දු අහන් ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ටකරමකට ගහනවා වගෙයි ඒ කාලේ අපිට ඇහුණේ. හැබැයි ඒ ගීතත් අද වගේම අපි හරි අපූරුවට රස වින්දා. කොහොමහරි ඒ කටහඬ පොලිෂ් කරලා දැන්නම් ඉෂාන්ට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉෂාන් එක්ක ඉන්න හැම තත්ත්පරයක්ම ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ තරමටම මූ හරි සුන්දරයි.

ඉෂාන්ගේ රංගනය ගැන රයන් මොකද හිතෙන්නේ?
බැංකුවේ රැකියාව කරගෙන ඉන්න අතරතුරේදී තමයි ඉෂාන් කලාකරුවෙක් වෙන්නේ. මව්පියන්ගේ තිබුණ ලොකුම හීනය තමයි ඉෂාන් බැංකුවක සේවය කිරීම. ඒ වගේම ඉෂාන්ගෙත් ඒ ආසාව තිබුණා. අද ඉෂාන් ඒ මව්පියන්ගේ හීනය හැබෑ කළා. හැබැයි මම දන්න තරමට අධ්‍යක්ෂකවරු දෙන්නෙක් තුන්දෙනෙක් හැරෙන්න තවමත් ඉෂාන්ගේ දක්ෂතා හරියට කට්ටිය හඳුනාගෙන නැහැ. ඉෂාන් කියන්නේ දක්ෂයෙක්. මූට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. උගෙන් මාර පට්ට වැඩක් මීට වඩා ගන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

ඉෂාන්ටත් යාළුවෙක් ජීවිතයට මුණගැසීම ගැන මොකද හිතෙන්නේ?
මට ඇත්තටම සතුටුයි. යාළු මිත්‍රයෝ මේ ක්ෂේත්‍රයේ අනන්තවත් ඉන්නවා. උදේ හම්බ වුණාම ගුඩ් මෝනිං කියලා හවසට සෙට් එකෙන් යද්දි සීයූ බායි කියලා යන සමාජයක්නේ මේ තියෙන්නෙ. ඒ සමාජය ඇතුළේ ඉෂාන්ගේ තියෙන මිතුදම ගුඩ්මෝනිං සීයූ බායි කියනවට වඩා ගොඩක් ගැඹුරුයි.

 

► Text — Dishani  /  Pic - Sumudu & Internet