සම්මානනීය රංගන ශිල්පිනියක හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක වන නදීෂා හේමමාලී පසුගියදා චීන ටෙලි නාට්‍යයක මුල්වරට රංගනයෙන් දායක වූ අතර වසර 60කට වැඩි ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව ඉතිහාසයේ ශ්‍රී ලාංකික නිළියක මුල්වරට චීන ටෙලිමාලාවක රඟපාන මුල් අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා - චීන සම නිෂ්පාදනයක් වන මෙම ටෙලි මාලාව නම් කර තිබෙන්නේ “You Are Always With Me ලෙසය. මෙම අනගි අවස්ථාව පිළිබඳව අපි නදීෂාගෙන්ම අසා දැනගනිමු.
“ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් මුල් වරට තමයි චීන ටෙලි මාලාවක රංගනයෙන් දායක වෙන්නෙ. ඒ සුවිශේෂී වරම මට ලැබීම ගැන ඇත්ත වශයෙන්ම මම කොයි තරම් වාසනාවන්ත ද කියලා හිතෙනවා. චීනයේ ගත කළ ඒ කාලය තුළ මා ලබාගත් අත්දැකීම් බොහෝයි. ඔවුන්ගේ ආගන්තුක සත්කාරය වගේම වෘත්තීය රංගන ශිල්පිනියක් හැටියට මට ලබාදුන් සෑම පහසුකමක් ගැනම වෙලාවකට මට පුදුමත් හිතුණා. මට ඒ අයගේ සිත් දිනා ගැනීමට වැඩි කාලයක් ගියේ නැහැ. ඒ ටෙලි මාලාවේ රඟපෑවේ චීනයේ මුල් පෙළේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්. ඔවුන් සමඟ කරට කර රඟපෑම මගේ ජීවිතයේ ලැබූ සුවිශේෂී භාග්‍යයක් කියලයි හිතන්නෙ.
චීනයේ විතරක් නෙවෙයි, තෙලිඟු චිත්‍රපටයක රඟපෑ මුල්ම ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියත් ඔබ නේද...?
ඔව්... ඒ වාසනාවත් මට ලැබුණේ මීට වසර කීපයකට පෙර. සුප්‍රකට ඉන්දියානු සිනමා අධ්‍යක්ෂගේ “රාස්කල්* නමැති තෙලිඟු චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ තුළින් ඉන්දීය රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍රවීමට මට වරම් ලැබුණා.
මේ අලුත්ම චීන ටෙලි මාලාවට පාදක වෙන්නෙ මොන වගේ කතාවක්ද...?
මේක මුල් වරට නිර්මාණය වන ශ්‍රී ලංකා - චීන ටෙලි නිෂ්පාදනයක්. මෙහි මුල්වරට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙකුත් චීන ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙනවා. ඔහු තමයි දේවින්ද කෝන්ගහගේ. මෙම ටෙලි මාලාව පසුබිම් වෙන්නෙ දෑස් නොපෙනෙන අය වෙනුවෙන් කෙරෙන කනීනිකාව (කෝනියාව) දන්දීම ගැන දැනුවත් කිරීමක්. ඒ ටෙලිනාට්‍ය රූපගත කිරීම් කළ කාලය තුළ වගේම දර්ශන තලවල ඔවුන් දැක්වූ වෘත්තීය භාවය හරහා අපට බොහෝ දේවල් ඉගෙන ගන්නට තිබෙනවා.
ඔබ මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ වසර දෙකක නිහැඬියාවකින් පස්සෙ. ඔබ අවුරුදු 16කට වැඩි කාලයක් මෙම ක්ෂේත්‍රයේ කැපීපෙනෙන භූමිකා රැසකට දායක වෙලා තියෙනවා. මින් ඉදිරියට අපට ඔබව දකින්නට ලැබෙන්නෙ විදෙස් නිර්මාණ තුළින් පමණද...?
අපෝ නැහැ. මට දෙයක් කළ හැකි සුදුසු චරිත ලැබුණොත් මම රඟපානවා. මේ දිනවල මම “හිරු දේව කියන අලුත්ම ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟපානවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සනත් අබේසේකර.
පසුගිය දිනවල පැවැති සම්මාන උළෙලවල් කීපයකදීම ඔබව අපි දැක්කෙත් නැහැ...?
ඔව්... මම නම් මට සම්මාන ලැබුණත් නැතත් අපේ කලා ක්ෂේත්‍රයේ සහෝදර ශිල්පීන් ශිල්පිනියන් අගැයීමට ලක්වෙන එවැනි උත්සවවලට සහභාගී වෙනවා. ඒත් මොන හේතුවක් නිසාද මම දන්නෙ නැහැ. දැන් මට සම්මාන උළෙලවල්වලට ආරාධනා කරන්නෙ නැහැ.
ඔබ ගැන තවත් ආරංචියක් ලැබුණා. ඔබ දැන් සාම විනිශ්චකාරවරියක් නේද...?
ඔව්... මට පසුගිය දවසක ඒ පත්වීම ලැබුණා. ඒ ගැන සතුටුයි.
2002 වසරේදී “පුලින ප්‍රාසාද ටෙලි නාට්‍ය හරහා රංගන දිවියට අවතීර්ණ වූ නදීෂා ඉන් අනතුරුව කටු කුරුල්ලෝ, මැණික් මාළිගා, වසන්තේ ඇවිල්ලා, ප්‍රථම හිරු, ඉසුරු යෝගය, මිරිඟු නදිය, ජීවිතය දකින්න, ධවල යාමය, සත්පත්තිනි, සඳ නුදුටු සඳ, මව් දෙව් දූ ඇතුළු ටෙලි නිර්මාණ රුසක ඇගේ දක්ෂ රංගන ප්‍රභාව ප්‍රකට කළාය. ඇත් කඳ ලිහිණියා නිෂ්පාදනය කරමින් නදීෂා සම්මානයට ද පාත්‍ර වූවාය. ජනප්‍රිය නිළියක ලෙස වැජඹුණු ඇය කලක් දේශපාලන කරළියේ ද නියැලී කටයුතු කළාය.
නදීෂාගේ චීන ටෙලි මාලාවේ රංගන දායකත්වය පිළිබඳවත්, එම නිර්මාණය පිළිබඳවත් අපි දේවින් ද කොන්ගහගේගෙන් අදහස් විමසීමු.
“ඉතිහාසයේ මුල්වරට තමයි නදීෂා ශ්‍රී ලාංකික නිළියක් හැටියට චීන නිර්මාණයක සහභාගී වෙන්නෙ. මේක ශ්‍රී ලංකා - චීන සම නිෂ්පාදනයක්. මේකත් සිද්ධ වෙන්නෙ මුල්වරට. මේ නිර්මාණයේ මම කටයුතු කරන්නෙ සම අධ්‍යක්ෂක, සම විධායක අධ්‍යක්ෂ හා සම විධායක නිෂ්පාදක හැටියටයි. මේකත් මුල්වරට ශ්‍රී ලාංකියෙකුට ලැබෙන වරමක්. ලංකාවේ පහසුකම් සලසන සමාගම ලෙස කටයුතු සිනෙ ටෙලි ඉන්ටර්නැෂනල් ආයතනයයි. මේ ටෙලි මාලාවේ නදීෂා වගේම බිමල් ජයකොඩි රඟපානවා. දින 18ක රෑපගත කිරීම් ළඟදීම ලංකාවෙ සිදු වෙනවා. චීනයේ ජනගහණය බිලියන 1.3ක් වෙනවා. අපට තියෙන්නෙ මිලියන 21ක ජනගහණයක්. ඒත් ඇස්වල කෝනියා දන්දීම අතින් අපි ඉන්නෙ ඉහළම තැනක. ඒත් චීනයේ එහෙම නෑ. මේ ටෙලි මාලාවට පසුබිම් වෙන කතාව තුළින් කෝනියා දන්දීම පිළිබඳව පුලුල් අවබෝධයක් ලබා දෙනවා.
Text - Ramesh Uvais / Pic - Internet