2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

දැහැන

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184
 
අඬන හිතක සීතල ඔයාට කවදාහරි දවසක දැනිලා තියෙනවද? වේදනාවක් - දුකක් කියන්නේ කොයි වගේ හැඟීමක් ද කියලා නිර්වචනය කරන්න වෙන කාටවත් බෑ... ඇහැට උණන කඳුළු තුනී කරගන්න හිස තියාගන්න උරහිසක් නැති දුකට ඉකිලන හදවතකට ඇරෙන්න. කළුවර හරි ඝනකම්.. කළුවරක කළුවර දැනෙන හිතකට.... කළුවර හරි ඝනකම් කළුවරක කළුවර දැනෙන හිතකට 
ගොඩක් ආදරෙයි..
 
මගේ මැණික මගේම මැණික...
ඒ වචන ආදරයෙන් ජීවිතය පුරා නොවින්ද කෙනකුට මහා සාගරයක්...
මුළු ජීවිතයක්..
 
ඒත් හිතක් අල්පමාත්‍රයකින්වත් නොරිදවා ඒ වචන ටික කියන්න ඔයාට පුළුවන්නම්...
තුවාලයක් ඇති කරලා කොච්චර ආදරයෙන් ඒ තුවාලයට බෙහෙත් කළත් මොකටද? ඔයාට පුළුවන්නම් කෙනෙක්ට ඔයා තුවාල නොකර අනිත් අය ඇති කළ තුවාලවලට බෙහෙත් කරන්න... සුවපත් කරන්න. ඔයාට මනුස්සකමට... ආදරයට, තේරැම්ගැනීමට නිවැරදිම අරුතක් දෙන්න පුළුවන් අන්න එතනදි විතරයි. අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට දෙවැනි තැනට දාන්න පුළුවන්නම්. ඒ දෙවියන් සදිසි මිනිසුන්ට... ඒ සෘෂිවරුන් සදිසි මිනිසුන්ට විතරයි. පරාර්ථය යටපත් කරගෙන ආත්මාර්ථයට ඉඩක් දුන්න හදවත් තියෙන මිනිසුන්ට අනුන්ගේ සතුට වෙනුවෙන් එවන් ඉවසීමක් දරන්න බෑ..
 
හිතට වේදනාවක් දැනෙන වෙලාවට ඒ දුක වචන බවට පෙරළන්න, ළඟට වෙලා දැවටි දැවටී වේදනාව නිවෙනතුරු උරහිසක ඔළුව තියාගෙන අඬන්න අනේ කෙනෙක් ඉන්නවානම් කියලා ඔයාටත් හිතිලා ඇති.. ඒත් ජීවිතේ තමන්ටම කියලා කෙනෙක් නැති කෙනෙක්ට කඳුළක සීතල බෙදාගන්න ඉන්නෙත් තමන්ම විතරයි. නුඹ නැතුව නුඹ එක්ක ජීවිතේ බෙදාගන්න තත්ත්පර හොයන හිතක දුක.... ඒ දුකේ ගැඹුර.. ඒ ගැඹුරේ උවමනාව සමහරවිට ඔයාට මුළු ජීවිත කාලය තුළම තේරුම් ගන්න බැරිවෙයි.. 
 
තමන්ටත් වඩා කෙනකුට ආදරය කරන්න ඔයාට  පුළුවන්ද?
මම හිතනවා සිරුරේ හැම ලේ බිංදුවකටම කාවැදුණම ඒ ආදරය මුළු ජීවිතයම කරගත්තම මම මට වඩා එයාට ආදරෙයි කියන සිතුවිල්ල, හැඟීම හුඟක් බලවත් විදිහට හිතට එනවා. හිතට දැනෙනවා.. ඒ හැඟීම හරිම උණුසුම්.. මේ ලෝකයේ හැම උණුසුමකටම වඩා ඒ හැඟීම හරිම උණුසුම්...
 
තමන්ගේ මුළු ජීවිතයම කරගත්ත කෙනෙක්ගේ කටහඬ අහන්න, දවසේ එක තත්ත්පරයක් දෙකක් වෙනුවෙන් මුළු දවසම බලාගෙන ඉන්න කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්න පුළුවන්...
ආදරයෙන් එක වචනයක් අහන්න මුළු දවසක්ම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්න පුළුවන්... ඒ ආදරය.. ආදරය කැටි වෙච්ච වචන වෙනුවට ඔයා එයාට දෙන්නේ දරදඬු දඩබ්බර වචන අහුරක්නම් ඔයාට කවදාවත් සමහරවිට තේරුම්ගන්න බැරිවෙයි එහෙම හිතක් හඬන හඬ....
ජීවිතය කියන්නෙත් මහ රළ පහරක්...
ඒ රළ පහර උස් පහත් වෙවී ගලනවා... නවතිනවා.. බිඳිලා යනවා...
සංසාරය කියන්නේ මහා සාගරයක්.. ජීවිතය කියන්නේ එක රළ පහරක්.. ඒ රළ පහර ඉරණමේ වෙරළ තෙක් ඇදී එන ගමනේ ගමනාන්තය තෙක් නොවැරදීම හොයන එකම එක හැඟීමක් තියෙනවානම් මට හිතෙන්නේ ඒ ආදරය..
සොබාදහමේ කැමැත්ත ඒ ආදරය ගැන පරිච්ඡේදය හැම ඉරණමකම පෙළ ගස්සවන්නේ එකම විදිහකට නෙවෙයි.
ආදරය විඳිනු පිණිස....
ආදරය දැනෙණු පිණිස...
ආදරයට අරුත් පුරනු පිණිස...
සෙවණැල්ලක් සේ ළඟින් රැඳුණු කෙනෙක් ජීවිතය පුරාම ළඟින් ඉන්නවානම්...
ප්‍රේමය විඳිනු පිණිස ප්‍රේමය දැනෙනු පිණිස එය මගේම විය යුතු යැයි න්‍යායක් ලෝකේ කොහේවත් නෑ.. මගේම වෙච්ච තැනකදී නොදැනෙන ආදරයක් සමහරවිට මගේම නොවන තැනකදී දැනෙන්න පුළුවන්...
ප්‍රේමය තියෙන්නේ අයිතිය තුළ නෙවෙයි... තේරුම් ගැනීම තුළ.... අවබෝධය තුළ... පරිත්‍යාගය තුළ... ප්‍රේමයට දෙන සමස්ත වටිනාකම් තුළ...
ප්‍රේමයක් තුළ වේදනාවන් ඉපදෙන්න පුළුවන්..
මඟහැරීම් ඇතිවෙන්න පුළුවන්...
වටිනාකම් නොදැනෙන්න පුළුවන්..
පිටස්තරයි කියලා හිතෙන්න පුළුවන්...
මගේමයි කියලා නොදැනෙන්න පුළුවන්...
ඔයාව මුළු ජීවිතයම කරගෙන දක්වන....
අසීමාන්තික ප්‍රේමය ඔයාට නොදැනෙන්න පුළුවන්...
නොහැඟෙන්න පුළුවන්..
ප්‍රේමයේ ලියකම් මැවූ
භක්තිය, ගෞරවය, ස්නේහය
ඔයාට නොදැනෙන්න පුළුවන්..
ඔයාට එහෙම නොදැනෙන හැම තත්ත්පරයක්ම
තව කෙනකුට කොච්චර වේදනාවක්ද?
ඔයාට ඉඩක් තියෙන මොහොතක් තිබුණොත් ඒ ගැන හිතන්න... ඒක අණක් නෙවෙයි ඉල්ලීමක් විතරයි... ඔව් ආදරණීය ඉල්ලීමක් විතරයි