රුක්ෂානා ඔයාට මතකද විනූව ඔයාට මුලින්ම මුණගැහුණු දවස...?
දවස හරියටම නම් කියන්න මතක නැහැ. හැබැයි මීට අවුරුදු දෙකහමාරකට විතර උඩදී තමයි විනූව මම මුලින්ම මුණගැහුණේ. එතකොට විනූ හරි ජනප්‍රියයි. හැබැයි මම ෆීල්ඩ් එකට ටිකක් අලුත්. ඒ වෙද්දී මගේ නිර්මාණ දෙකක් තුනක් විතර තමයි රූගත කරලා තිබුණේ. ඉතින් විනුව මට මුලින්ම මුණගැහුණේ “සඳ දිය සිත්තම් කියන නාට්‍යයේයි. ඒ නාට්‍යයේ විනූගේ යාළුවා විදිහට තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ.
කොහොමද යාළුවා විදිහට රඟපාද්දී ලැබුණු සහයෝගය...?
උපරිමයි... කියලා නිම කරන්න බැහැ. ඒ තරමටම මට ලොකු සහයෝගයක් විනූගෙන් ලැබුණා. එතකොට විනූ හරි ජනප්‍රියයිනේ. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක රඟපාන එකත් මට ලොකු මැජික් එකක් වුණා. අපිට රූගත කිරීම් කරන්න තිබුණේ නුවර. මට මතක හැටියට දවස් දහයක් දොළහක් විතර නුවර රූගත කිරීම් කරන්න තිබුණා. ඉතින් විනූගේ අම්මත් අපිත් එක්ක නුවර ගියා. ඉතින් ඒ දවස් ගාණ ඇතුළත විනූ අපූරු යාළුවෙක් වුණා.
ඇත්තටම විනූ මොනවගේ යාළුවෙක්ද...?
හරිම හොඳ යාළුවෙක්. රටකජු ඇටයක් කන්න ලැබුණත් ඒකත් මාත් එක්ක බෙදාගෙන කන තරමට ඒ නාට්‍යයෙත් විනූ අපූරු යාළුවෙක් වුණා. එයා ඇත්තටම හරිම හොඳයි. ඒ වෙනකොට මම ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. එයා මාව ගණන් නොගෙන ඉන්න තිබුණා. හැබැයි එයා එහෙම නැහැ. කද්දී වුණත් එයා කෑවෙත් මාත් එක්කමයි. ෂූටිං කරද්දී සමහර වෙලාවට මට වැරදෙද්දී විනූ “අපි ආයෙත් කරමු කියලා කියනවා. ඒ වගේ ලොකු සපෝට් එකක් එයා මට දුන්නා.
රුගතකිරීම්වලින් පස්සෙත් ඒ යාළුකම ඒ විදිහටම තිබුණද?
ඔව්.. අනිවාර්යයෙන්ම. ඒ නාට්‍යයෙන් තමයි අපේ යාළුකමේ සම්බන්ධය පටන්ගත්තේ. ඊටපස්සෙත් අපේ ඒ යාළුකම තිබුණා. මොකක්හරි දෙයක් තිබ්බත් විනූ මට ටක්ගාලා කතා කරනවා. සතුටේදී විතරක් නෙමේ දුකේදිත් එක වගේම ළඟින් ඉන්න යාළුවෙක් තමයි විනූ කියන්නේ. ඇත්තටම එයා සාමාන්‍ය ජීවිතේදී හරිම අහිංසක චරිතයක්. තමන්ගේ පාඩුවේ ඉන්න, නිදහසට හරියට ප්‍රිය කරන චරිතයක්. ඒ වගේම එයා ගොඩක් හොඳ දක්ෂ රංගන ශිල්පිනියක්.
විනූ රංගනය පමණක් නොවේ. නිවේදන කටයුතුත් කරනවා. ඒ ගැන රුක්ෂානා මොකද හිතෙන්නේ?
ඇත්තටම එයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ දක්ෂකම සීමා වෙච්චි දෙයක්නම් නෙමේ. එයා තුළ බොහෝ හොඳ දක්ෂකම් තියෙනවා. කිසිම දෙයක් එයා බැහැයි, අමාරුයි කියලා හිතන්නේ නැහැ. හැමදේටම ඉදිරිපත් වෙනවා. ඇත්තටම එයා මුළුගැන්වුණු චරිතයක්නම් නෙවේ.
ඒ නිසාද දෙන්නත් එක්ක අවුරුදු උත්සවයක ගෝනි පැනලා දිව්වේ?
ඔව්නේ.. කොහොමටත් අපි ඔය අවුරුදු උත්සවවල තරගවලට එහෙම සහභාගී වෙනවා. තෑගිවලටත් වඩා ඒවාට සහභාගි වෙලා ලබන සතුටට අපි මාර විදිහට ආසයි. මාර ජොලි. ඉතින් සමහර තරගවලට මම විනූව ඇදගෙන යනවා. සමහර ඒවාට එයා මාව ඇදගෙන යනවා. සමහර අවුරුදු උත්සවවලදී අපි තරග හතර පහකට විතර සහභාගි වෙනවා. ඉතින් ඒවග් අවුරුදු උත්සවයකදී ගෝනිවල බැහැලා දුවන තරගයකින් එයා දෙවැනියා වුණා. මම පළවෙනියා වුණා. හැබැයි මොනතරම් සෙල්ලක්කාර වුණත් එයා හරි අහිංසක කෙනෙක්.
ඒ අහිංසක ගැනු ළමයට කේන්ති යනවද?
මගේ මතකෙ හැටියට විනූට කේන්ති ගිය එක වතාවක් විතරයි මම දැකලා තියෙන්නේ. ඒ වෙලාවෙනම් එයා කේන්ති ගිහින් කාටහරි කෑගැහුවා. හැබැයි ටික වෙලාවකින් ඒ කේන්තිය ඉවරයි. ඒ පාර තමයි විනූ කියන අහිංසක කෙල්ලගේ කේන්තිය මම දැක්කේ. එහෙම ලේසියෙන් එයාට කේන්ති යන්නෙනම් නැහැ.
විනූයි රුක්ෂානායි තරහා වෙලා ඉඳලා තියෙනවද?
නැහැ. කවදාවත් නැහැ. අපිට එහෙම තරහා වෙන්න හේතු තිබුණේ නැහැ.
විනූගේ විලාසිතා ගැන රුක්ෂානා මොකද හිතෙන්නේ?
එයා මාර විදිහට විලාසිතා ගැන හිතනවා. උත්සවයකදී වුණත් විනූ ආවහම එයා අඳින ඇඳුම් හැමවෙලේම කැපිලා පේනවා. එයා හරි ආසයි ලස්සනට පිළිවෙළට ඉන්න. එයාට හොඳ ඇහැක් තියෙනවා. සමහර ඇඳුම් ඩිසයින් කරගන්නෙත් විනූමයි. තැනකට යනවානම් ඒ තැනට උචිත විදිහට එයා ඇඳුම් නිර්මාණය කරගන්නවා. ඇත්තටම සමහර විලාසිතා ගැන මම අහගන්නෙත් එයාගෙන්මයි. ඇත්තටම විනූගේ විලාසිතාවලට මම ගොඩක් කැමතියි.
රූගතකිරීම් අතරතුරේ ලැබෙන විවේක කාලවලදී මොකද කරන්නේ?
සඳ දිය සිත්තම් ටෙලිනාට්‍යයෙන් පස්සේ අපිට ටෙලිනාට්‍ය දෙකකට විතර සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් රූගතකිරීම් අතරතුරේදී අපි දෙන්නට රූගතකිරීම් නැති වෙලාවට අපි ෆොටෝ ගන්නවා. වැඩිපුරම ඔය කඩචෝරු මුරුක්කු වගේ දෙයක් කන එකම තමයි කරන්නේ. අපි ඔය කඩවල්වලට ගිහින් එහෙමත් අරගෙන ඇවිත් ලොකේෂන් එකේ තියාගෙන කනවා.
දෙන්නත් එක්ක පොලීසියෙන් ඇල්ලුවේ ඇයි?
ආ... ඒ එක ගමනකදී. එක්තරා අවුරුදු උත්සවයකට අපි දෙන්නා මගේ කාර් එකේ ගියා. මගේ කාර් එක ඉස්සරහා කළු පාටට ටින්ටඩ් කරලා තියෙන්නේ. මඟදී අපිව පොලීසියෙන් ඇල්ලුවා. ඇත්තටම ඒක කොහෙත්ම වැරැද්දක් නෙවයි. සම්පූර්ණයෙන්ම ටින්ට් කරලා තිබ්බේ නැහැ. කොච්චර කරුණු පැහැදිලි කළත් පොලීසියේ නිලධාරීන් දෙන්නා අපිව තියාගෙන බොරුවට ප්‍රශ්න අහනවා. මට ටිකක් ඉක්මනට කේන්ති යනවා. ඉතින් ඒ වෙලාවේ මට ටිකක් කේන්ති ගියා. හැබැයි විනූ හරිම සුහදව ඒ පොලිස් නිලධාරීන්ට කරුණු පහදලා ෂේප් කළා.
විනූගේ හදාගන්න තියෙන අඩුපාඩු මොනවද?
එහෙම හදාගන්න තරම් අඩුපාඩුවක් මම විනූගෙන් දකින්නේ නැහැ.
විනූ වගේ යාළුවෙක් මුණගැහුණ එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. ඇත්තට විනූ කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. සතුටෙදි විතරක් නෙවෙයි දුකේදිත් විනූ එක වගේම ළඟින් ඉන්නවා. එයා කවදාවත් මේ සමාජයෙන් බැණුම් අහලවත් නම කැත කරගෙනවත් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් ජීවිතේ ළඟින්ම ඇසුරු කරන්න ලැබීමත් ඇත්තටම ලොකු වාසනාවක්.
රුක්ෂානාගෙන් අපි විනූ ගැන අහපු එකේ විනූගෙනුත් රුක්ෂානා ගැන අහන්නත් ඔන්න අපි අමතක කළේ නැහැ. වෙස් පෙරළෙන අතරතුරේදී ඔන්න අපි විනූ එක්කත් කතා කළා.
විනූ... රුක්ෂානා මොන විදිහේ යාළුවෙක්ද?
රුක්ෂානා මට මුණගැහෙන්නේ මගේ රංගන ජීවිතයෙන්. එයාව මට මුණගැහෙන්නෙත් රංගන ජීවිතේ මගේ යාළුවෙක් විදිහටයි. ඒ සඳ දිය සිත්තම් කියන ටෙලි නාට්‍යයෙන්. ඒ නාට්‍යයෙන් එයයි මායි ගොඩක් ළඟින් ඇසුරු කරන්න පටන්ගත්තා. ඒකෙදී මගේ ළඟින්ම හිටිය යාළුවා විදිහට දුක සැප දෙකම බෙදා ගත්ත කෙනෙක් විදිහට මුණගැහෙනවා. ඒ කාලය තුළදී රුක්ෂානා මට බොහෝ කිට්ටු වුණා. රංගන ක්ෂේත්‍රයේ මට හැමෝම වගේ යාළුවෝ. ඒ අතර රුක්ෂානාත් මට විශේෂයි. එයා ඇත්තටම ගොඩක් හොඳ යාළුවෙක්.
රුක්ෂානාට කේන්ති යනවද?
කේන්ති යනවද කියල ඇහුවම නැහැ කියලා කියන්නත් බැහැ. එයා කේන්ති යන එක හංගගෙන තමයි ඉන්නේ. සමහර වෙලාවට මොකක්හරි දේකට කේන්ති ගිහින් ඒ ගැන මාත් එක්ක කියපු අවස්ථාත් තියෙනවා. හැබැයි ප්‍රසිද්ධියේ කේන්ති යනවා දැකලා තියෙනවනම් හරි අඩුයි.
ඔහොම කිව්වට විනූ එක්ක ගමනක් යද්දි පොලිස් නිලධාරියකු එක්ක කේන්ති ගිය කතාවක්නම් තියෙනවා. එහෙම නේද?
ආ.... ඔව්නේ.. ඒ තමයි මම රුක්ෂානට හොඳටම කේන්ති ගියපු වෙලාවක්. මේ අවුරුද්දෙදි අපි දෙන්නම අවුරුදු උත්සවයකට සහභාගී වුණා. මායි එයයි තමයි ඒ ගමන ගියේ. ටික දුරක් යද්දි එයාගේ වාහනයේ ටින්ටඩ් එක සම්බන්ධව ප්‍රශ්නයක් පොලිස් නිලධාරියකු එක්ක ඇති වුණා තමයි. හැබැයි අපි කවදාවත් මාර්ග නීති කඩ කළේවත් නැහැ. ඒ වෙලාවේ රුක්ෂානට කේන්ති යනවා මම දැක්කා. එයාගේ හිතේ තියෙන දේ එයා කෙලින්ම කිව්වා. ඒ කියලා එයා දඩයත් ගෙව්වා. රුක්ෂානා කියන්නේ කියන්න ඕන දේ කෙලින් කියන කෙනෙක්.
රුක්ෂානා කියන්නේ මොනවගේ චරිතයක්ද?
රුක්ෂානා කොහොමත් ටිකක් විනෝදයට බර කෙනෙක්. එයා නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ජීවිතේ ගැන ලොකුවට බරට හිතන්නේ නැහැ. එයා අනිත් අයට උදව් කරන හරිම හොඳ යාළුවෙක්. මුලදී එයා මාත් එක්ක ගොඩක් දේවල් කිව්වේ නැහැ. හැබැයි අපේ යාළුකම ඇතිවුණාට පස්සේ දැන් එයා මට බොහෝ දේවල් කියනවා. සතුට වගේම දුකත් එයා මාත් එක්ක බෙදාහදා ගත්තා.
රුක්ෂානාගේ රංගනය ගැන විනූ මොකද හිතන්නේ?
රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු පිරිස එක්ක එයාට රංගනය සම්බන්ධව ලොකු උනන්දුවක් තියෙනවා. ප්‍රවීණයන්ට වගේම හැමෝටම ගොඩක් ගරු කරනවා. ෂූටිං එකකදී වුණත් එයාට එයා කරන රංගනය පිළිබඳව ලොකු උනන්දුවක් තියෙනවා. එයා රංගනය පිළිබඳව ඉගෙනගන්න ආසයි. සඳ දිය සිත්තම් නාට්‍යයෙන් එයාට හම්බුණේ හරිම දඟකාර චරිතයක්. ඒකෙදිත් එයා හරි අපූරුවට ඒ චරිතය කළා.
විලාසිතාවලට රුක්ෂානාගේ තියෙන කැමැත්ත කොහොමද?
රුක්ෂානා එයාට ගැලපෙන විලාසිතා කරනවා. ගෑනු ළමයෙක් විදිහට එයා ලස්සනට ඉන්න ආසයි. හරි ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න කෙනෙක් විදිහට මම රුක්ෂානාව දකිනවා.
රුක්ෂානා වගේ යාළුවෙක් ජීවිතයට මුණගැහුණ එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. එයා හරිම හිත හොඳ චරිතයක්. හැමෝ එක්කම අපිට හැමදේම බෙදාහදාගන්න බැහැ. හැබැයි රුක්ෂානා කියන්නේ ඒ හැමදෙයක්ම බෙදාහදාගන්න පුළුවන් හරිම හොඳ යාළුවෙක්.
► Text — Dishani / Pic - Sumudu & Internet