2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

නිහතමානීත්වයේ සංකේතය

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ශ්‍රී ලාංකික සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ සිනමා රංගන දිවියේ 50 වැනි වසර සනිටුහන් කිරීම සඳහා කොළඹදී විශේෂ අභිනන්දන උපහාර උළෙලක් පැවැත්වුණා. ඒ හා සමගාමීව උත්සව මාලාවක් පැවැත්වුණා.
වසර 50ක කාල පරාසයක් පුරා සිනමා නිළියක ලෙස හිණිපෙත්තේ රැඳීසිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

වසර 50ක් පුරා එක සේ ජනප්‍රිය වූ සිනමා නිළියක ගැන අප අසා නැත. ලෝකයේ කිසිම තැනක එවැන්නක් වාර්තා වී නැත. ඉන්දියානු බොලිවුඩ් සිනමාවේවත් එවැනි කලා ශිල්පිනියක සොයාගත නොහැක.
එවන් අභිමානවත් මං සලකුණක් පසුකළ මාලිනී ෆොන්සේකා ගැන බොහෝ දේ ලියැවී ඇත. ඒත් ඒ ලියවුණු සෑම දේකටත් වඩා ඇය සතු නිහතමානීත්වය සමකළ නොහැක. අප රටේ සිනමා නිළියන්ට මාලිනී ෆොන්සේකා ඉතා හොඳ ආදර්ශයකි.
නොබෝදා පැවති එක්තරා උත්සවයකදී පවා මාලිනී ඇගේ ළමා කාලය, පාසල් කාලය හා යොවුන් විය සිහිපත් කළේ නිර්ව්‍යාජවය.

ඇගේ මුල්ම චිත්‍රපටය පුංචි බබා සඳහා ඇයට එදා ලැබුණු රුපියල් 1,250/-ක අත්තිකාරම් මුදලින් තමයි ඇය මුල්වරට අත්ඔරලෝසුවක් මිලදී ගෙන තිබෙන්නෙ. ඔරලෝසුව අරගෙන සතියක් යන්න කලින් ඇගේ පින්තූර ගන්න පත්තරේකින් ගෙදර ආවලු.

ඒ හැම පින්තූරෙකම මට ඕනවෙලා තිබුණා මගේ අලුත්ම ඔරලෝසුව පෙන්නන්න. ඒ නිසා හැම ෆොටෝ එකකම ඔරලෝසුව බැඳපු අත උස්සගෙන කැමරාවට පෙන්නගෙන හිටියෙ, කියා ඇය පැවසුවේ කුඩා දරුවෙකු මෙන් අහිංසකවය.
ඇය සැබවින්ම නිහතමානීත්වයේ සංකේතයයි. මේ කෙටි සටහන ඒ නිමිත්තෙනි.

 

කනේ පහර

කලා ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ නොවුණත් මේ කතාවෙ එන චරිත කලාවට සම්බන්ධ අය වීම විශේෂයි.

ඇය කලා ශිල්පිනියක්. තරමක් මැදිවියට ළංවෙනවා කියලා හිතමුකො. ඇය තරුණයෙක් එක්ක පොඩි හාදකමක් පවත්වනවා. තරුණයෙක් කිව්වට ඔහුත් විවාහක තරුණයෙක්. විවාහවෙලා ඉන්නෙ කලා පවුලකින්.
මේ අනියම් සම්බන්ධය බොහෝ අයට රහසක් නෙවෙයි. තරුණයාගේ බිරියත් ඒ වග දන්නවලු. ඒත් මොකක් හෝ හේතුවක් නිසා විවාහයට තර්ජනයක් නොවී ජීවිතය ඉදිරියට යනවලු. ඔන්න දැන් මේ තරැණයාට රිය අනතුරක් සම්බන්ධව උසාවි යන්න සිදුවෙනවලු.

උසාවියට තරුණයා යන්නෙ ඔහුගේ බිරියත් එක්ක. උසාවිය අසලින් මේ ජෝඩුව ඇවිදගෙන යනකොට ඔවුන්ගේ පිටුපසින් කවුදෝ කෙනෙක් එනවා බිරියට දැනුණලු. ඇය හැරී බැලුවා. තම සැමියාගේ කලා ලොවේ යෙහෙළියලු. බිරිය අඩියක් පස්සට තියලා ඇයට දුන්නෙ එක කනේ පහරක්ලු. ඇය එතැනින් ක්ෂණිකව අතුරුදන් වූ හැටි කාටත් හිතාගන්නට බැරිවුණාලු.

 

මෙන්න නළුවො!

වර්තමානයේ දක්ෂ තරුණ නළු නිළියන් හිටියට අපට බොහෝවිට ඇසෙන්නෙ ඉන් බොහෝ දෙනෙක් තම වෘත්තියට කැපවෙන්නෙ නැති එක ගැනයි.
කුමන වෘත්තියක නියැලී හිටියත් ඒ කරන දෙයට කැපවෙන්න බැරිනම් පැවැත්මක් නැතිබව අපට කියාදී තියෙන්නෙ ඉතිහාසය නොව සොබාදහමයි.

අපේ සිනමාවෙ අද සිටින ජ්‍යෙෂ්ඨ නළු නිළියො ප්‍රවීණත්වයට පත්ව සිටින්නෙ කැපවීම තුළින් බව කවුරුත් දන්නා කාරණයක්. ඒත් ඒ කැපවීම්වල දිග පළල අපි කවුරුත් හරියටම දන්නෙ නැහැ. ඒවා මතුවෙන්නෙ නොසිතූ විරූ වෙලාවකයි.
අපේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ එවැනි කටුක කැපවීම් දෙක තුනක් පසුගියදා ක්ෂේත්‍රයේ කතාබහකදී ඉස්මතු වුණා.

එක්තරා චිත්‍රපටයක සටන් දර්ශනයක් තාත්විකව ඉදිරිපත් කිරීමට සිදුවූ නිසා කළුතර පාලමෙන් ජලය පිරී ඉතිරී තිබුණු කළු ගඟට පනින්නට රන්දෙණිය මහත්තයට සිද්ධවුණාලු. වෙන කෙනෙක්නම් චිත්‍රපටයට ඕන කෙංගෙඩියක් වුණදෙන් කියලා ජීවිතේ බේරගෙන ගෙදර යනවා.

තවත් චිත්‍රපටයක ඔහුට ජරාජීර්ණ වුණු කාණුවක නාන්න වුණාලු. මුලදී ඒකට අකමැති වුණත් අධ්‍යක්ෂකගේ පෙරැත්තය මත වැඩේට ඔහු එකඟවෙලා. නමුත් එක කොන්දේසියක් උඩ. ඒකෙන් එළියට ආපු ගමන් ඔහුට නාන්න වතුර බවුසර් දෙකක්ම ලෑස්ති කරලා තිබුණලු. ඩෙටෝල්වලින් කටත් හේදුවා කියලයි ඇසින් දුටු සාක්ෂි පැවසුවේ. 
මෙන්න නළුවො! 

 

ඊයෙ ෂෝ එක මොකක්ද?

පසුගිය දවසක කලා ලොවේ සුවිශේෂී මංගල්ලයකට අපේ රටේ ජනප්‍රිය තරු රැසක්ම සහභාගි වුණා. ඒ වගේම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසකුත් ඇවිත් හිටියා.
තරුණ ජනප්‍රිය ශිල්පිනියක් උත්සවයට පැමිණියා. ඇයට මුලින්ම හමුවුණේ ප්‍රවීණ ජනප්‍රිය නළුවෙක්.

ආ නංගි කොහොමද? අපි ඊයෙත් හම්බවුණා, අදත් හම්බවුණා.. මෙයාගෙ හොඳ ප්‍රාසාංගික අංගයක් තිබුණනෙ ඊයෙ ෂෝ එකේ, අර ප්‍රවීණ නළුවා ළඟ හිටිය තවත් ශිල්පියෙකුට කිව්වලු.
අනේ ඊයෙ ෂෝ එක මොකක්ද අයියෙ?

මාර වැඩක්නෙ, මෙයා ඊයෙ ෂෝ එකට ගිහිල්ලා වැඩත් කරලා ඇවිත් අද අහනවා මොකක්ද ඒ ෂෝ එක කියලා.

 

► Text - Mithra

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00