2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

රෝස කුසුමගේ ආදරවන්තයෝ

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ජනතාවගේ කුමරිය යන නමින් ප්‍රකට වුණු ඩයනා කුමරිය මිය ගොස් පසුගිය අගෝස්තු 31 වැනිදාට අවුරුදු 21ක් ගෙවුණා. කොහොම වුණත් ඇගේ මරණයෙන් අවුරුදු 21 ගෙවෙන තැන ඇයට සිටි හොඳම පෙම්වතකු ලෙස සැලකෙන ඔලිවර් හොවාරේත් පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. 81දී චාල්ස් කුමරු හා ඩයනා කුමරිය විවාපත් වුණත් ඒ දෙපළ අතර තිබුණු දුරස් බව නිසාම ඩයනා වගේම චාල්ස් කුමරුත් වෙනත් ආදර සම්බන්ධතා සොයාගෙන ගියා. ඩයනාට සිටි පෙම්වතුන් අතරින් හොඳ වැදගත් පෙම්වතකු ලෙස හොවාරේ සැලකෙනවා. මේ ලිපිය හොවාරේ ගැන විතරක් නෙමේ. ඩයනාට සිටි ප්‍රකට අනෙකුත් පෙම්වතුන් ගැනයි. 

ජේම්ස් හෙවිට් 

ඔහු ඩයනාගේ මුල්ම පෙම්වතකු ලෙස සැලකෙනවා. ඩයනා විවාහ ජීවිතයට එක්වන විටත් ඔවුන් දෙදෙනා අතර යම් පමණක හිතවත්කමක් තිබුණු බවට සැලකෙනවා. එහෙත් රහසින් පැවැති මෙම සම්බන්ධය ගැන 1994 දී Princess in Love නමින් පොතක් පළකිරීමේදී එම කතුවරියට ජේම්ස් තොරතුරු සැපයූ නිසා ඩයනා ඔහු සමඟ කෝපයෙන් කල් ගෙවූ බවත් සඳහන්. ඔවුන් දෙවසර පහක පමණ ප්‍රේමයක් තිබූ බව පසුව හෙළිවුණා. ඩයනා කුමරියත් පසුකාලයකදී රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර මේ සම්බන්ධය පිළිගෙන තිබුණා. 

ජේම්ස් ගිල්බේ

මොහු සමඟ ඩයනාගේ ආදර කතාව දලුලන්නට පටන් ගත්තේ 90 දශකය මුල්භාගයේදීයි. කොහොම නමුත් ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධය පිළිගත්තේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද පිටවීම නිසා ඔහු ඩයනාට Squidgy යන ආදර නාමයෙන් අමතන බව පවා හෙළිවුණා. මෙය චාල්ස්- ඩයනා විවාහය දෙදරා යාමටත් ලොකු හේතුවක් බවට පත්වුණු බවට ආරංචියි. 

විල් කාර්ලින්

ඩයනා සහ විල් මුලින්ම මුණගැහිලා තිබුණේ ව්‍යායාම් පන්තියකදීයි. ඔවුන් දෙදෙනා අතර ඇතිවුණු මිත්‍රත්වය ආදර සම්බන්ධයක් දක්වා පෙරුළුණු බවට එකල මාධ්‍ය වාර්තා පළ වුවත් ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළා. එහෙත් අවසානයේ විල්ගේ බිරිඳ ඔහුව දික්කසාද කළේත් ඔහු සහ ඩයනා අතර සම්බන්ධයක් ඇති බව කියමිනුයි. 

හස්නත් කාන් 

පාකිස්තානු ජාතිකයෙක් වන හස්නත් වෛද්‍යවරයෙක්. ඔහු හා ඩයනා අතර සම්බන්ධය අවුරුදු දෙකක් පමණ පැවැති බව සඳහන්. ඒ වගේම ඩයනා ඔහුව ආදරයට අමතා තිබෙන්නේ මිස්ටර් වන්ඩර්ෆුල් නමින් බවත් පසුව හෙළිවුණා. ඩයනා වරක් ඔහුගේ පාකිස්තානයේ ලාහෝර් පිහිටි නි‍ෙවසටත් ගොස් තිබෙන බව කියවෙනවා. 

ඩොඩී අල් ෆායේඩ්

හස්නත් කාන්ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමෙන් පසුව ඩයනා හාදකම් පැවැත්වූයේ ඩොඩී අල් ෆායේඩ් සමඟයි. ඒ ඩයනාගේ අන්තිම ප්‍රේමයයි. ප්‍රංශ වෙරළ නිවාඩුවක් අවසන් වෙලා ලන්ඩනය බලා එමින් සිටියදී මේ යුවල රැගත් මෝටර් රථය අනතුරකට ලක්වෙලා ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වුණා. 

පෙම් සබඳතා කිහිපයක්ම පැවැත්වූවත් ඩයනා කුමරියට තම නමට හෝ රජ පවුලට කැළලක් එකතු කළේ නැහැ. ආදරයට ආදරය කළ නිසාම ඇය පෙම් සබඳතාවන්ට පැටලුණත් ඇගේ හිතේ තිබුණු තෙත් ගතිය නිසා රජ පවුලේ වගේම සාමාන්‍ය මිනිසුන්ගේ ආදරයත් ඈට හිමිවුණා. ජනතාවගේ කුමරිය කියන නම ඈට පටබැඳුනේත් ඒ නිසාමයි. 

 

► Text — Suranga