2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

දැහැන

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

මේ ලෝකයම කියවන්න මට කියලා දුන්නෙ සිංහල හෝඩියේ පළවෙනි අක්ෂරය. ඒ පළමු අක්ෂරය ශුද්ධ සිංහල හෝඩියම කියවන්න ඉගෙනගන්න දැනගන්න මට පාර කියලා දුන්නා. ස්තූතියි කියලා ඒ පළමු අක්ෂරයට අවමන් කරන්න තුන් හිතකින්වත් මට හිතෙන්නෙ නෑ. න-ණ ල-ළ මුර්ධජ දන්තජ අල්පප්‍රාණ මහප්‍රාණ, මේ හැමදේම ඉගෙනගන්න, සංකේත  ‍ උපමා රූපක අලංකරණ, මේ හැමදේම පදම්කරන්න, ඒ අක්ෂරය මට කියාදුන් අපූරුව... නමස්කාර පූර්වකව මට හැරිලා බලන්න අවසරයි... අපි හැමෝගෙම ජීවිතවල හෝඩිපොත් කියවපු කාලයක් තියෙනවද? නැද්ද? දන්නෙ නෑ මම... පොත් වස්නතයේදි සීතල සැප්තැම්බරයේදි හෝඩි පොත මතක් වුණා. ඒ දවස් පහුකරලා අපි කොච්චරක්දෝ දුර ඇවිත්...

තරුවකට කතා කරන්න පුළුවන් වුණානම් කියයි එයා කාත් කවුරුත් නැති හුදෙකලාව පපුව අස්සෙ දරාගෙන මේ ලෝකේ කී දාහක් එයා දිහා බලාගෙන හිටපු දවස් කොච්චරක්නම් තිබුණද කියලා... වචනවලින් කතා නොකළත් සොබාදහමත් කතා කරනවා... සොබාදහමටත් මේ මහපොළොව, මේ මහපොළොවේ ජීවත්වෙන මිනිසුන්ගේ හදගැස්ම අහන්න පුළුවන්. මට වෙලාවකට හිතෙනවා මිනිසුන් මිනිසුන් කෙරේ දක්වන සංවේදීත්වයටත් වඩා සොබාදහම මිනිසුන් කෙරේ දක්වන සංවේදීත්වය හරි ප්‍රබලයි, හුඟක් ළෙන්ගතුයි කියලා. රාත්‍රිය දෙවියන් සහ සොබාදහම ආදරය වෙනුවෙන් දුන් තෑග්ගක් කියලයි මට හිතෙන්නෙ. කළුවර ආදරය විඳින්න ඉඩ හදලා දීලා අපිව එයාගේ තුරුල්ලට අරගන්නවා. ඒ ඇකය හරි සුවබරයි‍. අහස් වියන තරුවකට දුරලන්න බැරි කළුවර වෙනුවෙන් හඳ කැන්දන්න හරි ලෝබයි අහසට, හඳ එළියත් ආදරයට පුංචි කෙනිත්තිල්ලක් වෙයි කියන බයට.

නිවාලන්න මා ඔබේ සිසිලසින් 

එදා ඒ හඳ පලුව යස උරහිසක හිස තියාගෙන ගිම් නිවන්න ඉඩක් හදලා දුන්නෙ ඒ හිතිවිල්ලත් එක්ක. එහෙම හඳ පලුවක් මම කවදාවත් මොන නගරයකට උඩින් අහසකදීවත් දැකලා නැහැ. මට ඒ හඳ පලුව දකිද්දී හිතුණෙ එහෙම. අඩ සඳක් නෙවෙයි ඒ අහසට ඇවිත් තිබුණෙ. හඳ ඉහත්තාවේ එක තරැවක් තිබුණා. මම හඳ දැක්කේ අරලිය ගහේ නැටවෙන අතු රිකිලි අස්සෙන්. ඒක කලාතුරකින් සොබාදහම අඳින චිත්‍රයක්. අසිරිමත් චිත්‍රයක්. හිටිවනම සේද සේලයකටත් වඩා දුහුල් වෙච්ච තද අළු පාට වලාකුළක් ඇවිත් අර හඳ පලුව එයාගේ පපුව අස්සෙ තුරුල් කරගෙන අපිව මහ කළුවරක් අස්සෙ තනි කළා. මේ ලෝකයේ මම අඳුරගත්ත, මාව කියෙව්ව, මට දැනිච්ච ගැඹුරුම හුස්ම මගේ ළඟ... ආත්මයේම දාහය නිවූ මේ ලෝකයේ හොඳම හදවත මගේ ළඟ... කළුවර අස්සෙ තැවරිච්ච හුදෙකලාව දරාගන්න බැරි හදවත කම්බුල් තල මත කඳුළින් සැත්කම් කළ අතීතයේ පිටුවලට, යාවත්කාලීන වූ සංසාරේ පුරා වීදියක් වීදියක් ගාණෙ ඇවිදිමින් හොයාගෙන හොයාගෙන එද්දී මුණගැසුණු  හුරැපුරැදු ස්නේහයක් වර්තමානයේදී සීල් තියලා.

ජීවිතය සුන්දරද මෙතරම්....

අරලිය මල් සුවඳ දඟපාන සිහිල් සුළං රැල්ලක දැවටිලා ඇවිත් තුන් හිතම හිරිවට්ටද්දී උණු උණු රන්වන් අල පලුවක්, බැදුණු කඩල ඇටයක්, හීතල මකන්න රස කටගැස්මක් වුණාද මන්දා... වීදුරු පාට අස්සෙන් රිදී පාට බුබුළු නගිද්දී වීදුරුවට වැටෙන අයිස් කැටවලට එහෙමත්ම ආදරණීය රාත්‍රියකදී මොනවා හිතෙනවද මන්දා... කාලය හරි පුදුම මැවීමක්... හැම තත්ත්පරයක්ම අතීතය බවට හරවමින් එයා යන ගමනක හැටි...

වැව් දියවර එයාගේ හදවත අස්සෙ හංගාගත්ත කතා කොච්ච‍ර ඇත්ද... නිසොල්මන් නුවර දැල්වුණු පහන් ලාම්පු එළි වැව්දිය මත්තට වැටිලා රත්තරන් කුඩු විසල් දෝතක් දියවර අස්සෙ දියවෙලා ගිහින් ගාණයි... කඳු අස්සෙ ගුලිවෙච්ච සීතල තුරුපත් පාමුල පිනි මුතුවරක් මවද්දී 
නොඉල්ලමි කිසිවක්ම - ආදරය හැරෙන්නට... මට එහෙම කියන්න හිතුණා. 

ප්‍රශ්නයක් අහන්නද එක 

හෘදසාක්ෂියට එකඟ උත්තරයක් දෙනවද ඔයා 
අසම්මතය කියලා දෙයක් ලෝකයේ තියෙනවද?
මගේ උත්තරය නෑ... අපි අසම්මතය කියලා දෙයක් පිළිගන්නෙ, විශ්වාස කරන්නෙ සම්මතයට එකඟනම් විතරයි... මොකක්ද සම්මතය කියන්නේ... සංස්කෘතියකට නීති රීති චාරිත්‍ර වාරිත්‍ර ප්‍රවාහයකට එකඟවෙමින් ශිෂ්ටාචාරගතවීමට අවශ්‍ය වූ මිනිස් වගක් තමන් උදෙසා තමන් විසින්ම නිර්මාණය කරගත් හිරගෙදරක ගල්කණුවලට තමයි සම්මතය කියන්නෙ... සම්මතයක් අසම්මතයක් කියලා දෙයක් ලෝකයේ නෑ... ප්‍රකෘතියක් විකෘතියක් කියලා දෙයක් ලෝකයේ නෑ... ඒ සියල්ල සාපේක්ෂයි. 
ජීවිතය කියන්නෙ සාපේක්ෂ දෙයක් නෙවෙයි... ප්‍රේමය කියන්නෙත් සාපේක්ෂ දෙයක් නෙවෙයි. 
ජීවිතය වගේම ප්‍රේමයත් නිරපේක්ෂයි. 
කොන්දේසි විරහිතයි. 
අහස පොළොව අතර සියලු අවකාශයන්ට වඩා ජීවිතය හා ප්‍රේමය සීමා රහිතයි...
ඒ මම...
එතකොට ඔයා...
කවදා හරි මට උත්තරයක් දෙන්න...
වචනවලින් නෙවෙයි හෘදසාක්ෂියෙන් උත්තරයක් දෙන්න.