මේ දවස්වල මොනවද කරන්නේ...?
මේ දවස්වල පුංචි විවේකයක්නම් තියෙනවා. පසුගිය කාලය තුළදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විනිශ්ච මණ්ඩලයට සහභාගී වුණා. ඒක බැරෑරුම් කටයුත්තක් වුණා. ඉතින් මේ ටිකේ කියවන්න බැරි වුණ පොත්පත් කියෙව්වා. ඒවගේම 60+ තරගයේ දිනපු ප්‍රේමරත්න මහත්තයාගේ ඉල්ලීමකට අනුව ගීතයක් පද රචනා කළා. ඊට අමතරව ටිකිරි රත්නායකයන්ගේ “දෝණ කතිරිනා නාට්‍යයේ දෙවැනි අදියරට ගීතයක් ලිව්වා. ඒවයේ වැඩ ටිකත් ඉතින් මේ දවස්වල කළා. ගීත කිහිපයක්ම ලියන්න ඉල්ලීම් ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ දේවලුත් හෙමීට කරගෙන යනවා.
ගීතයක් රචනා කරද්දී හිතට දැනෙන තැනක්, වෙලාවක් තියෙනවාද...? සමහරුන්ට තමන්ගේ නිදහසේ නිදන කාමරේ හැරෙන්න ගීතයක් නිර්මාණය කරන්න බැහැලු. එතකොට ඔබට...?
මම ඒකට හොඳම උදාහරණයක් ගන්නම්. අපේ ක්ෂේත්‍රය පොඩ්ඩක් අමතක කරලා ක්‍රිකට් ක්‍රීඩාව ගනිමුකෝ. ශිල්පය ප්‍රගුණ කරපු, පරිණත ක්‍රීඩකයෙකුට විස්සයි විස්ස ක්‍රිකට් මැච් එක ගහන්න පුළුවන්, ඕවර් පනහ ගහන්නත් පුළුවන්, ටෙස්ට් ගහන්නත් පුළුවන්. පරිණතභවය සහ විෂය හැදෑරීම් තුළින් ලිවීමත් කරන්න පුළුවන්. හැදෑරීම් කරන්න තක්ෂිලාවල් නැහැ. එහෙම තක්ෂිලාවක් තිබුණත් ගීත රචකයින්ට ඒක හරියන්නේ නැහැ. ඒ සඳහා සාහිත්‍ය දැනුම තියෙන්න ඕනේ. හැබැයි ඒකට සාහිත්‍ය දැනුම පමණක් තිබුණත් මදි. මේක හැදෑරීමක් සම‘ඟ කළයුතු විෂයක්. හැම ක්ෂේත්‍රයක් ගැනම අවදියෙන් සිටිද්දීම ලිවීමේ හැකියාව ප්‍රගුණ කරගන්න පුළුවන්.
වසන්ත කුමාර කොබවක කියන මිනිසාගේ අතීතයට පොඩ්ඩක් ගියොත්...?
කළුතර දිස්ත්‍රික්කයයි, රත්නපුර දිස්ත්‍රික්කය වෙන්වුණු ආසන්නයේ තියෙන බුලත්සිංහල කියන සීමාවේ තමයි අපේ ගම තියෙන්නේ. ඒ කාලේ අපේ ගම හරහා බස් එකක් ගියේ නැහැ. අපේ ගම කෙළවර ඉවරවෙන්නේ ඇළකින්. අතිශය ගැමි ගමක් නිසාම අපේ ගමේ සංක්‍රමණ ලෝකයක් තිබුණේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ හැදියාව ඒ පරිසරය තුළ ඒ විදිහටම තිබ්බා. පිටස්තර පැතිවල අය ගම හරහා හුවමාරු වෙද්දී ඒ සංස්කෘතීන් වෙනස් වුණත් එහෙම පිටස්තර අය අර අතිෂය දුෂ්කර ගම්මානයට ආවේ නැහැ. ඒ නිසා අපි ලොකු වෙනකම්ම ඒ ගැමි සුන්දරත්වය අත්වින්දා.
ඔබේ පියා වෙදමහත්තයෙක්...? එහෙම නේද...?
ඔව්... අපේ මව්පියෝ බුලත්සිංහල යටියම්පිටිය කියන ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. පාහියන්ගල පන්සලේ ඒකාලේ හිටපු ලොකු හාමුදුරැවෝ තමයි තාත්තට ඒ ගමට ආරාධනා කරලා තිබුණේ. මගේ තාත්තා වෙද මහත්තයෙක්. ඒ කාලේ යටියම්පිටිය ගමට වෙද මහත්තයෙක් ඉඳලා නැහැ. මගේ අම්මා සිංහල ගුරුවරියක්. ගමේ පාසැලේම අම්මා ගුරුවරියක් වුණා. අපේ ගෙදරට කෙලින්ම පේන කන්ද තමයි පාහියන්ගල කන්ද වුණේ. ගමේ බොහෝ පිරිසක් ගොවිතැනින් ජීවත් වුණා. අපි නිවාඩු කාලේ උදේ ගෙදරින් එළියට ගිහින් අායේ ගෙදර එන්නේ හවස් වෙලා. සැරෙන් සැරේට අපේ අම්මලා අපි කොහේද ඉන්නේ කියලා බලන්න ආවේ නෑ. ඒ කාලේ අපේ ගම්වල කොයි ගෙදරකට ගියත් අපිට කෑම කන්න පුළුවන්. අපි වෙන ගෙවල්වලින් කනවා කියලා කවදාවත් අපේ අම්මලා බැන්නේ නැහැ. මගේ පවුලේ හිටියේ මායි අක්කයි විතරයි. අක්කා මට වඩා අවුරුදු හයක් වැඩිමල්.
වසන්ත ඉගෙන ගත්තේ ගමේ පාසැලෙන්ද?
ඔව් මුලින්ම යටියන්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. ගමේ පාසැලේන්ම ඉගෙන ගත්තු අක්කා ඊට පස්සේ හොරණ තක්ෂිලාවට ගියා. ඊට පස්සේ හය වසරේදී මමත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලට ආවා. ඒ පාසල කලාකරුවන්ගේ නිජබිමක්. මගේ තාත්තා අම්මා හරියට පොත්පත් කියෙව්වා. තාත්තා අපිට ඇහෙන්න ශ්ලෝක කියෙව්වා. ඒවා නිතරම අපිට ඇහුණා. මගේ අක්කා තමයි කවි ලියන්න මාව පෙළඹෙව්වේ.
එහෙම කවි ලියපු වසන්ත ගීත රචනා කරන්න පටන් ගත්තේ කොහොමද...?
හොරණට ඇවිත් හැත්තෑව දශකය පටන්ගනිද්දී ගුවන්විදුලියෙන් ආධුනික රචකයින්ට ආරාධනාවක් ලැබුණා. ඒ කාලේදී අපි තැපෑලෙන් ගීත යැව්වා. ඕලෙවල් පන්තියේ ඉඳිද්දී ලියපු ගීතයක් ප්‍රචාරය වුණා. ඒ වෙනුවෙන් මට ලැබුණ මුදල ගන්න මම දවසක් කොට කලිසමකුත් ඇඳගෙන ගුවන් විදුලියට ගියා. ඒ වෙද්දී මට කොළඹ ටිකක් හුරුපුරුදුයි. ඒ වෙලාවේදී මගේ ගීතයට ලැබුණු රුපියල් හතළිහේ වවුචරයක් ගන්නටත් කලින් මට මුළු ගුවන්විදුලියම බලන්න අවස්ථාව ලැබුණා. මම ගුවන්විදුලියේ හැම මැදිරියකම ඇවිද්දා. ඉතා ප්‍රවීණයන් එක්ක පවා කතාබහ කරන්න එදා මට අවස්ථාව ලැබුණා. ඒක මට හරියට ලොකු අත්දැකීමක් වුණා. ඒ ගමන තමයි තවත් මාව ලිවීමට උනන්දු කළේ. ඒ නිසාම ගීත කිහිපයක්ම මගේ අතින් නිර්මාණය වුණා.
ඔබ උසස් පෙළ විද්‍යා අංශයෙන් නේද හැදෑරුවේ...?
ඔව්... විද්‍යා විෂය ඉගෙන ගත්තු නිසාම ලිවීම පොඩ්ඩක් මගේ අතින් මඟහැරැණා. උසස්පෙළ සමත් වෙලා මම ඉල්ලුවෙත් කොළඹ විශ්වවිද්‍යාලය. අනිත් හැමෝම පේරාදෙණිය ඉල්ලද්දී කොළඹ විශ්වවිද්‍යාලයට ඉල්ලන්න එකම හේතුව වුණෙත් ගුවන්විදුලි සංස්ථාව ළඟ නිසාමයි. මට තාම මතකයි අද කාලේ තියෙන දරුණු නවක වදයක් ඒ කාලේ තිබුණේ නැහැ. විල්බැරෝ එකක ගෑනු ළමයෙක් තියාගෙන තල්ලුකරගෙන ගියා. හැමෝම ඉස්සරහ සින්දු කිව්වා. මේවා හරිම සොඳුරු අත්දැකීම් වුණා. අපේ ලෙක්චර් ඉවර වුණු ගමන් මම කලා පන්තියේම තමයි වැඩිපුර කාලය ගතකළේ.
සුනිල් එදිරිසිංහයන් ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් ඔබ අතින් ලියවුණා නේද...?
ඔව්... කැම්පස් එකේ තිබුණු උත්සවයකට ආරාධිත අමුත්තා ලෙසින් සුනිල් එදිරිසිංහ මහතා දවසක් ආවා. ඒ ආපු වෙලාවක මගේ යාළුවෙක් සුනිල් එදිරිසිංහයන්ගෙන් ලිපිනය ඉල්ලගෙන තිබුණා. ඒ අනුව තමයි මම “ශිල්ප සො‘‘‘ඳින් දැනගන්න ගිහින් නුඹ කියන ගීතය තැපැල් කරලා යැව්වා. මාස කිහිපයකට පස්සේ ඔන්න ඒ ගීතයත් ප්‍රචාරය වුණා. ඔහුව මුණගැසීමෙන් රෝහණ වීරසිංහයන්ව මුණගැහුණා. සෙනසුරාදාට එහෙම ඒ කාලේ මම ගුවන්විදුලිය පැත්තට ගියාම සමහරු “මටත් සින්දුවක් ලියහන් කියලා කියනවා.
ඔබ අතින් ලියවුණ ගීත අතරින් ඉතා ජනප්‍රිය වුණ ගීත කිහිපයක් කියමුද...?
වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන, වනේ වන පල, පමා වී ආ වසන්තයේ, රූකඩ මඩු, පෙම්බර කුමරාණ, කඳුළින් අවසන් වන පෙම්පුවතක, ඔබ මා හමුවේ නම්, දූවිල්ලෙන් වත්සුනු තවරා, ඇතිදේ ඇති සැටියෙන්, මා සිතට අහම්බෙන්, මල්මද බිසව්, ඔබ දිය යට ඉපදී වගේම තවත් නිර්මාණ කිහිපයක්ම මගෙන් ලියවුණා. වෙරළු ගෙඩිය කියන ගීතය සංගීතවත් කළේ වික්ටර් රත්නායක මහතායි. ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාර නිසාම තමයි මම ලියපු රූකඩ මඩු ගීතය වික්ටර් රත්නායකයන් ගායනා කළේ. ඒකාලේ ඉතා දැවැන්ත නිර්මාණවේදියෙක් වුණු වික්ටර් රත්නායකයන් මගේ ගීතයක් තෝරා ගැනීමම මට ලොකු සතුටක් වුණා.
ඔබට මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි එහෙම ඇවිත් නැද්ද...? ආධුනික ගීත රචකයෙක් විදිහට එන ගමනේදී කකුලෙන් ඇදපු අවස්ථා නැද්ද...?
අනේ නැහැ... මම විශ්වවිද්‍යාලයකින්වත් සිංහල විෂයක් විදිහට කළේ නැති හින්දා ඔය කැපිලි කෙටිලි තියෙන පාරේ මම ආවේ නැහැ. හැබැයි මටම මාව අභියෝග වෙච්චි තැන් තිබුණා. මම සිංහල විෂය O/L විභාගයෙන් පස්සේ හැදෑරීම් නතර කරපු කෙනෙක්. අනිත් මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී මේ විෂය පිළිබඳව හැදෑරීම මට අභියෝගයක් වුණා. ඒ අභියෝගය තිබුණේ මටමයි. ගීතයක් ලියද්දී වුණත් මම හැම වචනයක්ම පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය තැනේදී අවශ්‍ය වචන විතරයි මම යොදවන්නේ. මම කවදාවත් අනවශ්‍ය විදිහට වචන විසි කරන්නේ නැහැ. කාගේ හරි කැසට් එකකදී ගීත දොළහම මට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඕනේ මට ලැබෙන එක ගීතය හොඳම ගීතය කරලීම පමණයි.
කාලයක් ඔබ ගුරුවරයෙක්...?
ඔව්... ඒ කාලේ විශ්වවිද්‍යාලයෙන් අයින් වෙද්දීම ගුරු පත්වීමක් ලැබුණා. ඒ වෙද්දී මට ලැබුණේ හොරණ තක්ෂිලාවටමයි. හැබැයි මම තක්ෂිලාව බාර ගත්තේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ වෙද්දීත් මට උගන්වපු ඇතැම් ගුරුවරු තක්ෂිලාවේ සේවය කරමිනුයි හිටියේ. ඒ ගුරුවරු එක්ක සමාන වෙන්න මට ඕන වුණේ නැහැ. මම ගුරුවරුන්ට ගරු කරන කෙනෙක්. ඒ නිසා මම හොරණ විද්‍යාරත්න විද්‍යාලයට උගන්වන්න ගියා. අවුරුදු එකාමාරක් මම ගුරු වෘත්තියේ නියැලුණා. ඉස්කෝලේ ඇරුණු ගමන් මම කොළඹ ගියා. කලාකරුවන්ගේ ප්‍රසංගවලට උදව් කළා.
ඇයි ගුරු වෘත්තියෙන් අයින් වුණේ...?
මම වන සංගණන ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ලංකාවේ කැලෑ ගැන සමීක්ෂණයක් කරන්න ලංකාව පුරාම ඇවිද්දා. ඒ යද්දී දැකපු අත්දැකීමක් තමයි “පලංචියේ ලී ඉරුවේ කියන ගීතය නිර්මාණය වුණේ. මමයි තව යාළුවෙකුටයි නොඉඳුල් කැලෑවට හෙළිකළ කැලෑවල් මැදින් තමයි යන්න තිබුණේ. ඒ යද්දී දැකපු අත්දැකීමක් තමයි ඒක. ඒ මිනිස්සු හදන වාඩි බත හරිම රසයි. ඒ රැකියාව නිසා ගුරු වෘත්තියටත් මම සමුදුන්නා.
වසන්තගේ ආදර කතාව පටන් ගන්නේ කොහොමද...?
වන සංගණන ව්‍යාපෘතියේ ඉද්දී මම රේගු දෙපාර්තමේන්තුවට අයදුම්පතක් දාලා විභාගයට ගියා. කොහොම හරි ඔහොම ඉඳිද්දී ටික කාලයකට පස්සේ රේගු නිලධාරියකු විදිහට මාව සේවයට බඳවා ගැනීමේ ලිපිය ගෙදරට ආවා. ඔහොම යද්දී තමයි මට මගේ බිරිඳව මුණගැහුනේ. ඇයගේ නම ලක්මිණි. 1992දී අපි විවාහ වුණා. ඒ කාලේ හොටෙල්වල ගන්නවාට වඩා විවාහ උත්සවයක් B.M.I.C.H එකේ ගන්න එකෙන් පොඩි සුන්දරත්වයක් තිබුණා. ඉතින් අපේ විවාහ උත්සවය ගත්තේ එතන. දැන් අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතාට දැන් වයස අවුරුදු විසි තුනයි. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ තුන්වන වසරේ ඉගෙන ගන්නවා. දුව දැන් විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එයාගේ නම රේණුදි විදන්සා කොබවක. මම ගිය අවුරුද්දේ රේගු රැකියාවෙන් විශ්‍රාම ගත්තා.
වැඩිය මාධ්‍යයට වසන්ත සම්බන්ධ නොවන්නේ ඇයි...?
එහෙම මගේ කිසිම වාරණයක් නැහැ. 2003 අවුරුද්දේ පමා වී ආ වසන්තේ කියන මගේ ගී පද එකතුව නිකුත් වුණා. ඒක රේගු නිලධාරීන්ගේ සුභ සාධන සංගමයෙන් තමයි ඉදිරිපත් කළේ. දැවැන්ත ප්‍රසංගයක් විදිහට තමයි කළේ. ඒ වෙලාවේදී මම වෙනුවෙන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සහෘදයින් මට ගොඩාක් උදව් කළා. මේ අහිංසක මිනිසා වෙනුවෙන් ඔවුන් ලොකු ඉඩකඩක් ලබලා දුන්නා. හැමදේම ඉල්ලන්නේ නැති නිසා අවශ්‍ය වෙලාවේදී උපරිමයෙන්ම මට සහයෝගය ලබලා දුන්නා. අපේ නිර්මාණ ගැන දැනගත්තම ඇතිනේ නේද...?
► Text - Dishani / Pic - Sumudu