2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

පොත් මාසේ පොත් කතා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

 

Book Fair යන්නෙනම් නෑ...

ප්‍රවීණ රංගන ශිල්පිනී 
ජයනි සේනානායක

මම සාමාන්‍යයෙන් පොත් ගන්නනම් සාහිත්‍ය මාසෙදි පොත් ප්‍රදර්ශනයට යන්නේ නැහැ. පොත් ප්‍රදර්ශනයේදී එන පිරිස ගොඩක් වැඩියිනේ. විශාල ජනගහනයක් අස්සේ කැමති පොතක් තෝරගන්න හරි අමාරැයි. ඒ පිරිසත් එක්ක පොතක් තෝරද්දි දවසක්ම වැය වෙනවා. ඇත්තටම මම හරියට පොත් කියවනවා. පොත් මිලදී ගන්නවා. ඉතින් පොත් සාප්පුවකට ගිහින් මම කැමති පොතක් නිදහසේ තෝරාගෙන අරගන්නයි මම වැඩිපුරම කැමති වෙන්නේ. ඒ නිසා ඇත්තටම මම Book Fair යන්නේ නැහැ. හැබැයි ඉතින් සාහිත්‍ය මාසය කියලා නෙමේ හැම කාලෙදිම මම පොත් මිලදී ගන්නවා. පොත් කියවනවා. හැමදාම පොත් එක්ක තමයි මම කාලය ගෙවන්නේ.

මම මිලදීගන්න පොත් වර්ගකිරීමක් කරන්නේ නැහැ. හැබැයි වැඩිපුරම මගේ හිත යන්නේ පරිවර්තන පොත්වලට. ඒ වගේම ලංකාවෙත් හොඳ ලේඛකයන්ගේ පොත්පත් කියවනවා. පොතක් කියවන්න නිශ්චිත වෙලාවක් මට නැහැ. ෂූටිං යද්දි හරි ෂූටිං කරද්දි හරි ලැබෙන විවේක කාලයේදී මම පොත් කියවනවා.

පාන්දර වෙනකම් ඇඳේ ඉඳගෙන පොත් කියවනවා 

ප්‍රවීණ රංගන ශිල්පිනී
නිල්මිණී තෙන්නකෝන්

හැම අවුරුද්දෙම සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් තියෙන පොත් ප්‍රදර්ශනය බලන්න මායි මගේ දුවයි යනවා. ඒ ගියාම ඉතින් මායි ස්වේතයි පොත් අතරේ අතරමං වෙනවා. මම වගේම ස්වේතත් පොත් කියවන්න හරි කැමතියි. අපි දෙන්නගේ විවේකය වැඩිපුරම ගෙවෙන්නේ පොත් එක්කම තමයි. ඉතින් පොත් ප්‍රදර්ශනයට ගියාම මම වැඩිපුරම ගන්නේ දුවට අවශ්‍ය කරන පොත් තමයි. එයා ගොඩක් පොත් කියවනවා. කොහොමත් දුවට හොඳ පොතක් කියවන්න ලැබුණොත් ඒක එක දවසින් කියවලා ඉවර කිරීමේ හැකියාවක් දුවට තියෙනවා. හැබැයි එයා වැඩිපුරම කියවන්නේනම් ඉංග්‍රීසි පොත් තමයි. අධ්‍යාපන මට්ටමේ පොත් විතරක් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ පොත් පවා දුව කියවනවා. එයා ඉතිහාසය පිළිබඳ ඉගෙනගන්න නිසා ඉතිහාසය සම්බන්ධ පොත්පත් වැඩිපුරම කියවනවා.

මමත් දූ වගේම පොත් කියවන්න හරි කැමතියි. ඒ අතරින් මනස දියුණු කරලීමේ පොත්පත් මම කියවනවා. ඒ වගේම රජ කාලේ අයගේ චරිත කතා පවා මම කියවන්න ආසයි. අපි අපේ ලෝකය ගැන දන්නේ නැති බොහෝ දේවල් මේ පොත් කියවීමෙන් අපිට දැනගන්නට පුළුවන්. අපි හැමෝටම ප්‍රශ්න සහ විසඳගන්න අමාරු දේවල් තියෙනවනේ. ඒ විසඳගන්න බැරි දේවල්වලට මේ පොත් හරහා අපිට විසඳුම් ළං කරගන්නට පුළුවන්. ඒක මම මගේ ජීවිත අත්දැකීමෙන් තමයි කියන්නේ. ඒ ටාගට්වලට යන්න ගොඩක් දේවල් අපි හදාගන්න ඕන වෙනවා. පොත් කියවීමෙන් ජීවිතේ බොහෝ දේවල් අපිට හදාගන්න පුළුවන්කමක් තියෙනවා.

සමහරු කියන දෙයක් තමයි මෑත කාලෙදී තරුණ පරපුර පොත් කියවන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම පොත් නොකියවන පිරිසකුත් ඇති. නමුත් මට දැනෙන විදිහට පොත් කියවන තරුණ පිරිසකුත් තවම ඉන්නවා. දැනුවත්වම අපේ රටේ බොහෝ කලාකරුවන් කලාකාරිනියන් පොත් කියවනවා. ඔවුන් පොත පත එක්ක ජීවත් වෙනවා. මට හොඳ පොතක් කියවන්න වෙලාවක් අවේලාවක් කියලා නැහැ. අනිත් එක ඒ පොතේ රසය වැටුණට පස්සේ පොත් කියවලා ඉවරවෙනතුරු ඉවසිල්ලක් නැහැ. ඒ ගතිය හොඳ පොතක් විතරක් නෙවෙයි මට හොඳ පිටපතක් ලැබුණමත් එහෙමයි. සමහරදාට පාන්දර වෙනතුරු ඇඳේ ඉඳගෙන පොත කියවලා ඉවර වෙන වෙලාවලුත් මගේ ජීවිතේ තියෙනවා. ඒ තරමටම පොත් කියවන්න මම හරි ආසයි.

සමහරු එන්නෙ ෂෝ එකට 
දවස ගෙවාගන්න 

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
සුදත් රෝහණ

මේ සාහිත්‍ය මාසයේදි බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් තියෙනවා. නමුත් මම නම් කියන්නේ මේ පොත් කියවීම මාසයකට පමණක් සීමා විය යුතු දෙයක් නෙමේ. පොත් ප්‍රදර්ශනයට එන සමහරැ පොත් මිලදී ගන්නවා. සමහරැ මේක විලාසිතාවක් කරගෙන දවස ගෙවන්න පොත් ප්‍රදර්ශනයට එනවා. මෙම පොත් ප්‍රදර්ශනයෙන් කර්තෘන්ට පොත් ප්‍රකාශකයන්ට යහපතක් සිදුවෙනවා තමයි. නමුත් අපි දකින දෙයක් තමයි සමහරැ පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙමේ. අඩුම ගානේ ඒ ආපු වෙලාවේ එක පොතක් මිලදී ගත්තානම් ඒක කොච්චර හොඳද?

අද වෙද්දි පොතපත කියන දේ සමාජයෙන් බොහෝ දුරට ඈත් වෙලා තියෙනවා. අද පොත හුදෙකලා කාරණාවක් බවට පත්වෙලා තියෙනවා. මෙම පොත් ප්‍රදර්ශනයෙන් පාඨකයාව උද් යෝගිමත් කරනවා. ඇත්තටම ඒක හරිම වටිනවා. අද මේ තත්ත්වය එක මාසයකට පමණක් සීමා නොකර පොත් කියවීමේ පාඨක පිරිසක් ඇති කිරීම හරිම වටිනවා. මේ අතර පොතපත කියන කාරණයට මේ වෙද්දි කර්තෘවරැන්ට පනවලා තියෙන බදු කාරණාවත් එක්ක බොහෝ කර්තෘවරැන් සහ පොත් ප්‍රකාශකයන් ප්‍රධාන වශයෙන් අක්‍රීය වෙලා තියෙනවා. කර්තෘභාගයට පවා ඉතිහාසයේ කවදාවත් නොකළ බද්දක් අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ප්‍රකාශකයෝ අලුත් තරැණ ලේඛකයන්ගේ පොතක් මුද්‍රණය කරලා බෙදා හරින්නට පවා මැලිකමක් දක්වනවා. ඇත්තටම ඒක මේ අනාගත ලේඛකයන්ට මේ ගමන යන්නට ලොකු බාධාවක්.

ලැබෙන හැම මොහොතක්ම වැය කරන්නේ පොතක් වෙනුවෙන්

නිර්මාණශීලී ලේඛක 
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මගෙ ජීවිතේ සාහිත්‍ය මාසය කියන්නෙත් සුවිශේෂි මාසයක් තමයි. ප්‍රකාශකයන් විසින් ඔවුන්ගේ වෙළඳාම් කටයුතු කරන්න මේක හොඳ අවස්ථාවක්. පොත් කියවන කෙනෙක්නම් පොත් කියවන්න දවසක්, මාසයක් කියලා දෙයක් අදාළ වෙන්නේ නැහැ. නමුත් සැප්තැම්බර් මාසෙදී තියෙන සාහිත්‍ය ප්‍රබෝධය හරිම වටිනවා. ඒ කාලෙදී සාහිත්‍යයට අදාළ පොත්පත් විශාල ප්‍රමාණයක් එළිදක්වනවා. සාහිත්‍ය කථිකා පැවැත්වෙනවා. සම්මාන උත්සව පැවැත්වෙනවා. පොත් ප්‍රදර්ශනය මූලික කරගෙන විශාල පොත් ප්‍රමාණයක් එළිදැක්වෙනවා. ඒකට විශාල ජනකායක් එනවා. ඒ නිසා මේ හැම දෙයක් නිසාම සැප්තැම්බර් මාසය විශේෂ මාසයක් බවට පත්වෙනවා.

ඒ සතිය පුරාවටම ප්‍රදර්ශනයේදී සාහිත්‍යවේදීන් මුණගැහෙන්න ලැබෙන ඉඩකඩ පවා වැඩියි. එම ස්ථානයේ කවි පොත් සල්පිලක් අපි පවත්වන නිසා කවි පොත් ගොනුවක් එකට රැඳෙන තැනක් බවට මේ පොත් ප්‍රදර්ශනයේදී පත්වෙනවා. ඒ නිසා මේ පොත් ප්‍රදර්ශනයේදී කවි පොත් සල්පිල ද ඉතා විශේෂයි.

මට අවශ්‍යයි කියන හොඳ පොතක් මට ලැබුණොත්, මම ගත්තොත් ඒක කියවන්න මම කොහොමහරි වෙලාව හදාගන්නවා. මගේ ජීවිතේ මගේ කාලෙන් ලොකු ප්‍රමාණයක් වැය කරලා තියෙන්නේ සාහිත්‍යට, කවියට නිසා මම නිරන්තරයෙන් පොත්පත් කියවනවා. ලැබෙන හැම මොහොතකම මම පොත්පත් ඇසුරු කරනවා.

කරේ තියන් අරන් ගියාට නොකියවපු පොත් ගෙවල්වල තාම ඇති

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ 
අනුරුද්ධ ජයසිංහ

පොත් වර්ගීකරණය කරන්න පුළුවන්. විවිධ මෘදුකාංග ඔස්සේ ලියවුණු පොත්පත් තියෙනවා. මේ සාහිත්‍ය මාසයේදී එකම ස්ථානයේදී මේ සියලු වර්ගයේ පොත්පත් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අද වෙද්දි බොහෝ දෙනෙක්ට මේක විලාසිතාවක් වෙලා. ඒ කාලෙදී ඒ ප්‍රදර්ශනය තියෙන ප්‍රදේශය අසලින් යන්නටවත් බැහැ. ඒ තරමටම විශාල ලෙස වාහන තදබදයක් ඇතිවෙනවා. මේ පොත්වල යම් ආකාරයක පරීක්ෂණ, නිරීක්ෂණ ගවේෂණ වගේ ආදී දේවල් එක්ක ලියවුණු පොත්පත් රාශියක් තියෙනවා. නවකතාවල වුණත් වැඩිපුරම තියෙන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න හෝ සමාජයේ සිදුවීම් අලලා ලියවුණු කතා. නමුත් මේ දේවල් කියවලා මිනිසුන් පරිණත වෙලා නැහැ. මේක බොහෝ දෙනෙක්ට විලාසිතාවක් වෙලා. 
හැමදාම පොත් ලියන අය පොත් ලියනවා. අලුත් පරම්පරාව යම් තරමකට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ජනතාව පුදුමාකාර විදිහට පොත්පත්වලට ඇබ්බැහි වුණා කියලා පෙනුණාට මට හිතෙන්නේ ඒක මවාපෑමක් වගේ කියලයි. සමහරු මේ ප්‍රදර්ශන කුටිවලින් තෙරපිලා පොත් අරගෙන යන්නේ ගෙවල්වල පුස්තකාලයක් තියෙන බව පෙන්නන්නයි. නමුත් ඇතැමුන්ගේ ඒ පොත් කට්ටලවලින් තවමත් කියවපු නැති පොතුත් අනන්තවත් ඇති.

මම ගන්න පොත් කාටවත් කියවන්න දෙන්නේ නෑ..

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක 
රවීන්ද්‍ර විජේරත්න

පොත් ප්‍රදර්ශනය ආරම්භ කරපු අවුරුද්දේ ඉඳන්ම හැම අවුරුද්දෙම මම පොත් ප්‍රදර්ශනයට යනවා. ඒ අවුරුද්දට කියවන්න අවශ්‍ය කරන හැම පොතක්ම මම මේ ප්‍රදර්ශනයේදී ගන්නවා. පොත් ප්‍රදර්ශනයට යන්න කලින් මම මිලදී ගන්න පොත් ලැයිස්තුවක් මමම හදාගන්නවා. විශේෂයෙන් ස්වර්ණ පුස්තක සඳහා අවසන් වටයට තේරුණ පොත් දොලහත්, ඊට අමතරව මේ කාලෙදී පුවත්පත්වල පොත් ප්‍රකාශකයන්ගේ අලුත් පොත්වල විස්තර දානවනේ. ඒවා බලලා මම කැමති ලේඛක ලේඛිකාවන්ගේ පොතුත් සටහන් කරගත්තා.

මුලින්ම මම ප්‍රදර්ශනයේදී ඒ ලිස්ට් එකේ පොත් ටික ගන්නවා. හැම අවුරුද්දෙම වගේම මේ අවුරුද්දෙත් මම කළේ ඒකමයි. ඊට පස්සේ මම හිතට වදින, මම කැමති තවත් පොත් අරගත්තා. කොහොමටත් ඒ විදිහට බලද්දි පොත් තිහක් විතර අවුරුද්දකට මම ගන්නවා. සාහිත්‍ය මාසයේ ප්‍රදර්ශනයට අමතරව මම වෙනත් කාලවලදීත් අනිවාර්යයෙන්ම පොත් ගන්නවා. අලුත් පොතක් අතරමැද කාලයේදී නිකුත් වුණොත් ඒ පොතට මම කැමතිනම් මම ඒ පොතත් මිලදී ගන්නවා. වෙන දෙයක් ගන්න පොත් සාප්පුවට ගියාම හිතට දැනෙන පොතක් තිබුණොත් ඒකත් මම ගන්නවා. කොච්චර කාර්යබහුල වුණත් මම සාමාන්‍යයෙන් ෂූටිං එද්දිත් මගේ වාහනයේ පොතක් තියෙනවා. දිවා ආහාර වේලට පැයක් විතර නවත්වනවා. ඒ පැයේදිත් මම බොහෝ අවස්ථාවලදීත් පොත් කියවනවා. බොහෝ විට රාත්‍රී කාලයේ පැයක් දෙකක් මම පොත් කියවනවා. ඊට අමතරව ෂූටිං නැති දවසට බොහෝ විට පැය තුන හතරක් මම පොත් කියවන්න වෙලාව යොදාගන්නවාමයි.

මගේ පොත් වර්ගීකරණයක් නැහැ. මම පරිවර්තන පොත් විශාල ප්‍රමාණයක් කියවලා තියෙනවා. හැබැයි බොළඳම ආදර රැල්ලේ පොත් කියවනවනම් ටිකක් අඩුයි. හැබැයි මම මිලදීගන්නා පොත් තව කෙනෙක්ට කියවන්න දෙන්නේනම් හරිම අඩුවෙන්. මම පොත් හුවමාරු කරන්නේ නැහැ. මගේ ගමේ ගෙදර තියෙන පොත් කබඩ් එක ඇරලා සුද්ද කිරීමට පවා තකහනියක්ම ගමේ යන වෙලාවලුත් තියෙනවා. ඒ තරමටම පොත් එක්ක ගතකරන කාලය හරිම විශේෂයි.


► Text — Dishani  /  Pic - Sumudu and Internet 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00