2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මේ සැරේ නත්තලට මම නෑ කියලා ඩැඩා කලින් ඉඳන්ම කීවා...

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 288

ආදරණීය රොනී ගැන පුතු කේෂාන් සහ දූ කේෂියා සිහිපත් කරන සංවේදී මතක අහුර

සසර හැර නොගියමුත්
ඔහු නොඑන ගමනක් ගියේය....
මතක මහ කන්දක් ශේෂ කර
ඒ කන්ද පාමුල අප තනිකර
නොකියාම ඒ සඳ සැඟව ගියේය...

ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා
ආකාසේ 
මුහුණේ 
රුඳිලා

මල්පෙති පා කරනා...

(රොනී රංගනයේ යෙදුණු ඈතින් ඈතට චිත්‍රපටයෙනි) 

පසුගියදා තම ආදරණීය මව්රටින් නික්ම යද්දී සිය අපූරු සිනහවත් සමඟ මෙරටට නැවත පා තබන්නට නොහැකිවේයැයි රොනී කවමදාකවත් හිතන්නට නැත. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති ප්‍රසංගය අවසන් කළ රොනී නැවතත් ඔක්තෝබර් දහවැනිදා ලංකාවට පැමිණියේය. නමුත් සුපුරුදු සිනහව අද නැත. දෙපයින් අපූරුවට ඔස්ට්‍රේලියාවට පයතැබූ රොනී පෙට්ටියකින් නැවතත් මව්රටට පැමිණියේය. ඒ හිනාව, ඒ හුස්මපොද කවුදෝ රුගෙන ගොසිනි.
රොනී ආදරණීය කලාකරුවා විවට් ලීච්ට ආදරණීය සැමියකු වූවේය. කේෂියාට සහ කේෂාන්ට ආදරණීය ඩැඩාය. ‍

ඩැඩා අන්තිමට අපේ ගෙදරින් ගිය දවස මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඩැඩා ලංකාවෙන් ගිය දවසට පහුවදා මටත් වැඩකට දවස් තුනක් කොළඹින් පිට යන්න තිබුණා. ඉතින්.. ඒ දවසේ රෑ අපි කට්ටියම එකතුවෙලා කෑම කෑවා. සාමාන්‍යයෙන් ඩැඩා ගෙදර ඉන්න දවස්වලට අපි හැමෝම ඉන්නවානම් අපිට කෑම මේසේ එකට වාඩිවෙලා කෑම ගැනීම පුරුද්දක් වෙලා තිබුණා. විශේෂයෙන් ඩැඩා පිටරට යන දවස්වලට අපි හැමදාම එහෙම කළා. ඉතින් එදත් අපි කෑම කෑවා. ඒ කද්දී අපි එක එක දේවල් කතා කළා. ඉතින් එදත් මම මගේ බඩුත් පැක්කරලා පහළට ඇවිත් කතා කර කර කෑම කෑවා. යැයි කේෂාන් ලීච් ඒ අඳුරු අතීතය මතක් කළේය.

රොනී එදිනද හරි සුහදත්වයෙන් කේෂාන් හා බිරිය සමඟ සතුටු සාමීචියේ යෙදුණේය. අවසානයේදී කේෂාන් දෙවියන් වහන්සේ ඉදිරියේ තම ආදරණීය පියාණන් වෙනුවෙන් යාඥා කළේය. ඒ හැමදෙයක් දිහාම රොනී බලාගෙන සිටියේය. රොනී නිවෙසින් අවසන් වතාවට පිටත්වන ඒ මූසල රැය උදාවිය. ඒ සැප්තැම්බර් මස විසිහය වැනිදාය. පසුදින උදේ පාන්දර ගුවන් ගමන සඳහා වේලාව වෙන්කර තිබුණි.
අවසානයේදී ඔහු නිවෙසින් පිටත් වූවේය. විවට් බලාසිටියාය. නමුත් ඒ සැමියාගේ අවසන් ගමන බව ඇය කිසිවිටෙකත් නොදැන සිටින්නට ඇත. කේෂාන් බලාසිටියේය. රොනී වාහනයට ගොඩවැදුණේය. නැවතත් ඔහු තම ආදරණීයන් දෙස බැලුවේය.
ගුඩ්බායි... ගෝඩ් බ්ලෙස් යූ 

කේෂාන්ගේ මුවින් එසේ පිටවුණි. එය ඔහු තම ආදරණීය ඩැඩාට කළ අවසන් සුබපැතීම විය. නමුත් ඒ අවසන් සමුගැනීම බව රොනීවත් කේෂාන්වත් නොදැන සිටින්නට ඇත. රොනී රැගත් රිය ගුවන් යානය කරා පැමිණියේය. ආදරණීයන් සමඟ ගතකළ ඒ සොඳුරු මතකයන් සියල්ලම ඉතිරිකර රොනී රැගත් ගුවන් යානය පසුදින ලංකාවෙන් ඉගිල ගියේය. කිහිප වතාවක්ම කේෂාන් රොනීට දුරකතනය ඔස්සේ කතා කරන්නට උත්සාහ කළද කේෂාන්ට තම ආදරණීය ඩැඩා සමඟ සම්බන්ධ වන්නට අවස්ථාව නොලැබුණි. නමුත් ඔහු විවට් සමඟ කිහිප වතාවක්ම දුරකතනය ඔස්සේ කතාබහ කළේය.

 

රොනී සුන්දර මිනිසෙකි. ඒ සුන්දර මිනිසා විවට්ගේත් කේෂාන්ගේත් කේෂියාගේත් ලෝකවල ජීවත් වූයේය. රොනී ජීවිතේ කිසිමදාක තම දරුවන්ට අතක් උස්සා නැත. රොනී පාසල් යන කාලෙදී පාසල් යාළුවන්ට අපූරු මිතුරෙකු වූවේය. කොලුකමට තරුණයන් අතර ඇතිවන ප්‍රශ්නවලදී, රොනී මැදට පැන ඒ හැමදෙනාම සමාදාන කළේය. රොනීගේ පවුලේ නැගණියන් දෙදෙනෙක් සහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් එක් සහෝදරයකු මියගොසිනි.
මම ඉගෙනගත්තෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. මගේ ඉස්කෝලෙ ගොඩක් දෙනා මගේ ඩැඩාට හරි ආදරෙයි. අපේ මුළු ඉස්කෝලෙම ඩැඩාට හරි ආදරෙයි. සමහර රැස්වීම්වලට ඩැඩා එනවා. ඒ ආවම ඩැඩාව කට්ටිය වටකරගන්නවා.. කේෂාන් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ රොනීගේත්, විවට්ගේත් බොහෝ නෑදෑ පිරිසක් පදිංචිව සිටිති. පර්ත්, සිඩ්නි, මෙල්බන් නගරවල ජීවත්වන ඔවුහු රොනී එනතුරු බලාසිටියහ. මෙවර පර්ත් නුවර පැවති ප්‍රසංගය අවසානයේදී රොනී තම නෑ පරපුර බලන්නට ගියේය. ඔවුන් හා සතුටු වූවේය. දහවල් ආහාරය ඔහු තම නෑදෑ මිත්‍රයන් සමඟ එක්ව ගනු ලැබුවේය. ඔහු තුළින් කිසිදු වෙනසක් නොපෙනුණි. ඔහු විහිළු තහළු කරමින් ඔවුන් සමඟ දිවා කාලය ගත කළේය. අවුරුදු අනූහයක් වයසැති තම මිත්තණියක් බැලීමට යාමටද රොනී අමතක නොකළේය. ඇය ඔස්ට්‍රේලියාවේ නිවාසයක ජීවත් වූවාය. ඇය බැලීමට ගිය රොනී එතැන සිටි මාග්‍රරට් නම් තවත් වයසක කාන්තාවකගේ ඉල්ලීමට අපූරු ගීතයක්ද ගායනා කර ඔවුන් සතුටට පත් කළේය. ඔවුන් සමඟ ගතකොට එන අතරතුර වාහනයේදී පවා රොනී ගීත ගායනා කළේය. ඔහු තුළින් කිසිදු වෙනසක් නොපෙනුණි.

ඉඳහිට ඔහු පොඩ්ඩක් මහන්සියි මට කියමින් මරියසෙල් ගුණතිලකට පැවසුවේය. නමුත් පෙනෙන්නට තරම් වෙනසක් රොනීගෙන් දැකීමට නොලැබුණේය.
රොනී පොඩි ලෙඩකටත් බියවිය. යම් විදිහකින් ඔහුට දැනෙන්නට තරම් වෙනසක් තිබුණානම් එය ඔහු සමඟ ප්‍රසංගයට සහභාගි වූ ඔහුගේ හිතවතිය, මරියසෙල්ට කියන්නට මැලිනොවේ. නමුත් ඒ කිසිවක් ඔහුට නොදැනුණා වන්නට ඇත.
ඩැඩා ගොඩක් කලාකරැවන් කලාකාරියන් නැතිවුණාම මාධ්‍යයට ඒ කෙනා ගැන කිව්වා. නමුත් මගේ ඩැඩා ගැන මට මේ විදිහට කතා කරන්න සිද්ධවෙයි කියලා මම හිතුවේ නැහැ. මම දෙවියන් වහන්සේ තදින්ම අදහනවා. අද මගේ ඩැඩා වෙනුවෙන් මේ හැමදේම දරාගන්න දෙවියන් වහන්සේ මට ලොකු හයියක් ලබාදීලා තියෙනවා. මගේ හදවතේ ලොකු පීඩනයක්, දුකක් තියෙනවා. ඒත් මම කොහොමහරි ඒක දරාගන්නවා. මගේ ඩැඩා කරලා තියෙන හොඳ වැඩ නිසා මම දන්නවා ඔහුට කිසි වැරුද්දක් වෙන්නෙ නැහැ කියලා. කේෂාන් ලීච් පැවසුවේය.

රොනීගේ අවාසනාවන්ත පුවත මුලින්ම ඇසුවේද කේෂාන්ය. මරියසෙල් ගුණතිලක කලාකාරිය මේ පිළිබඳව කීර්ති පැස්කුවල් මහතාට දැනුම් දුන්නාය. ඔහු හරහා පීටර් රොසයිරෝට මේ අවාසනාවන්ත පුවත අසන්නට ලැබුණි. රොනීගේ පවුලේ අයට මේ අවාසනාවන්ත පුවත සැලකිරීම බාරදී තිබුණේ පීටර්ටය. ඔහු කේෂාන්ට තම ඩැඩාගේ වියෝව දැනුම් දුන්නේය. එලෙස කේෂාන්ට තම මවටත් සහෝදරියටත් මේ පුවත දැනුම්දිය හැකි බව පීටර් දැනසිටින්නට ඇත. කේෂාන්ට හිතාගැනීමට නොහැකි විය. ඔහු විනාඩි දහයක් පමණ තනිවූවේය. ඔහුට එය දරාගැනීමට නොහැක. නමුත් අවාසනයේදී මේ ඇත්තට මුහුණදෙන්නට කේෂාන් දෙවියන් වහන්සේගෙන් ශක්තිය අයැදීය.

ඔස්ට්‍රේලියාවේදී මියගිය රොනී ලංකාවට ගෙන එන්නට බොහෝ දෙනා මහන්සි වූහ. ඇතැම් එරට කාර්යාලවල සේවකයන් රෑ නිදිමරමින් මේ වෙනුවෙන් මහන්සි වූවෝය. මේ වෙනුවෙන් නීති මාලාවක්ද එරට තිබේ. ඒ හැමදෙයක්ම ඉතා කඩිනමින් සම්පූර්ණ කිරීමට බොහෝ දෙනා මහන්සි වූහ. ඒ හැම රොනීගේ ආදරණීය රසික රසිකාවියෝය.

රොනී කිසිමදාක කෙනෙකුගේ නරක ගතිගුණ දකින්නට උත්සාහ නොකළේය. ඕනෑම නරක පුද්ගලයකුගේ ඇති එකම එක හොඳ ගතිගුණය දකින්නට රොනී හැමවිටම උත්සාහ කළේය. රොනීගේ දේහය ලංකාවට ගෙන ඒමට පෙර සිටම මේ අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ ඔහුගේ ආදරණීය රසික රසිකාවියන් බොහොමයක් එම නිවෙසට ගොඩවැදුණෝය.

රොනී හැම ඉරිදාවකම සතිඅන්ත පුවත්පත්වල කලාකරුවන්ගේ උපන්දින පළවන තීරය බලන්නට අමතක නොකළේය. ඒ දන්නා හැමදෙනාටම උපන්දිනය දා උදෑසන රොනීගෙන් දුරකතන ඇමතුම අනිවාර්ය විය. දෙතුන් වතාවක් මුණගැසුණු නවක රංගන ශිල්පියෙක් වුවද රොනීට ප්‍රශ්නයක් නොවේ. ඔහුගේ සුබපැතීමට ප්‍රවීණ, ආධුනික, නවක කියා භේදයක් නොමැත.

මගේ ඩැඩා සෑහෙන්න මිනිස්සුන්ව හිනාගස්සවලා තියෙනවා. ඒ කරපු පිනම මගේ ඩැඩාට හොඳටම ඇති. මගේ ඩැඩා නැති පාළුව අපිට දැනේවි.. ඒත්.. එයාව කාටවත් අමතක නොවේවි.. කේෂාන් ලීච් පැවසුවේය.
කේෂියාගේ විවාහ උත්සවය දවසේ රොනී පුදුමාකාර ලෙස සතුටට පත්වූවේය. මීට අවුරුදු දෙකකට උඩදී රොනීගේ ආදරණීය දියණිය මනාලියක් වූවාය.

මගේ වෙඩින් එක දවසේ ඩැඩා ගොඩක් සතුටු වුණා. හැබැයි පුංචි දුකකුත් ඩැඩාගේ හිතේ තිබුණා. අපි හතරදෙනා එකට තමයි හැමදේම කරන්නෙ. ඉතින්.. වෙඩින් එක දවසෙත් ඩැඩා එක කඳුළක් හැලුවේ නැහැ. එයා මගේ සතුට දිහා බලලා හරියට සතුටු වුණා. ඩැඩා එදා හරි ලස්සනට සින්දු කිව්වා. වෙඩින් එක ප්ලෑන් කරන්න පටන්ගත්ත දවසේ ඉඳන් වෙඩින් එක තියෙන දවස වෙනකම්ම ඩැඩාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. කේෂියා ලීච් පවසන්නීය.

ඔස්ට්‍රේලියාවට යාමට කලින් දින රොනී කේෂියාගේ නිවෙසට පැමිණියේය. විවේකය ලද හැමවිටම තම ආදරණීය දියණියගේ නිවෙසට යාම රොනී පුරුද්දක් කරගෙන තිබුණි. එම අවසාන දිනයේත් සවස හයට පමණ කේෂියාගේ නිවෙසට පැමිණි රොනී දියණියත්, බෑණාත් සමඟ රාත්‍රී එකොළහමාර, දොළහ වනතුරු සතුටු සාමීචියේ යෙදී තම නිවෙස කරා ගොස් පැමිණියේය. ඒ අවසන් පැමිණීම බව කිසිවිටෙකත් කේෂියා නොදැන සිටියාය.

ඔස්ට්‍රේලියාවට යන අතරතුර රොනී කේෂියාට දුරකතන ඇමතුමක් ගත්තේය. තමා යන බව පැවසූ රොනී ගෙදර ඇවිත් අම්මි එක්ක ඉන්න යැයි දියණියට පැවසුවේය. එය දෛවෝපගත කියමනකි. කේෂියා ගෙදර පැමිණියාය. පසුවදාම මේ අවාසනාවන්ත පුවත ඔවුන්ට සැලවුණි.

රොනී ඔස්ට්‍රේලියාවට ගොස් දෙනෙත් පියාගත්තේ තම ආදරණීයන් තිදෙනාම එකම තැනකට එකතු කළ පසුවය. නැතිනම් වෙන්වෙන්ව සිටින ඔවුන්ට මේ පුවත දරාගන්නට අපහසු වනු ඇත. රොනී නොකියාම කේෂාන්ට සිය මවත් සොහොයුරියත් බාර කළේය.

මේ වසර පුරාවට රොනී ප්‍රසංග බොහොමයක් බාරගෙන තිබුණි. මේ දෙසැම්බර් මාසයේ රොනී නැවතත් ඔස්ට්‍රේලියාවට යාම සඳහා ප්‍රසංග බාරගෙන තිබුණි. මේ නිසාම මෙවර නත්තල් සැමරීමට ඔහු ලංකාවේ නොමැති බව බිරියටත් දරුවන්ටත් මුල සිටම පවසා සිටියේය. තමා නොමැතිව පල්ලියට ගොස් දේවමෙහෙයට සහභාගී වන්නට කාලයක සිටම ඔවුන්ව සූදානම් කළේය. සැබෑය.. මෙවර නත්තල් සමරන්නට රොනී ඔවුන් සමඟ නැත. ඔස්ට්‍රේලියාවේද නැත. ජීවතුන් අතරේද නැත. 



රොනී 
ගිහින් එන්න
සුබ ගමන්...

 

► Text — Dishani  /  Pic - Sumudu