ඔහු සහ ඔල්යා, වොල්ගා නදී තීරය අසල සිටගෙන සිටියේ මෙවැනි දවසකදීය. තමන් ඉදිරියේ යෝධ වොල්ගාවේ හිම දියවී යාමට පටන් ගත්තා පමණකි. හිම කැට, හිම දූපත් සෙමින් පාවෙන සැටි පෙනේ. නිහඬතාවය බිඳින්නේ කුඩා කුරුල්ලන්ගේ රිදීමය හඬ විසිනි. දියවී සෙමින් පාවෙන්නේ හිම දූපත් නොව තමා ඔල්යා බව අලෙක්සේයිට සිතේ. ඔවුහු ගංඟාවේ ජල කඳට මුහුණ දීමට යති. නිහඬව සිටින ඔවුහු තම ප්‍රීතිමත් අනාගතය ගැන සුන්දර සිහින දකිති. යෝධමය ගඟ මැද සිටින ඔවුන්ට හුස්ම ගැනීමට අපහසුය. සීත සුළං හමයි. දැන් එවැනි සිහින කිසිදිනෙක සැබෑ නොවනු ඇත. ඈ ඔහු ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ නොකළ ද ඇය පිළිගැනීමට ඔහුට බැරිය.
මල් ඉත්ත ඉවත ගෙනයන ලදී. එහෙත් දුක් සහිත සිතිවිලි නොනැවතිණ. දෙපා නැතිවූ බව දැනගත් විට ඔල්යා කුමක් කියයිද? තමා අතහැර ගොස් තමා අමතක කොට සඳහටම වෙන් වී යාවිද? ඔහුගේ මේ අදහසට විරුද්ධව මුළු මහත් සිත, කය දෙකම නැගී සිටී. ඈ එහෙම කෙනෙක් නොවේ. ඔහු අතහැර දමා ඈ නොයනු ඇත!
අබ්බගාතයාට උදව් කරනුවස් ඈ නැවත පරණ රැකියාව කරමින් දුක්විඳිනු ඇත. සමහරවිට දරුවන් ද උපදිනු ඇත....
එවැනි පරිත්‍යාගයක් පිළිගැනීමට ඔහුට අයිතියක් තිබේද? ඔවුන් කිසිදු බැම්මකින් බැඳී නැත. ඈ ඔහුගේ බිරිඳ නොවේ. ඔහු ඇයට ආලය කරයි. ඒ හේතුව නිසාම ඔහුට එවැනි අයිතියක් නැත. අප අතර ඇති සබඳකම් වහාම සිඳබිඳ දැමිය යුතුය. ඇය මහා දුකකින් මුදාලීම පිණිසත්, මතුවී ඇති ගැටලුව විසඳීම පිණිසත් එකවරම ඒ සම්බන්ධකම් සියල්ල අවසන් කළ යුතුය. (සැබෑ මිනිසකුගේ කතාවක් - බරීස් පලේවොයි)
අත්නොහැර විඳින වේදනාවට වඩා අත්හැරීමෙන් විඳින වේදනාව මට සතුටක්... ආදරය ලේබලයක් විදිහට විතරක් හදවතේ අලවාගෙන ජීවිතයට ළංවෙච්ච කෙනෙක් ඔයාගෙ ජීවිතෙත් කවදාහරි ඉඳලා තියෙනවනම් ඔයාටත් එහෙම හිතෙයි... අනේක වාරයක් ඒ අත්හැරදැමීම සැනසිල්ලක් විදිහට දැනෙයි... ඒත් විඳවමින් හරි එක නූලකින් හරි ජීවිතේ ගැටගහගෙන හිටපු බැඳීමක් ලිහලා දැම්මම කියන්න නොතේරෙන වේදනාවකුත් එක මොහොතකට හරි හිතේ කොතැනක හරි පහුරැ ගායි.. ඒත් ඒ වේදනාවට වඩා ලබන සැනසිල්ල හුඟක් වැඩියි... කරේ බැඳපු මාලය හැරිලා යන දවසක ආපහු ඉල්ලාගන්න, අතේ දාපු මුද්ද සමුඅරන් යන දවසට ඇඟිල්ල කෙසේ වෙතත් තුන්හිතම හීරිලා යන්න හරි ඇදලා ගලවගන්න පුළුවන් කෙනෙකුටනම් අපි ජීවිතේ එක දවසක් හරි ආදරේ කරලා තියෙන්නේ මම ඔයාට කියන්නේ දෙපාරක් හිතන්න වද නොවී එයාව මුළු හදවතේම ප්‍රතික්ෂේපයක් බවට පත්කරගන්න. හැම මතකයක්ම ඇස නොගැටෙන හිත නොරුඳෙන ඉසව්වකටම විසි කරලා දාන්න... ඒත් ඔයාගෙන් වතුර උගුරක් හරි එයා ඉල්ලන දවසක් ආවොත් ඒ දවසේදී ඔයා අහක නොබලා එයාට සරණක් වෙන්න. හැබැයි සරණක් වෙන්න කියන්නේ ආයේ කවදාවත් ළංවෙන්න කියන එකවත් ආදරේ කරන්න කියන එකවත් නෙවෙයි... පුංචි දියවරක් නොවී මහා දිය කඳක් වෙන්න කියන එකයි...
බරීස් පලේවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් කියෙව්වේ මට මතකයි මම ඒ ලෙවෙල් පන්තියේ ඉද්දී... ඒ වීරත්වයට ඒ ජීවිතය සොයාගෙන යාමට මම හරි කැමතියි... ඊයේ පෙරේදා දවසක මම ආයෙත් ඒ පොත කියෙව්වා... ඔයාට කියවන්න ඒ පොතෙන් ටිකක් මම සටහන් කරලත් තිබ්බා... ඔයාට තේරෙනේවා ඇති ඒ ආදරයේ ගැඹුර...
කවදාවත් අපි අත්නොහැර යන ආදරයක් කියන්නේ සංසාරයේ කරපු මහා පිනක් කියලා මට හිතෙන්නේ... ඉඳලා හිටලා හරි පුංචි රණ්ඩුවක් වුණොත් හිත පොඩ්ඩක් හරි රිදෙන්න බැන්නොත් ඒ රිදුණු හිත ආදරෙන් ඉඹලා අතගාලා සනසලා මම ඔයාට වචනවලට ගැටගහගන්න බැරි තරම් ආදරෙයි කියලා නොකියා කියන හිතකට ජීවිතේ මොන සීමාවක ඉඳන් හරි ආදරය කරන්න ලැබීම අනන්ත පිනක් කියලයි මට හිතෙන්නේ... ඒ තරම් ආදරණීය හදවත් තියෙන මිනිස්සු දෙවියන්ගේ දරුවන් වෙච්ච මිනිස්සු මේ ලෝකයේදී මුණගැසීම කියන්නෙම අහම්බයක්... ඒ වගේ අහම්බයක් විදිහට මුණගැහෙන කෙනෙක් අතින් එක මොහොතකට හිත රිදුණම දැනෙන සිතිවිල්ල ඒ ස්නේහයෙන් තොරව හුස්මක් වැටුණට හුස්මක් ගන්න බෑ කියන එක...
අත් නොහැර බැරි හින්දා.. අයිතියක භුක්තියකට පෙර පිනක් නැති හින්දා ජීවිතේ යම් දවසක භෞතිකව අත්හැරලා දාන්න වෙන බැඳීම් අපට අපේ ජීවිතවලදී මුණගැහෙන්න පුළුවන්... ඒත් හිතකට සෙනෙහස කියන්නේ මොකක්ද කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියලා දුන්න, ජීවිතේට වටිනාකම් අහුලලා දුන්න, ජීවිතේ පාර වරද්දගන්නැතුව යන්න පාරක් පෙන්නලා දුන්න, ජීවිතයට හුස්මක් දුන්න, දෙවැනි උපතක් දුන්න, එයාගේ සතුට දෙවැනි කරගෙන ඔයාට සතුටක් දුන්න කෙනෙක් අයිතියක් නැති අහේතුවට භෞතිකව අත්හැරලා දාලා වෙන්වුණත් ඔයා එයාව කවදාවත් ඔයාගේ අධ්‍යාත්මයෙන් අත්හරින එකක් නෑ... දුරස් වෙන එකක් නෑ... ඔයා ඔයාගේ ගමන තව කෙනෙක් එක්ක යන්න පටන් ගත්තත් ඔයාගේ ජීවිතේ ඒ හැම කෙනාටම වඩා මුදුනතක එයා හිඳීවි හැමදාමත්...
ආදරය ඉපදෙන්නේ සිතුවිල්ලක
ආදරය මේ ලෝකේ ඕනෑ කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්...
ඒත් ප්‍රේමය උපදින්නෙ හදවතේ... හදවතේ හරි මැද ලෝකාන්තයටත් වඩා ගැඹුරැ ඉසව්වක... ප්‍රේමය හැමෝම ළඟ නෑ... කෝටියකට එක්කෙනෙක් ළඟවත් නෑ... මට හිතෙන්නෙ එහෙම.. ඇයි කියලා අහන්න එපා... ඔයාට මාව කියවන්න පුළුවන්නම් ඒ ඇයි කියලා ඔයාම තේරුම් ගන්න උත්සාහ කරන්න.