මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා...
හඬන්නට හැකිද එතරම්.... මහ පොළොව තෙමාලන්නට තරම්.... සත් සමුදුරකටත් දැනෙන්නට තරම්... මම ඔබෙන් විමසමි. ඔව්... ජීවිතේට ගැඹුරැම හුස්මක් දුන්න ප්‍රේමයක් අහිමි වූ දා හඬන්නට පුළුවන් මට ඒ හැටියට... ඒ ඔබේ උත්තරයනම්.
ප්‍රේමය ගැන... තවත් උපහැරණ කුමටද... ප්‍රේමයනම් කිමැයි පහදන්නට...
1973 අවුරුද්දේදී මාතර ආච්චි නම් චිත්‍රපටයක් තැනුණේය. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය එයයි. චෙම්මීන් නම් බංගලි නවකතාවේ සෙවණැලි ඒ සිනමා රූපයේ ගැබ්වී ඇතැයි කියූ අය සිටියත් මාතර ආච්චි චිත්‍රපටය ජනප්‍රිය සිනමා කෘතියක් බවට පත්කළේ ඒ කිසිවක් නොව සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයයැයි මට සිතේ. වොලී නානායක්කාරගේ පළමු ගී පද රචනය ද එයම වූයේය. වික්ටර් රත්නායකගේ සිනමාව උදෙසා පළමු සංගීත අධ්‍යක්ෂණය ද එයම විය.
මාතර ආච්චි සිනමා කාව්‍යයේ තරුණයා උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙයි. නැවත ඔහු එද්දී ඔහුට ජීවිතයේ එක් කිරුළක් අහිමිය. අදහාගත නොහැකි ප්‍රකම්පනයකින් ඔහු අත්විඳින යථාර්ථය කුමක්ද? ඈ ඔහු හැර ගොසිණි. මව්පිය බලහත්කාරකමට යටත්ව ඇය වත්පොහොසත්කම් ඇති තරුණයකු හා දීග ගොසිණි. එහෙත් ඔහු හද සෙනසුන ඈ වෙනුවෙන් පිපි ප්‍රේමයේ සුගන්ධවත් කුසුම ඒ අසුබ පුවත සැලවීමෙන් මොහොතකටවත් මුකුලිත වූයේ නැත. හැකිනම් යස ඉසුරු හැරදා ඉගිල්ලී එන්න මගේ කිරිල්ලියේ... ඒ ඔහු ආරාධනාවයි. මේ ගීය ගැයෙන්නේ එවන් පසුතලයකය. හැරගියත් හැර නොයන හැර ගියත් පෙම් කරන අරුම ප්‍රේමයේ මහ’රැත් එලෙසය.
මේ ගීය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දිග හැරුණු එක්තරා විචාරයකින් කියවුණේ අස්වාමික තුරුණු ළඳක් ගණිකාවක බවට පත්වීම සහ ඇගේ ළපටි දියණිය හා ඈ ඇහිදින ජීවිතය ගැන මේ ගී පද ඔස්සේ විවරණය කෙරෙන බවයි.
අසන්න... මා තවත් තැනකය..
සඳකඩ පහන... මහා කළුගලකට සියුම් රේඛා සියක් දහසක දස දහස් අරුත් කැවූ විස්මිත ගලින් උපන් අඩ සඳ එයයි. මා කෙසේ කියන්නද මිල කළ නොහැකි සඳ මිල කොතෙක්දැයි ඒ සා සිතුවිලි පවුරක... එනයින් මේ තත්පරයේ මාත් දුප්පත්ය. එහෙත් කොතැනකදෝ වැරදීමක් සිදුවී හමාරය. ඇයි මිලක් නැති අමිල අඩ සඳක් ඕනෑම යටිපතුලකට පෑගෙන්න ඉඩ දුන්නේ.. තීරකයා කවුදැයි නොදන්නා හෙයින් නොසොයමි මම ඔහු හෝ ඈ.. හිත හදා ගන්නට තිබුණි දුන්නානම් පෑගෙන්නට.... බුදුන්ට, දෙවියන්ට, බෝධිසත්ත්වවරයකුට පමණක්නම්... ඒ අඩ සඳ.
කවුරුන්ද ඒ අඩ සඳ... ගීත රචකයා සඳකඩ පහනින් සංකේතවත් කරන්නේ විරල වටිනාකම්, මනුෂ්‍යත්වයෙන් එහා ගිය දිව්‍යමය වටිනාකම් හදවත දරාගත් බෝධි සත්ත්ව කුලකයේ මහා පුරුෂයෙක්යැයි මට සිතේ. එහෙත් ජරාජීර්ණ හදවත්වලින් ගහන සමාජයකට එවන් උත්තරීතර මිනිස් හදවතකට ඇගයීමක් ලැබෙන්නේ මේ මිහිමත ඔහු පය ගසා සිටින දිනෙක නොව මේ මහ පොළොව යට කිසිවකුත් ඇස නොගැසෙන ඉසව්වක ඔහු සදාකාලික නින්දකට වන් කලෙකයැයි මට සිතේ. එවන් සිත් කියවන්නට.. ඉඹ ස්නේහයෙන් සුවඳ විඳින්නට හිඟය බොහෝ සේ මිනිසුන් ලෝතලයේ... ඒ සා වටිනා සඳකඩ පහන ඕනෑම දෙපතුලකට පා පිස්නක් වෙන සේම වටිනාකම් නාඳුනන සමාජයකට එවන් සොඳුරු මිනිස් දම්ද පයට පෑගෙන දුහුවිල්ලක් සෙයින්ම වෙත්.
පාවෙන දේදුණු... ඒ පාවෙන දේදුණු ප්‍රේමණීය සිතුවිලියයි මට සිතේ.. අයිතියේ ඉම් ඉල්ලා නවතින්නට පෙර ආදරේයැයි කියා නොකියන දවස් අග්ගිස්සේ දේදුණු සෙයින් පැහැසර හද ඉපදෙන පෙම් සිතුවිලි ද ලැගුම් යදිමින් පාවෙයි එහෙ මෙහෙ.. අවසර ලැබුණු සඳ නවතියි... සඳකඩ පහනක් සෙයින් අනගි ඒත් වටිනාකම්වලට වටිනාකම් නොලද ඔහු ළඟ ප්‍රේමය රැගෙන විත් ඇය නැවතී. සඳකඩ පහනක කැටයම් නම් ඔහු සිතුවිලිය. ඔහු ජීවිත දැක්මය. ඇගෙන් ඔහු විඳින ස්නේහය ඒ සිතුවිලි ඒ දැක්ම ඔප කරයි.
කැලතුණු රසයක පැන ආ බුබුළක්... ඔහුට සිතෙන්නේ මේ සංසාරයේ ඔහු අත් නොහැර ආ ප්‍රේමයක් වගය.. භවයෙන් භවය පාරමිතාවක් සෙයින් රැගෙන ආ ප්‍රේමයේ හැඩතල අනන්තය මේ අත්භවේ ඔබෙන් විඳින. ප්‍රේමයේ මේ රසය එනයින් සසර පුරා විඳි කැලතුණු රසයකි. මේ භවයේ අපේ හමුවීම ඒ රසාලිප්තයේ හුරුපුරුදු එක් බිඳුවක් පමණි. අතීතය අයිතිය අතීතයටම මිස කවරෙකුටද? අපට අයිති ඒ සසර ස්නේහයේ වත්මන් මේ බිඳුවම පමණකි. ඒ බින්දුව අපේ හදවත් මත පුරුදු ප්‍රේමයේ ලියවැල කැටයම් කර හමාරය.
යුගයෙන් යුගයට නොමියෙන දහනක
ගීයක පදනම මතුවෙද්දී
යුගයෙන් යුගය.. යනු මේ දිගු සංසාර චාරිකාවේ භව නම් නවාතැන්ය. භවයෙන් භවය මුණගැසුණේයැයි සිතෙන මේ නිම්නයේ අපේමයැයි නැවතුමක් ගැන කියන ආත්ම ගීයක ස්වර පදනම අනාගත සිහින උදෙසා පවුරු පදනම් සදද්දී..
ඇයි දෙවියනේ ඒ තුටු ගීය මළ ගීයක් කළේ
නොපෙනෙන ඈතට ඈ ගෙනයනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී.... දෙවියන් සදිසි මිනිසුන් මනුෂ්‍යත්වයේ උරුම ලද්දෝ ප්‍රතික්ෂේප කරතියි මට සිතේ. ඒ දේවත්වයේ ප්‍රභාව මිනිස්කමේ ආලෝකය මන්දාලෝක තරු එළි බවට පරිවර්තනය කරන හෙයිනි. ඒ සොඳුරු ඔහු ඈ හඳුනා ගත්තත් තනතුරු නම්බුනාම මිල මුදල් වත්පොහොසත්කම් ආදී භෞතික යස ඉසුරුවලට නොහිම් වටිනාකම් දුන් සමාජයකට ඔහු කවුද? ඈ ඔහුගෙන් උදුරා ගන්නේ ඒ සරුව පිත්තල සමාජයයි. ඒ සමාජ ආකල්ප හා සටන් කරන්නට තරම් පූර්ණ ගැහැනියක නොවෙයි ඈ... ඔහුගෙන් සැඟවුණු ඉසව්වකට ඈ ගෙන යද්දී ඈ ඉකිගසන ඉකියක බිඳුම අසන්නට කෙනෙක් නැත. ඔහු දකින්නේ මැලවුනු ඈ සියුමැලි මුහුණ පමණි.
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
ගව්වක් ඉහළින් ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්ඳූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුමුණන වැහි බින්දූ
මී වදය බඳින්නට මල් පැණි සාර තුඩින් තුඩ ඇහිඳිනු වස් සියක් මල් වෙත පියඹන බිඟුන් අපමණක් ආදරෙන් ඇස් වහක් කටවහක් වදින්නට නොදී රුකගන්නට මෙන් ඒ මීවදය බඳින්නේ ගව්වක් ඉහළින්ය. ඒ බිඟුන්ගේ තමන් සන්තක විශ්වයම එතැනය. අත පොවන්නට ආවොත් කොහේ හරි ඉඳන් මෘගයෙක් ඒ මීවදය වෙත.. ඔහු භක්තියෙන් සුරකින ප්‍රේමයත් ඒ මීවදය හා සමානය.
සමාජය.. ධනවාදය.. පන්ති භේදය.. වෙනස නොරිසි අහේතුව මහා කළු මේඝයක් වගේ ඇවිත් මගේ ආදරය අඳුරු කරලා මගේ හිත කියන මහා පොළොවට අහස කියන උඹලගේ හිතක් පපුවක් නැති ලෝකයෙන් හෙණ පාත් කරලා වැහි කියන කඳුළු මගේ ලෝකෙට උරුම කළොත්... මීවදයක් වගේ වෙච්ච මගේ සෙනෙහසේ මාලිගාවට වැහි දී සොරා ගත්තොත් රසය..
ඈ ගෙන යද්දී නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රුන්ඳූ
මා ඈ සමඟ අතීත මතක අතර තනිවෙද්දී බලහත්කාරයෙන්ම පැමිණ තවකෙක් ඈ වෙත හද රඳවා ඇත.. ඈ නතු කරගනු රිසින්.
හද විල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා ඉවත යවා
ඒ ප්‍රේමය තවමත් නොමේරෑ කැකුළක්යැයි මට සිතේ. එය එතරම්ම ගැඹුරුය. කොතෙක් පෙම් කළත් ඔබට මා සිතට ඒ නොසෑහෙන තරම්ය. තවත් ප්‍රේමය වෙනුවෙන් වපුරන්නට මට බොහෝ දෑ තිබුණි. වපුරන්නට පෙර කවුරුන්දෝ ඒ බිජුවට සොරාගෙන ගොස්ය. ප්‍රේමයේ නටුව... එනම් ප්‍රේමයේ මතකය පමණක් මා වෙත ඉතිරි කර සුපුෂ්පය නොකල්හිම කවුදෝ නෙලාගෙන ගොස්ය.
ඉඳින් මම නොහඬා කෙලෙසද
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරක්ට මුහුව ගියා
ඒ කඳුළේ තරම ඇරඹුමේදීම කියුවෙමි මම.. එහෙයින් නැවත නොකියමි.
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
ඔබ ලතැවිල්ලෙන් බව ඔබ හඳුනන මම දනිමි. මගේ ජීවිතය නැමැති එක්ටැම් මැඳුරේ කවුළු හැරදා සොඳුරියේ මම අදත් හෙටත් හැමදාමත් බලා හිඳිමි.
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියෙන හදවත සිටී බලා
යස ඉසුරු හැරදා ඔබට එන්න හැකිනම් ඉගිල්ලී තවමත් මේ හිතේ ඉඩ හසර නුඹටමය.
සඳකඩ පහනක් සේ වෙන්නයැයි
ඔබටත් කියන්නට ඉඳින් මට සිත්වේ
එනමුදු....
කිසිවෙකුගේත් පයට නොපෑගෙන...
කවුරුන් හෝ දණගසා
නොහිම් වටිනාකම් භක්ත්‍යාදරයෙන් සිඹින......
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර