2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

සුටුස් ගාලා හඳට යන්න ඉන්දියන් රොකට්ටුවක්!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 550

රොකට් එක දැල්වුණා. සඳ ගමන ඇරඹුණා. නීල් ආමස්ට්‍රෝං සඳට ගියා මතකනේ. මේ ඒ කතාව නෙවෙයි. අපේ රටේ නූතන තාරුණ්‍ය Indian  රොකට්වලින් හඳට යන  ගමන ගැන රහස් කතාවක්. වටේ යන්නේ නැතුව කෙළින් කියන්නම්කෝ, මේ KG ස්ටෝරියක්. 

ඔන්න කොල්ලෝ සෙට් එකක් පන්සීයේ කෑල්ලක් ගහන්න සෙට් වුණා. ඒකෙන් ඒගොල්ලෝ උපරිම ඔතන්නේ පැට්ටෝ දෙකක් හරි තුනක් හරි. පන්සීයකට KG  ග්‍රෑම් 2ක් විතර තමා පොඩි පැකට් එකකට දාලා හම්බවෙන්නේ. පැට්ටෝ කියන්නේ මෙතනදී ඔතන සුරුට්ටුවලට. දැන් මේක මෙයාලා ඔතත්නේ කොහොමද? ඒකට නම් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය ඉන්පෝටඩ්. සව්කොළවල තෙල්කොළවල ඔතලා ගංජා ගැහුව කාලෙට වඩා දැන් ලෝකේ පොෂ්. පේපර් කඩවල තියෙනවා. එකක් රුපියල් විස්සක් විතර තමා වෙන්නේ. දැන් සෙට් එකේ වැඩ්ඩා බඩු ටික ළංකරගෙන ඔතන්න ගන්නවා. මුලින් KG කෑල්ල කඩාගන්න ඕනෙ. එක ගුලිය තදවෙලා තියෙන මේ කෑල්ල ඇට නැටි අහුලා වෙන්කරනවා. ඊට පස්සේ අතින් හරි කතුරකින් හරි කෑලි කෑලි වෙන්න මේක කපාගන්නවා. දැන් ඔය අතරේ කවුරුහරි ෆෝන් කාඩ් එකකින් හරි සිගරැට් පෙට්ටියේ අයිනේ කොළ කෑල්ලකින් හරි ෆිල්ටරයක් හදනවා. ඕකට බෝක්කුවක් කියලත් කියනවා. අර මුලින් සීරූවට කපාගත්ත කෑලිවලට සිගරුට් එකක් කඩලා ඒකේ දුම්කොළ කෑලි ටික Mix කරනවා. ඊට පස්සේ සීරුමාරුවට මෙයාලා ජොයින්ට් එක ඔතනවා. ඔන්න දැන් සඳ ගමනට ඔක්කොම රෙඩී. රොකට් එක දල්වන්න විතරයි තියෙන්නේ. 

කංසා කියන්නේ මත්ද්‍රව්‍යයක්. ලංකාවේ තහනම්. අපි දන්නවා ඒක. ඒත් ලංකාවේ තාරුණ්‍යයන් බහුතරයක් මේවා පාවිච්චි කරනවා. ඒ වගේම මේක නෝමල් දෙයක් කියලා තමා එයාලා හිතන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව නම් ඇත්තටම මේ තත්ත්වය භයානකයි. අපි මේ කතාවේ කියන සෙට් එක කොහේ අයද? එහෙම ඔයාලා සිතන්නේ කුතුහලය නිසානේ. මේ අය Office කොල්ලෝ සෙට් එකක් වෙන්න පුළුවන්, නැත්නම්  ටවුමේ හරි ගමක හරි සෙට් එකක් වෙන්න පුළුවන්, Campus  වෙන්නත් පුළුවන්, ඉස්කෝලෙක වෙන්න බැරිත් නෑ. මොකද අද වෙන KGත් පාසල් පද්ධතිය ආක්‍රමණය කරලා. හරියට ඉස්සර සිගරුට් වගේ.

දැන් අපි ආයේ කතාවට එනවා. දැන් එයාලා අහස් කූර පත්තු කරලා අතින් අතට මාරැ කරගන්නවා. එක්කෙනෙක් පාරවල් තුන හතරක් ගහලා ළඟ ඉන්න කෙනාට දෙනවා. ජොජින්ට් එක වටේ යනවා. එක වටයක් යනකොට කට්ටිය  පෘථිවිය කක්ෂයෙන් එළියේ. අායෙත් අතින් අතට රොකට් එක මාරුවෙනවා. කට්ටිය කතා කරනවා. එකෙක් කතා කරනකොට අනිත් උන් අහගෙන ඉන්නවා. වෙලාවකට ගැඹුරු මාතෘකා මේ කතාබහට එකතුවෙනවා. සිටුවේෂන් එක පීස් ෆුල්. ඔය අතරේ කවුරුහරි සිගරුට් එකක් පත්තු කළොතින් ඒකත් වටේ යනවා. මේ වගේ සෙට් එක්ක ඉන්න පුළුවන් සිගරුට් බොන්නේ නැති ජොයින්ට් එක විතරක් ගහන ඩයල්. ඒ වගේ ඇල්කොහොල් පාවිච්චි නොකරන ඩයල්. දැන් කට්ටිය සින්දුවක් කිව්වොත් පට්ට නෝමල් තමා. ඔන්න කට්ටිය හඳේ. ‍

KG වල විශේෂත්වය තමයි බඩු පොඩ්ඩයි මත ගොඩයි. වැදෙනවා කුඩුවෙන්න. එහෙනම් ඒකෙ අනිත් පැත්ත පොඩ්ඩ වුණාට විස ගොඩයි. මේක ගැහුවම සමහරුගේ ඇස් රතුවෙනවා, සමහරු ගුල් වෙනවා. ඒ කියන්නේ කතා කරන්නේ නැතිව ඔහේ ඉන්නවා. කට්ටියට වතුර බොන්න ඕන සෑහෙන්න. වතුර නිකම් දිවඔසුවක් වගේ. පැණිරස කෑම තොල ගාලා කංසා බොන්න සොඳා කියලා අර සින්දුවක් තියෙන්නෙ. ඒකට හේතුවත් කියන්න ඕනෙ. පැණිරසවල රසය හිමින් හිමින් රස විඳින්න මෙයාලා කැමතියි. ඒකෙන් මත වැඩිවෙනවා කියලා මතයකුත් මේ අය අතරේ තියෙනවා. 

අද බඩු හරි නෑ.. අද නම් පට්ට.. වැඩේ ඉවරවෙනකොට කට්ටිය තමන්ගේ Comment එක දෙනවා. බඩු කලවම් තව එකෙක් කියනවා. ගත්තු එකාට බණිනවා. එහෙනම් අපි දැන් යන්න හදන්නෙ නූතන තාරුණ්‍යයේ සඳ ගමනේ රොකට් ඉන්ධන ඩීලස්ලා ගාවට. මෙහෙමයි, දැන් රටේ හැම ගමකම වගේ ඩීලර් කෙනෙක් ඉන්නවා. නැත්නම් වර්ග කිලෝමීටර් පහක් වගේ ඇතුළත අනිවාර්යයෙන් කෙනෙක් හොයාගන්න පුළුවන්. මැදිවියේ අයගේ ඉඳලා යන්තම් අවුරුදු දාසයේ දාහතේ කොල්ලොත් මේ බිස්නස් එකේ ඉන්නවා. ග්‍රෑම් පනහක් කිලෝ එකක් වගේ තමා මෙයාලා බඩු ගේන්නේ. ලොකු ඩීලර්ස්ලගෙන් ගෙනල්ලා පන්සීයේ දාහේ කෑලි හදනවා. බඩු හිඟ කාලෙට කෑල්ල පොඩියි. කෑල්ල ලොකු වෙන්න වෙන්න කස්ටමර්ට සතුටුයි. වාසියට බඩු දෙනවා නම් බඩු හොඳයි නම් ඒ ඩීලර්ව හොයාගෙන කට්ටිය වැඩිපුර එනවා. කෑලි ගෙදර හරි වත්තේ හරි රහස්  තැනක හංගලා තියෙන්නේ. කස්ටමර් ආවම ටක්ගාලා අරගෙන කෑල්ල දෙනවා. සමහර වෙලාවට ග්‍රෑම් පහ දහයේ පොඩි බිස්නස් මෙයාලා කරනවා. ගමේ ටවුමේ පොලීසියෙන් කොහොමහරි ෂේප් වෙන්න පුළුවන් කියලා මෙයාලා දන්නවා. යුනිට් එකෙන් පැන්නොත් තමා අවුල. යුනිට් එක කියලා එයාලා කියන්නේ මත්ද්‍රව්‍ය නාශක අංශයට. 

අපේ සෙට් එක දැන් දෙවැනි තුන්වැනි සූස්තියත් ගහලා. කුඩුවෙන්න වැදිලා ඉන්නේ. දැන් මෙයාලා මොනවා කරනවා ඇද්ද? අර කලින් කිව්වා වගේ ටෝකින් Feeling  තමා. හිනාවෙන්න පටන් ගත්තොත් දිගටම හිනාවෙනවා. කටහඬ සද්දේ වැඩි වුණොත් කාලගෝට්ටියක් වගේ. සමහරු වතුර හොයාගෙන යනවා. ඇස් රතුවෙලා අඩවන් වෙලා. බඩගිනිත් වැඩිවෙලා. බඩගින්න නම් කංසා එක්ක එන දෙයක්. කොච්චර කෑවත් තේරෙන්නේ නෑලු. සමහරුන්ට ඔළුව කැක්කුමක් අල්ලලා. එයා කියන්නේ ඒ බඩු අවුල් වුණු නිසාලු.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉඳලා එන නිසානේ මේවා වලට KG කිව්වේ. KG ජනප්‍රිය වුණු මුල් කාලේ ඔක්කොම බඩු ආවේ ඉන්දියාවෙන්. බෝට්ටුවලින් උතුරට ආවා. උතුරෙන් දකුණට ආවා. පස්සේ නාවික හමුදා මිෂන් කිහිපයක් නිසා වැඩේ අල වුණා. ඒත් තාම මුළුමනින්ම වැඩේ නැවතිලා නෑ. ඒත් දැන් ගොඩක් වෙලාවට බ්රූන්ඩ් එක ඉන්දියන් වුණාට රොකට් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා. මහා පරිමාණ ජාවාරම්කාරයෝ තමා මේ වැඩේ කරන්නේ.
ලංකාවේ තණමල්විල උඩවලවේ ඇඹිලිපිටියේ කංසා, ඒ කියන්නේ ලෝකල් අරගෙන ඒවා වලින් තමා මෙහේ KG හදන්නේ.  මේකට හදන ශිල්පය නම් පැහැදිලි කරන්න අමාරුයි. ඒත් එස්ලෝන් බටයක් ඇතුළට ලෝකල් දාලා පැණි වගයකුත් දාලා මේවා හදනවා කියනවා. එතකොට ඔය මෝටීන් ෆෝමලීන් දානවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අධික ඔළුව කැක්කුමට හේතුව ඒකලු. හිතාගන්නකෝ ෆෝමලීන් මෝටීන්වල කොච්චර විසක් තියෙනවද කියලා. එක අතකට KG කියන්නේ නූතන තාරුණ්‍ය පණ පිටින් එම්බාම් කරන මත්ද්‍රව්‍යයක්. 

කොහොම හරි ඉන්දියාවේ රොකට් එකෙන් හඳ තරණය කරන අපේ තාරුණ්‍යයේ කතාව අපි දැන් ඉවර කරනවා. කවුරු කොහොම කිව්වත් ඇල්කොහොල්වලට පස්සේ මේ රටේ ප්‍රධානම මත්ද්‍රව්‍ය KG තමා. ඒත් KG සමස්ත ලාංකික තාරුණ්‍යයට මරුකැඳවන සුළු ට්‍රෙන්ඩ් එකක්. රොකට් පුපුරා ගොස් සඳ ගමනේ දී ඔබ මිය යා හැක. භාවිතයට පෙර නැවත සිතන්න.

► Text - Nisal   /   Pic – Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00