2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

දැන් මම බිස්නස් එකේ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 151

සමීර.. මුලින්ම අපිට ඔයා ගැන විස්තරයක් කරමුද..?
මගේ නම සමීර වීරසිංහ. මගේ පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, අක්කා, අයියා සහ මම. ඒ කියන්නෙ මම පවුලේ බාලයා.

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද..?
මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2008 අවුරුද්දෙ. මගේ අක්කත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඒ නිසාම තමයි මට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ආසාව ඇතිවුණේ. මගේ අක්කගේ නම අංජානා වීරසිංහ. මම මේ ක්ෂේත්‍රයට එද්දී අක්කා ලංකාවේ හිටියේ නැහැ. හැබැයි අක්කා නිසාම කාලයක ඉඳලා මට මේ ක්ෂේත්‍රය ගැන අයිඩියා එකක් තිබුණා.

පුංචි කාලෙත් ආසාවෙන් හිටියේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නද..?
හැමෝගෙම වගේම මගෙත් පොඩි කාලේ හීන එක එක කාලෙදී වෙනස් වුණා. පොඩි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ පයිලට් කෙනෙක් වෙන්න. ඊටපස්සෙ මට බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම ඉගෙනගත්තෙ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ. ඉතින්.. පාසලෙන් අයින් වුණු ගමන් මට සම්පත් බැංකුවේ රැකියාවක් ලැබුණා. ඒ රැකියාව කරමින් ඉන්න අතරතුරේදී තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අදහසක් ඇතිවුණේ.

ඔබට නිරූපණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ කිහිපයක්ම ලබාගන්න අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. මU 2013 අවුරුද්දෙ කොරියාවේ පැවැත්වූ Asian festival awards (AMFA) තරගයෙන් Best model ලෙස ජයග්‍රහණය ලබාගත්තා. ඒ වගේම 2014 අවුරුද්දෙ තායිලන්තයේ පැවැත්වූ Mister Sri Lanka Global තරගයෙන්ද ජයග්‍රහණයක් ලබාගත්තා.

මේ දවස්වල සමීර නිරූපණ ක්ෂේත්‍රයේ වැඩිය දකින්න ලැබෙන්නෙ නැහැ..?
ඔව්.. මම දැන් මගේ බැංකු රුකියාවෙන් අයින්වෙලා ඇඟළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඊට අමතරව මගේ මොඩ්ලින් ඇකඩමියකුත් මම මේ වනවිට කරගෙන යනවා. ඒක පටන් අරගෙන දැන් අවුරුදු හතරක් විතර ඇති.

ඔබ වෙළෙඳ දැන්වීම් සහ රූපරචනාවලටත් සම්බන්ධවෙලා තියෙනවනෙ.. මේ දිනවලත් ඒවාට සම්බන්ධ වෙනවද..?
ඔව්.. මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම මම රූපරචනා තිහක් විතර කරලා තියෙනවා. හැබැයි දැන් වැඩිය ඒවාට සම්බන්ධ වෙන්න මගේ කැමැත්තක් නැහැ. අවුරුද්දක් තිස්සෙ මම ඒවාට සම්බන්ධ වෙනවා හරිම අඩුයි. හොඳ, හිතට දැනෙන මියුසික් වීඩියෝ එකක් ලැබුණොත් විතරයි මම දැන් බාරගන්නෙ. දැන් වැඩිපුරම තියෙන්නෙ ඒකාකාරී රැල්ලට යන මියුසික් වීඩියෝ. මම ඒවාට සහභාගී වෙන්න කැමති නැහැ. මේ දවස්වල මම වැඩිපුරම නැඹුරුවෙලා ඉන්නෙ මගේ ව්‍යාපාර කටයුතුවලටයි.

තාත්වික වැඩසටහනටත් සමීර දායකවෙලා ඉන්නවා.. කොහොමද ලැබෙන ප්‍රතිචාර...?
තාත්වික වැඩසටහනට මටත් ආරාධනාවක් ලැබුණා. කොහොමත් මම අභියෝගවලට ගොඩක් කැමැති කෙනෙක්. ඉතින්.. ඒ ආරාධනාව මම හරිම සතුටින් බාරගත්තා. අද වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ඇවිදින්න හරි කැමති කෙනෙක්. ලංකාවේ වගේම පිටරටවල ගිහින් ඇවිදින්නත් මම හරි කැමතියි. ඒ වෙනුවෙන් මම ගොඩක් කාලය වෙන්කරලයි තියෙන්නෙ.

ඔබට රංගනයට දායකවෙන්න අවස්ථාව ලැබිලා නැද්ද..?
මම එක ෆිල්ම් එකකට සම්බන්ධ වුණා. ලංකාවේ ඉතා ප්‍රවීණ සහ ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් එක්ක තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. හැබැයි.. ඒක රූපගත කරන අතරතුරේදී අතරමඟ නතරකර දමන්න සිද්ධවුණා. ඒ නිසා ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ. ඒ අවුරුදු තුනකට කලින්. ඊටපස්සෙ මම රංගනය පැත්තට යොමුවෙන්න ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ. මම වැඩිපුරම කැමති වුණේ නිරූපණ ක්ෂේත්‍රයටයි. ඒ නිසා රංගන ශිල්පියෙක් විදිහට දකිනවට වඩා නිරෑපණ ශිල්පියෙක් විදිහට මාව හඳුන්වනවට මම ගොඩක් කැමතියි. නිරූපණ ක්ෂේත්‍රයෙදී ෂෝ එකකදී අපිට අපේ කොටස කළාට පස්සෙ අපේ මුදල් ලැබෙනවා. හැබැයි රංගනයෙදී ඊට වඩා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සමහර වෙලාවට උදේ පාන්දර රූපගත කිරීම් කරන තැනට ගියත් හවස් වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. සමහර වෙලාවට හවස් වෙනකොට ඒ ෂූට් එක නැහැ. ඉතින්.. ඒ දවසම නිකරුණේ ගෙවිලා යනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ මේ ගමන යන්න මම කැමතියි. හැබැයි රංගනයටත් ආසයි.

සමීරගේ ඉදිරි බලාපොරොත්තු මොනවද..?
රංගනයට යොමුවෙන්න මගේ ආසාවක් තියෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාරය තවත් දියුණු කරගෙන, මගේ මොඩ්ලින් ඇකඩමි එක හොඳින් කරගෙන නිරූපණ ක්ෂේත්‍රයේ තවදුරටත් හොඳ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

 

► Text - Jayamali  /   Pic -  Malaka