අදටත් මම ඔහුට හිස නමා ඔළුව පාත් කරනවා
පැදුරේ නිදාගත්ත මට ජීවිතේ කවදාවත් වරදින්න විදිහක් නෑ
වෙච්ච හැම ප්‍රශ්නයක්ම මම අමතක කරලයි ඉන්නෙ
පුංචි පැටවු රොත්තකට අද ඇය නැටුම් ගුරුවරියක්. බෙර පදයට හරි අපූරුවට පාද තබලා නැටුම් උගන්වන මේ ආදරණීය නැටුම් ගුරුවරිය ඔබේ දයාබර කලාකාරියක්. ඇය මේනකා පීරිස්. ඉතින් මේනකාගේ වගතුග ටිකක් දැනගන්න අපිට හිතුණා. බලමු... මොකද කියන්නෙ කියලා...
පහුගිය කාලේ මේනකාව කලා කටයුතුවලින් දකින්න ලැබුණේ නැහැ. ඇයි ඒ..?
ම්... මෙහෙමයි.. ඒකට හේතු කීපයක්ම බලපෑවා. ඒ කාලේ මට ලැබුණු ආරාධනාවලදී එකඟවෙන්න බැරිවුණු තැන් තිබුණා. අනිත් හේතුවක් තමයි මම පහුගිය වසරේ රියැලිටි ෂෝ එකකට සම්බන්ධවෙලා හිටියා. එතකොටනම් ඇත්තටම ෂූටින් කරන්න හරිම අමාරුයි.
ආයෙමත් රියැලිටි ෂෝ පටන් අරන්නේ. සම්බන්ධ නොවුණේ ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනානම් කීපයකින්ම හම්බවුණා. ඒත් ඒවා බාරගත්තේ නෑ. එහෙම දෙයක් බාරගනිද්දී ඇත්තටම අපි ඒකට කැපවෙන්න ඕනේ. හැමදෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. ඒක මාර වෙහෙසක්. තනි නැටුමක්නම් ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් කණ්ඩායම් නැටුමක් කරද්දී ඒක හිතන තරම් ලේසි නෑ.
ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී හදාගන්න තිබුණානම් හොඳයි කියලා හිතෙන තැන් ජීවිතේ තියෙනවද?
මම මේ ජීවිතේ මට වෙච්ච ප්‍රශ්නත් එක්ක මම හිතුවේ “ඒක එහෙම වුණ එක හොඳයි” කියලයි. ඒ ප්‍රශ්න ඒ දේවල් ආවයින් මගේ ජීවිතේ මම තවත් පරිණත වුණා. ඒ නිසා ඒ දේවල් නොවුණානම් හොඳයි කියලා මම කිසිම වෙලාවක හිතන්නෙ නෑ.
ඔබ පහුගිය කාලෙ ජීවිතේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ජීවිතේ ආව ප්‍රශ්න දිහා ඔය විදිහට සුභවාදීව බලන්න පුරුදුවුණේ කොහොමද?
මම බුදුදහම මාර විදිහට විශ්වාස කරන කෙනෙක්. ඒ වගේම මම දෙවියන්ව දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ ආපු හැම ප්‍රශ්නයකදීම මම හිතුවේ මම හරි මාර්ගයේ යනවානම් කවදාහරි මගේ හිතට සැනසීම ලැබේවි කියලා. ඒ නිසා ජීවිතේට ආපු ඒ හැම ප්‍රශ්නයක් දිහාම මම ධනාත්මක විදිහට හිතුවේ.
ජීවිතේට ආපු මේ හැම ප්‍රශ්නයකදීම ළඟ හිටියේ කවුද?
ජීවිතේ වෙච්ච ඒ හැම ප්‍රශ්න සියල්ලක්ම මම අමතක කරලයි ඉන්නේ. අද මම අලුතින් ජීවිතයක් පටන් අරගෙනයි ඉන්නේ. ඒ වෙනුවෙන් මගේ අම්මයි, තාත්තයි, මල්ලියි මාත් එක්ක ඉන්නවා. ඉදිරියටත් මගේ හුස්ම තියෙනකම් ඒ තුන්දෙනා මගේ හයියවෙලා ඉඳීවි.
මේනකා අද ඉන්න මේ තැනට එන්න දුක් වින්දද?
ඔව්.. පුදුමාකාර දුකක් වින්ඳා. පුදුමාකාර කට්ටක් කෑවා. මම ජීවිතේ අත්දැකීම් ගොඩකට මුහුණදුන්නු කෙනෙක්. මගේ මව්පියෝ මටයි මල්ලිටයි හැම සතුටක්ම දුන්නා. ඒත් මගේ තාත්තගේ අසනීපයත් එක්ක ලොකු දේවල් ටිකක් අපිට නැතිවුණා. මම පවුලේ වැඩිමලා. ඒ නිසා අම්මටයි මටයි සිදුවුණා මේ පවුලේ වගකීම ගන්න. ජීවිතේ දුක කියන දේ මම හොඳට දන්නවා. ඒ දුකේ රස දන්න නිසයි මට අදටත් පැදුරේ නිදාගන්නත්, මෙට්ටේ නිදියන්නත් පුළුවන්වෙලා තියෙන්නේ. ඒ නිසා පැදුරේ නිදාගත්ත මට ජීවිතේ කවදාවත් වරදින්න විදිහක් නෑ.
මෑත කාලයේදී මේනකා ගැනත් කටකතාවක් පැතිරුණානේ... ප්‍රසිද්ධ කලාකරුවෙක්ව සම්බන්ධ කරලා. ඒ කටකතාව ගැන මොකද මේනකා කියන්නෙ?
මම කටකතාවලට උත්තර බඳින්න කැමති නෑ. ඕවා ගණන් ගන්නෙත් නෑ. ඔය කටකතා කියන දේවල් ලංකාවේ විතරක් නෙමේ. ලෝකෙම හැදෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. එල ඇති රුකටනේ ගල් ගහන්නේ.
මේනකා හිතන විදිහට ඇයි ඒ වගේ කටකතාවක් ඇතිවෙන්න ඇත්තේ?
මෙහෙමනේ... රියැලිටි ෂෝ එකක් කරද්දි අපි හැමෝටම එකට වැඩ කරන්න සිද්ධවෙනවනේ. සමහර වෙලාවට අපි හැමෝම කෑවේ එක බත් එක බෙදාගෙනයි. අපි නැටුවේ එකට. ඉතින් ඒක වැරදි ඇහැකින් කෙනෙක් බැලුවොත් දකින්නේ වැරදියට. ඔහු හරි සුන්දර මනුස්සයෙක්. ජීවිතේ මට හම්බවුණු හොඳ අයියා කෙනෙක්. අපිට හොඳ නරක කියලා දීපු හොඳ සහෝදරයෙක්. ඉතින් අදටත් මම ඔහුට හිස නමා ඔළුව පාත් කරනවා.
මේ කටකතාව මේනකා දැනගත්තම මොකද හිතුණේ?
ඇත්තටම කිව්වොත් මටයි ඔහුටයි ඒ කතාව දැනගත්තාම හොඳටෝම හිනා. මගේ අම්මා හැමදාකම මාත් එක්ක ගියා. අපි කණ්ඩායමක් විදිහට වැඩකරපු අය. ඉතින්.. රියැලිටි ෂෝ එක ගිය කාලේ ඔය ඕපදූපය ගැන හැමෝම කතා කළා. අද නැහැනේ... සමහරු මේ සහෝදරකම දකින්නේ අවිශ්වාසයෙන්... ඒකට මට කරන්න දෙයක් නෑ. හොඳම දේ නිහඬව සිටීමයි.
Text — Dishani / Pic- Internet