2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

මම ලෝකයම දැක්කේ එයාගේ ඇස් දෙකෙන්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

ළඟදීම “රන්තාරකාවෝ*” ප්‍රසංගයත් පවත්වනවානේ... අපි මුලින්ම ඒ ප්‍රසංගය ගැන කතා කරමු...?

ඔව්... මගේ හැත්තෑවෙනි ඡන්ම දිනය නිමිතිකොට ගෙන තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. ඒ ප්‍රසංගය “රන්තාරකාවෝ” නමින් තමයි හඳුන්වන්නේ. මේක බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොවැම්බර් එකොළොස්වෙනිදා සවස හයයි තිහට පවත්වන්න තීරණය කරලා තියෙනවා.

මේ ප්‍රසංගයට ඔබ අලුත් පරපුරකුත් එකතු කරගෙන තියෙනවා නේද?

ඔව්... මේ ප්‍රසංගයේදී මම විතරක් නෙමේ තවත් අලුත් පරපුරක් ගායනයෙන් එකතු වෙනවා. රවීන් කනිෂ්ක, චන්දීප ජයකොඩි, රිද්ම වීරවර්ධන, නදීමාල් පෙරේරා, වගේම මගේ මිණිපිරී දුල්ෂාරා, ලොකු මුණුපුරා දෙමිත් නේලක සහ පොඩි මුණුපුරා චිත්රු මේ ප්‍රසංගයට ගීත ඉදිරිපත් කරනවා. ඒ වගේම මගේ පුතා ප්‍රශන්ත වගේම මගේ දුව ජිතේන්දිතාත් මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රවීණයන් ගත්තොත් ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ අමරසිරි පීරිස් ද මේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා. මෙහි සංගීතය දිනේෂ් සුබසිංහ ප්‍රමුඛ ටෝන් පොයම් සංගීත කණ්ඩායමයි.

මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න තීරණය කළේ කවුද...?

මගේ ජන්ම දිනය නිමිතිකොටගෙන මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න මුලින්ම තීරණය කළේ මගේ පවුලේ අයයි. ඒ අතරින් මගේ ලේලිය වුණු අයෝමි රණසිංහගේ බලවත් උත්සාහය මත තමයි මේ ප්‍රසංගය කරන්න මම පෙළඹුණේ. අද වෙද්දි මේ ප්‍රසංගයේ සංවිධාන කටයුතු ඉතාම කැපවීමෙන් ඇය කරනවා. ඒ අතරට අපේ දරුවෝ වගේම බොහෝ දෙනෙක් මේ ප්‍රසංගය සංවිධානය කරන්න ලොකු වෙහෙසක් දරනවා. 

ප්‍රවීණයෙක් විදිහට ඔබ නවක තරුණ තරුණියන් සමඟ බොහොම සමීපයි. ඒ නිසාමද නව පරපුරද මේ ප්‍රසංගයට එකතු කරගන්නේ...?

ඔව්... රියැලටි ප්‍රසංග ඔස්සේ මට බොහෝ තරුණ පරපුර එක්ක සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා අගය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි මගේ ප්‍රසංගයට ප්‍රවීණයන් වගේම ඔවුන්ගේ සහභාගීත්වයත් මම අගේ කළේ. ඔවුන්ගේ සම්බන්ධවීම මගේ ප්‍රසංගය ඉතාමත් විචිත්‍රවත් වේවි කියලා මම හිතුවා. මේ ප්‍රසංගයේදී මගේ මිනිපිරී දුල්ෂාරා කථක් නර්ථනයක් ඉදිරිපත් කරනවා. ඒ ගීතයත් දුල්ෂාරාගේමයි. ඒ ගීතය මුල්ම වරට හඳුන්වා දෙන්නේත් එදාටම තමයි. ඒ වගේම දිනක්ෂි, ශනුද්‍රි සහ තවත් කිහිප දෙනෙක් මෙහි නර්තන කිහිපයක්ම ඉදිරිපත් කරනවා.

ප්‍රසංගයට අමතරව තවත් සුවිශේෂී සිදුවීමකුත් මෙදිනට සිදුවෙනවා නේද?

ඔව්... ඒ තමයි “රන්තාරකාවෝ” සී.ඩී. පටයත් එදාට නිකුත් කරනවා. මීට පෙර මම මගේම සී.ඩී. පටයක් නිකුත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ කටයුත්තත් මේ සුවිශේෂී දිනයටම කරනවා.

ඔබේ සංගීත දිවිය ආරම්භ වෙන්නේත් ඔබේ ළමා කාලයෙන්ම නේද...?

ඔව්... මම පාසල් ගියේ පොල්ගොල්ල උයන්වත්තේ. ඊට පස්සේ මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත් වුණා. ඒ පාසැලේදී චිත්‍ර, නර්තනය, සංගීතය සියල්ලම මම හැදෑරුවා. පාසැල් තරගවලදී මට ජයග්‍රහන රාශියක් ලැබුණා. මම මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වෙද්දී මට වයස අවුරුදු පහක් විතර ඇති. ළමා මණ්ඩපයෙන් තමයි මම කලාවට එකතු වුණේ.

ඔබ කලා පවුලකට හිමිකම් කියපු චරිතයක්. එහෙම නේද?

ඔව්.... ගෙදරට සංගීතය තිබුණ පවුලක තමයි මම ඉපදුනේ. මගේ තාත්තා පොල්ගොල්ල කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීත කථිකාචාර්ය ධුරය ලැබුවා. මගේ පියාගේ නම පීටර් සිරිවර්ධන. මගේ අම්මා සංගීත ගුරු උපදේශිකාවක් විදිහට සෙංකඩගල මහ විද්‍යාලයේ සේවය කළා. අම්මාගේ නම කරුණාදේවී සිරිවර්ධන. ඒ නිසා නිතැතින්ම අපි සංගීතයත් එක්ක තමයි ජීවත් වුණේ...

ඔබේ සහෝදරයින්ට පවා ඒ සංගීත හැකියාව තිබුණා නේද?

ඔව්... මගේ ලොකු අයියා සුනිල් සිරිවර්ධන. දෙවැනි අයියා සිසිර සිරිවර්ධන. දෙවැනි අයියා නම් මේ ක්ෂේත්‍රයට යොමුවුණේ නැහැ. හැබැයි ඔහුට හරි අපූරුවට වාදනය කරන්න හැකියාව තිබුණා. මගේ ප්‍රථම සරල ගීතයට ලොකු අයියා සුනිල් සිරිවර්ධන යුග ගායනයෙන් සම්බන්ධ වුණා. ඊට පස්සේ සමන් චන්ද්‍රනාත් ලියූ සරත් දසනායක සංගීතවත් කළ “උක්දඬු දුන්නෙන් උපන්නෙමි” ගීතයෙන් ඉතා ජනප්‍රිය වුණා.

ඔබ සංගීතය පිළිබඳව බොහෝ දැනුමක් ඇති කෙනෙක්?

ඔව්. මම ශාස්ත්‍රීය, සරල ගී හා දෙමළ සරල ගී කියන තුනටම විශිෂ්ට ශ්‍රේණිය ලැබුණු ගායිකාවක්. ඉන්දියාවේ භාත්ඛණ්ඩ සරසවියෙන් පළමු ශ්‍රේණියේ සමර්ථයක් ලැබුණා. චිත්‍රපට පසුබිම් ගායනයට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපට සියයකට පමණ ගීත ගායනා කරලා තියෙනවා. තුන්වතාවක් සරසවි සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා.

ඒ හැමදේකදීම ඔබේ ආදරණීය සැමියා ඔබව ධෛර්යමත් කරන්න ඔබත් සමඟ සිටියා. එහෙම නේද...?

ඔව්. අනිවාර්යයෙන්ම. මේ හැමදේකදීම යෝධ සෙවනැල්ල වුණේ මගේ ස්වාමිපුරුෂයායි. එයාගේ නම ඇන්ටන් අල්විස්. ඔහු ගීත රචනා කරමින් මට අපූරු සහයෝගයක් ලබලා දුන්නා. ඔහුගේ ඇස්දෙකෙන් මම ලෝකය දැක්කා වගේ තමයි මට දැනෙන්නේ. මීට වසර එකහමාරකට උඩදි ඔහු ජීවිතයෙන් සමුගත්තා. මෙවැනි ප්‍රසංගයක් ගැන ඔහුගේ හිතෙත් කාලයක ඉඳන් තිබුණා. නමුත් මොකක්දෝ අවාසනාවකට ඔහු ජීවතුන් අතරේ ඉඳිද්දී ඒක කරගන්න මට ලැබුණේ නැහැ.

ඇන්ටන් අල්විස් මුණගැහුණේ කොහොමද?

එවකට ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්. ඔහු මට ගීතයක් රචනා කරගෙන ආවා. ඒ මුණගැහීම අවුරුදු දෙකක් විතර සාමාන්‍ය ඇසුරක් විදිහට තිබුණා. ඊට පස්සේ තමයි ඒක ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගියේ. අපි 1974 අවුරුද්දේ විවාහ වුණා.


ඔබ දරුවන් දෙදෙනෙක්ගේ මවක්?

ඔව්.... මගේ ලොකු පුතා බටහිර ආරේ ගීත ගායනා කරනවා. එයාගේ නම ප්‍රශාන්ත. දුව භරත නාට්‍ය ශිල්පිනියක්. දුව ජිතේන්ද්‍රිකා. පුතාගේ දරුවන් සංගිතයට ගොඩාක් ලැදියි. ඔවුන් විශාරද විභාගය පවා සමත්. දුවගේ පුංචි චිත්රුටත් දැන් ගායනා කරන්න පුළුවන්. එයා තාම පොඩියි.

මේ කලා පවුල එකට එකතු වුණාම මොනවද කරන්නේ?

අපි හැමෝම එකට එකතුවෙලා මේ සංගීත භාණ්ඩ වයමින් ගීත ගායනා කරනවා. ඒක දැන් අපිට පුරුද්දක් වගේ. මුණුපුරන් මිනිපිරියන්  හරි අපූරුවට ගයනා ගීත අහගෙන ඉන්න දැන් මම හරි ආසයි.

ඔබ කාලයක් වෘත්තියෙන් ගුරුවරියක් නේද?

ඔව්... අවුරුදු විසි එකක් මම ගුරු වෘත්තියේ යෙදුණා. මුලින්ම පානදුර සිරිසීවලී සහ වෑකඩ බෞද්ධාලෝක පාඨශාලා දෙකේම දින බෙදාගෙන වැඩ කළා. ඊට පස්සේ වත්තල රතනපාල මහා විද්‍යාලයේ ඉගැන්වූවා. වසර අටක් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළා.

රන්තාරකාවෝ ප්‍රසංගයෙන් පසුව මොනවද ඊළඟට තියෙන අලුත් නිර්මාණ....?

අපි මේ ප්‍රසංගය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදි ඒකට තව අලුත් නිර්මාණ එකතු කරමින් ප්‍රසංගය වර්ණවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ තරම් කාලයක් සී.ඩී. එකක් වෙළෙඳපොළට නිකුත් නොකරත් මගේ ආදරණීය රසික රසිකාවියන්ගේ ආදරය මේ තරම් දිනාගන්නට හැකිවිම ගැන මට ගොඩක් සතුටු වෙනවා.

Text - Jayamali   /   Pic -Internet