2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ජැක්සන් මාමා මට ඉස්කෝලේ වැඩත් කියල දුන්නා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 215

උදුම්බරා සිනමාපටයේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂිට අවස්ථාව  ලැබුණේ කොහොමද..?

මේ චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකල් තමයි මට කතා කළේ. උදුම්බරා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ සිරස ආයතනයනෙ. ඉතින් මීට කලින් මම සිරස ආයතනයේ වැඩ කිහිපයක්ම කරලා තිබුණා. ඒ නිසා ඒ හරහා තමයි චමන්ත්රාජ් අංකල් මට කතා ක‍ළේ. උදුම්බරා කියන්නෙ හරි ලස්සන චිත්‍රපටයක්. ඉතින් මම ඒ චිත්‍රපටයට හරිම ආසාවෙන් එකතු වුණා.

කැමරාව ඔබට ආධුනික නැහැ නේද..?

ඔව්.. නිර්මාණ කිහිපයකම මම මීට කලින් වැඩ කරලා තිබුණා. ටෙලිනාට්‍ය වගේම එක චිත්‍රපටයකටත් දායකවෙලා තියෙනවා. ඒ සුජාතා චිත්‍රපටය. ඒ නිසා උදුම්බරා කියන්නෙ මගේ දෙවැනි චිත්‍රපට නිර්මාණය. රංගනයට අමතරව මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සහභාගිවෙලා තියෙනවා.

අපිට හර්ෂිගේ පවුලේ විස්තර කියමුකො..?

මගේ පවුලේ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි අක්කයි අයියයි අත්තම්මයි විතරයි. උදුම්බරා චිත්‍රපටය රඟපාද්දී මට ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මාත් එක්ක තනියට මගේ අම්මා රූපගත කිරීම් කරන තැනට ගියා. නිදිමරාගෙන ඒ අය මම වෙනුවෙන් මහන්සි වුණා. මගේ අක්කා මට ඉස්කෝලෙදී අතපසු වුණු නෝට්ස් පවා ලියලා දුන්නා. මගේ අයියා මාව ළඟින් තියාගෙන ඒ පාඩම් කියලා දුන්නා. ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි උදුම්බරා චිත්‍රපටයට දායක වෙන්න මට පුළුවන් වුණේ. ඒ අය නැත්නම් ඇත්තටම අද මම මෙතැන නැහැ.

උදුම්බරා චිත්‍රපටයේදී ඔබට රඟපාන්න ලැබුණේ ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් එක්කයි. එවැනි ප්‍රවීණයන් එක්ක රඟපාද්දී ලැබුණු අත්දැකීම් කොහොමද..?

අම්මෝ.. ඒ ගැනනම් කියන්නම ඕනෙ. මම රඟපාපු පළමු චිත්‍රපටය වුණු සුජාතා චිත්‍රපටයෙත් මට රඟපාන්න ලැබුණේ දිල්හානි අශෝකමාලා මහත්මිය වගේ ප්‍රවීණ අය එක්කයි. දිල්හානි ආන්ටි වගේම මේ චිත්‍රපටයේ රඟපාන ජැක්සන් මාමා, සරත් අංකල්, ජයනි ආන්ටි මට ගොඩක් උදව් කළා. ජැක්සන් මාමා මාව දැකපු මුල්ම දවසේම මට කිව්වේ “මට මාමා කියන්න” කියලයි. ජැක්සන් මාමා ගොඩක් හොඳයි. මට ගොඩක් දේවල් කියලා දුන්නා. හරිම නිහතමානීයි. රූපගත කිරීම් නොකරන විවේක වෙලාවකදී වුණත් මට ඉස්කෝලෙ තියෙන පාඩමක ප්‍රශ්නයක් අහනවා. නැත්නම් වෙන දැනුමක් තියෙන දෙයක් මට කියලා දෙනවා. ජැක්සන් මාමාගේ දැනුම හරි විශාලයි. ඒ දැනුමෙන් පොඩි හරි දෙයක් ඒ හිටපු ටික කාලයේදී ජැක්සන් සර් මට කියලා දුන්නා.

ජයනි ආන්ටිව මට කලින් මුණගැහිලා තිබුණා. මම රඟපාපු “රුජිණියෝ” ටෙලිනාට්‍යයේ මගේ අම්මට රඟපාවෙත් ජයනි ආන්ටිමයි. ඒ නිසා මට ජයනි ආන්ටි හොඳට හුරුයි. ඒකත් එක්ක ෆිල්ම් එකේදීත් අම්මයි දුවයි විදිහට රඟපාන්න අපිට ලේසි වුණා.

හර්ෂි ඉගෙනගන්නෙ මොන පාසලේද..?

මම ඉගෙනගන්නෙ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙ. දැන් මම ඉන්නෙ දහය වසරේ. අපේ පාසලේ ප්‍රින්සිපල් මැඩම් මට මේ චිත්‍රපටයට යන්න අවසර දුන්නා. ඒ අවසරය නිසා තමයි මේකට යන්න පුළුවන් වුණේ. ගුරුවරු පවා මට සුබ පැතුවා. මගේ යාළුවෝ මේ චිත්‍රපටය බලලා තිබුණා. ඉතින්.. ඒ අය මගේ රංගනය අගය කළා. යාළුවෝ වුණත් මට මඟහැරුණු පාඩම් පිටපත් කරගන්න එයාලගේ පොත්පත් පවා මට ලබාදුන්නා. ගුරුවරු මට මඟහැරුණු සමහර පාඩම් ආයෙත් කියලා දුන්නා. ඒ වගේම මගේ පාසලත් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

උදුම්බරා චිත්‍රපටය දකිද්දී අද ඔබට මොකද හිතෙන්නෙ..?

ඇත්තටම ලොකු සතුටක් දැනුණා. හිතුවාටත් වඩා මම හොඳට රඟපාලා තියෙනවා කියලා බොහෝ දෙනා මට කිව්වා. ඇත්තටම මට සතුටුයි. උදුම්බරා කියන්නෙ හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින්.. එවැනි චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමත් මගේ වාසනාවක්.

හර්ෂි දිගටම රඟපාන්න කැමතිද..?

ඔව්.. දැන් මම රඟපාන්න ආසයි. හැබැයි ඒ හැමදෙයක්ම කරන්නෙ මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදියි. උදුම්බරා චිත්‍රපටය නිසා බොහෝ දෙනා මගේ රංගනය අගය කළා. ඉතින්.. මාව මේ චරිතයට තෝරාගැනීම සහ මගේ රංගනය හොඳට කරන්න මට උදව් කරපු හැමෝටම ස්තූති කරන්නම ඕනෙ. උදුම්බරා හරි ලස්සන චිත්‍රපටයක්. ඒකට දායක වෙන්න ලැබීම ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්.

Text - Dishani   /   Pic - Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00