මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අතගෙන ගිය වීදියෙ ඇය හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
පද රචනය - ප්‍රේම කීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා
එහෙත් අඬගසා කැටුව යා හැකි දුරක නොවේ ඔබ අද.. යන්න හිතුණත් ඔබ එක්ක... අතීත මංමාවත් දිග... මගේ ජීවිතයෙන් අනන්ත දුරක ඔබ අද.. එහෙයින් හුස්මක් වැටෙන තාක් යළි කිසිඳු දිනෙක මම ඔබට අඬනොගසමි... එහෙත් විශ්වාස කරන්න... ඔබ නැතුව ඔබ එක්ක අදත් මම ඇවිද යමි... හැඟීම්බර එක තත්ත්පරයක. ඒ වීදි දිග... සමාවුව මැන... දොසක් නොකියනු මැන.. මගේ වර්තමානය ඔබ නොවූ මුත්.. මගේ අනාගත සිහින තුළ නුඹේ සේයාවක්වත් නොමැති මුත්... පියාගත් නෙතු නැවත නොහරිමි අදට අයිති නැති එදා සිහින තුළ ඔබේ රුව ඇති නිසා මම... මා අබියස දිගහැරෙන මේ මොහොත තුළ... එන්න මා හා... සංසාර ගමන් මඟ යළිඳු එක ගමන් මඟක ඇවිද යන්නට ප්‍රාර්ථනා නැති හෙයින් ඇවිද ගිය ඒ අවසන් මාවතේ ඔබට මට අයිති මතක හා ඇවිදින්න... මා ප්‍රිය කළ ඔබේ සිනහවෙන් එක් වරක් මා නිවාලන්න... එන්න මා හා අදට හිමි නැති ඊයේ දවසට..
අයිතියක් නැති කාලයේ නිම්න දිග ඇවිද යන්නට අවසරයි මට... අවසර පතන්නේ කාගෙන්දැයි නොඅසන්න ඔබ.. නොකියමි මම...
කියන්න... අමතක වෙන්න හැටියක් නෑ ඔබට... ඒ සරසවි බිම.. රොබරෝසියා මල් නටුවෙන් සමුගෙන විත් පොළොව මත පලස් එලූ ඒ වසන්තය අමතක වෙන්න විදිහක් නෑ ඔබට... නැහැපුඬු අගිස්සක නැතිමුත් ඒ සුවඳ හදවතේ කොහේ හෝ ඉසව්වක තියෙනවාමයි ඒ සුවඳ.. එක බිඳක් හෝ ඉතිරිව.. එදා මට හිතුණෙ නෑ මොහොතකටවත් පොළොවට බර අඩියක් තියද්දී ඒ පයට පෑගෙන රොබරෝසියා මලකටත් රිදෙයි කියලා... රිදුණු දා මට මගේ හදවත දැනෙනවා මට රිදෙන වග වැලි කැටයකටත්.. මතකද මිහිදුම් ඇවිත් කොහේ හෝ ඈත කන්දක ඉඳන් සීතලත් අරගෙනම ඔබ මා ළය උණුසුමට තුරුල් කළ ඒ අළුපාට හැන්දෑවන්.. තැඹිලි පාට දම් පාට රෝස පාට පාට ගැහිච්චි වලාකුළු වියන් යට හන්තාන කන්දත් සෙවණැලි අඳින කණිසමේ අපි අපේ තත්ත්පර හොයාගෙන හොයාගෙන ගිය හැටි.. හන්තාන කඳු ශිඛරයට මුදුනතින් පුර හඳක් අඩ සඳක් හඳ නියපොත්තක් ආ හැම දවසකම කවියක් වෙසින් සපැමිණි හිරු ගිලෙන අවරගිරට අයිති අන්තිම තත්ත්පරය ආදරයේ ගීතිකා ගයන්නට තුරු පාමුලක උයන් කෙළවරක අපි දෙන්නට ඉඩ හදා දුන් හැටි..
මගේ නොවන මගේමත් නොවන කාගේදෝ හදවතක සිතුවිලි සොරාගෙන කවුරුන්දෝ වචන බවට පරිවර්තනය කර තිබුණි එලෙසින්.. කවදා හෝ දිනෙක කියවා තිබූ හෙයින් මමත් ලියා තැබුවෙමි මෙලෙසින්..
මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..
දෛවයෝගයකින් මෙන් මුණගැසුණු නගරයම වෙන්වීමේ ඉරණමත් ලියා තිබේ. මේ නගරය අප එක් කළ සංසාර නවාතැනයැයි මට හැඟේ. සම්ප්‍රයෝගයේ ප්‍රීතිය මෙන්ම විප්‍රයෝගයේ වේදනාව රැගෙන ආවේද ඒ නුවරමය. ප්‍රේමයෙන් දෙදෙනෙකු එක් කළ ඒ සතුටට නගරයේ වීදි අද්දර මහා ගස්වල මල් පිපී පලත් බරවුණායැයි සිතේ මට වෙනදාටත් වැඩියෙන්... ගසකට තුටින් බරවෙන්නටත් ආදරයේ කෙඳිරුම් හඬ හුස්මක් දෙන බැවින්.. දෙදෙනෙකු එක් කළ දින වසන්තයේ පැහැසරින් අසිරිමත් හැන්දෑවන් කැටුව ආ ඒ නගරය සමුගැනීමේ ගිවිසුමට අත්සන් තැබූ දා අසෙනි මහා වැහි දෙන්නට ඇතැයි සිතෙයි මට වෙන්වීමක ප්‍රකම්පනය දරනු නොහැකිව.. සොබාදහම චණ්ඩ මාරුත අසෙනි වැහි මහා කුණාටු ඇතිකරන්නේ තරු කැට අහසින් බිමට හෙලන්නේ ස්නේහයන් බිඳී ගිය වග හදවතට දැනුණු දාකයැයි මට සිතේ... තරු පිරුණු අහසක කොහේ හෝ හුදෙකලා ඉමක තනිවී පාළුවෙන් ඉකිගසන තරුවක් හදවතට මුරගා කියන්නේ ආදරයෙන් සුවපත් කරන්න මෙවැනි හදවත් වැනි පණිවිඩයක්යැයි මට සිතේ..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා
දිය රළ වැව් ඉවුර හා බැඳි සදාතනික ප්‍රේමයේ කෙළවරක් නැත.. වැව් දියත් හිඳී යන දවසක් වෙත්නම් ඒ දිනෙක හැර.. සිහිල බෙදන නුග ගස් පෙළ තාමත් බලාපොරොත්තු සමඟය.. නොඑසේනම් දලුලන්නට විදිහක් නැත... අප නැතත් ඒ නුග ගසේ කඳට වාරු වී අදටත් පෙම් බස් දොඩන ප්‍රේමවන්තයන් කොතෙකුත්ය. සාරෙට දලුලන ඒ නුග ගස් පෙළ නොකියා කියන්නේ ප්‍රේම කතා ස්වර සන්ධ්වනියේ හිඟයක් නැති බවය.. හමුවෙන දහසක් නෙත් අතර හමුවී බැඳෙන සියක් දහසක් හදවත් අතර නියත දහමට අවසඟව යා නොහැකිව කටු ගා දමන දහසක් ප්‍රේම කතන්දර අතර එකම එක් කතාවක් පමණි අප පෙම් කතාව.. ඉඳින් නොහඬාම බැරි වියෝවක් වෙනුවෙන්ම මිස හඬා කුමටදැයි විමසනවා වෙන්නට ඇත.. සොබාදහමත් මේ විදිහට
සරසවි බිම කඳුරුල්ලෙන් එතෙර පෙනෙනවා
කඳුරැල්ල අතීතය මුවාකළ වර්තමානයයැයි මට සිතේ... එහෙත් ඒ මහා කන්ද විනිවිද අතීත මතක ඡායා නැගී එයි.. සරසවි බිම ඒ මතක සන්ධානයේ සදාතනිකත්වයයි. සියල්ලට වඩා සිතුවිලි ඝනකම්යැයි ඉඳින් මට සිතේ.
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...
එල්ලෙන්නට සුලැඟිල්ලක ළඟක නැති වග පසක් වුණත් හදවතට, මතක මාවත් දුර හදවතින් නොඇවිදින මිනිසුන් සිටිත්ද?
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ප්‍රේමය නම් කිමැයි... විමසමි මම ඔබෙන්... තාත්තා වුණත් දවසක... ප්‍රේමවන්තයා නොවුණත් දවසක.. සොහොන් කොත් සදා මිහිදන් කළත් ප්‍රේමය මිහිදන් නොවූ එකම එක අංශුමාත්‍රික භෂ්මාවශේෂයක් නොතිබේද පෙම් කළ හදවතක.. පපුවේ හරි මැදක... කාටවත් නොහැඟෙන ගැඹුරක... ඉන් එහා ඉමක හිඳ ඒ ගී දෙපදය විචාරන්නට නොසිතේ මට.
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ප්‍රේමය මතකයක් පමණක් වූ දවසකත් මොහොතකට හෝ යළිත් සිහිපත් වන්නේ අද තමන් සන්තක කොටගෙන විඳින ප්‍රේමයක කවර හෝ හිස්තැන් හදවත සිඹින හෙයින්දැයි තවත් මොහොතක සිතෙයි මට... මක්නිසාදයත් හිස්තැනක් නොරුඳෙන තැනක යටගියාවක් වුවත් මතු වී යාවත්කාලීන වන්නට ඉඩ හසරක් කොහිදැයි ඇතුළු හදවත් විචාරණ හෙයිනි
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
අවසන බුදු සමිඳුන් වදාහළ අනිත්‍ය දහමේ සත්‍ය මට සිහිපත් වේ
සියල්ල ඇති වී නැති වී යන අනියත ලෝ දහමක පියවි ප්‍රකෘතියක ප්‍රේමයට පමණක් සදාකාලිකත්වයක මුදුන් මුල් කොහින්ද? ක්ෂණයක් ක්ෂණයක් පාසා අප අත්විඳින ගැඹුරු දහම වෙනස්වීම හා මරණයට පත්වීම මිස අන් කවරක්ද? මා මේ දකින මරණය සම්මුති මරණය තුළ ඔබ දකින මරණය නොවේ. බෞද්ධ දර්ශනය තුළ දාර්ශනිකත්වය විසින් විචාරණ මරණයයි. ඉඳින් අල්ලාගන්නා සියල්ල අත්හැර දැමිය යුතු නියත දහම අබියස
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර