2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

එයා හරියට පිරිසිදු ඇල්වතුර වීදුරුවක් වගේ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඔන්න ඉතින් අද වෙනකොට හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක් වෙන මේ දෙන්නාව අපි “එයයි මමයි” විශේෂාංගයට එකතු කරගත්තා.

සුමිරාන් කියන්න ද - අභිමාන් කියන්න ද...?

“නීල පබළු” ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ රංගන ජීවිතේ අවුරුදු පහකට පස්සෙයි. මම මුලින්ම රංගනයට එකතු වුණේ සුළඟ ටෙලි නාට්‍යයෙනි. ඒකේ පවන්ගේ චරිතය තුළින් තමයි මීට අවුරුදු අටකට කළින් මාව මිනිස්සු හඳුනාගත්තේ. ඊට පස්සේ තවත් ටෙලි නාට්‍යය දෙකක් කළා. හැබැයි අවුරුදු පහක් යනතුරු මම වෙනත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ.

ඇයි එහෙම වුණේ...?
මම වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබුහල වුණා. ඔය අතරතුරේදී ටෙලිනාට්‍ය දෙක තුනකට විතර මට ආරාධනා ලැබුණා... හැබැයි මට තෘප්තිමත් වෙන්න පුළුවන්, මට සැනසෙන්න පුළුවන් චරිතයක් මට ලැබුණේ නැහැ. ඒකාකාරි චරිතවලට තමයි මට ආරාධනා ලැබුණේ. වැඩිපුරම ආරාධනා ලැබුණේ බොළඳ ප්‍රේමවන්තයින්ගේ චරිතයි. හැමවෙලේම ගෑනු ළමයා ඉස්සරහට ගිහින් අඬන්න මම කැමති වුණේ නැහැ.

“නීල පබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද...?
ඒ ආරාධනාව මට ලැබුණේ සිරස ටී.වී. එක හරහායි. චන්දන සූරියබණ්ඩාර මහතා සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනයේ ලලිත් වසන්ත මහතාට හඳුන්වා දුන්නා. ලලිත් වසන්ත මහතා තමයි මේ අභිමාන් චරිතයට මාව තෝරා ගත්තේ. ඒවගේම සඳුන් අයියා මගේ උපරිමයෙන් අභිමාන්ගේ චරිතය කරන්න මට අවස්ථාව ලබාදෙනවා. මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජපක්ෂ මහතායි. ඉතින් ඒ අනුව තමයි “නීල පබළු” ටෙලිනාට්‍යයේ අභිමාන්ගේ චරිතයෙන් ආයෙමත් මාව රංගනයට එකතු කරගන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද...?

මම ටෙලිනාට්‍ය ජීවිතයේ ඉතාම පොඩි චරිතයක්... මම ටෙලිනාට්‍යය හතර පහක විතරයි රඟපාලා තියෙන්නේ. ඒ නිසා මට එහෙම ලොකු අත්දැකීම් නැහැ. හැබැයි මට මේ පුංචි නිර්මාණ ටික ඇතුළත ලැබෙන ප්‍රතිචාරත් එක්ක “නීල පබළු” ටෙලිනාට්‍යයේ අභිමාන්ගේ චරිතය මේ රටේ දුක්විඳින ජනතාවට යම්කිසි සහනයක් ගෙන එන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා බොහෝ පිරිසක් මට ආදරයත් කැමැත්තත් දක්වනවා.  

තනාෂා සහ සුමිරාන් මුලින්ම මුණගැහැන්නෙත් “නීල පබළු” හරහාමද...?

ඔව්... තනාෂායි මායි මුලින්ම මුණගැහෙන්නේත් “නීල පබළු” හරහාම තමයි. පළවෙනි දවසේ ෂූටිං ආවම තනාෂා වැඩිය මාත් එක්ක කතා කළේ නැහැ. පිටපතේ විදිහට රඟපෑවා එච්චරයි. වැඩිපුර කතා නැහැ. ඔහේ පැත්තකට වෙලා හිටියා. එයා එක පැත්තක ඉන්නවා. මම තව පැත්තක ඉන්නවා. මම ගෙදර ගිහිල්ලත් මගේ අම්මා, තාත්තා, බිරිඳ එක්කත් මේ ගැන කිව්වා. “ටිකක් අමුතුයි වගේ... වැඩිය කතා කරන්නෙත් නැහැ. මේ නාට්‍යය එහෙම කතා නොකර කොහොම කරන්න ද...” කියලා මම කිව්වා. 

දෙවැනි දවසේ ආයෙත් මම ෂූටිං ගියා. පළවෙනි දවසට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දවසක් වුණා. අද තනාෂායි මමයි කොච්චර එකමුතුද කියනවා නම් අද මගේ බිරිඳගේත් තනාෂා හොඳම හොඳ යාළුවෙක්. මම මගේ පවුලේ එකම දරුවා. ඉතින් මට සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැ. අවුරුදු විසි අටකට පස්සේ මට මගේ එක කුසේ උපන් සහෝදරියක් වගේ සහෝදරියක් ලැබුණා. ඒ තරමටම තනාෂා මගේ සහෝදරියක්. අපි හරි එකමුතුයි. ළෙංගතුයි. අද ඒ සහෝදරකම වචනවලින් කියන්න මට තේරෙන්නේ නැහැ. 

තනාෂා කොයි වගේ කෙනෙක්ද...?

තනාෂාව මම දකින්නේ පිරිසිදු ඇල්වතුර වීදුරුවක් වගේයි. ඒ තරමටම හරි පැහැදිලියි. හිතේ කිසිම කහටක් නැහැ. කුහකත්වයක් නැහැ. ඉරිසියාවක් නැහැ. හිතේ තියෙන දේ එයා කියනවා. නිදහසේ, සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් තමයි තනාෂා කියන්නේ. ලොකුවට අනාගත හීන නැහැ. “තව කෙනෙක් කපලා මම උඩට යනවා කියන පහත් සිතිවිලි තනාෂා ගාව නැහැ...” එයාට ලැබෙන දේ එයා හරියට කරනවා. ඒකෙන් තනාෂා තෘප්තිමත් වෙනවා. හරිම සරල, හරිම හොඳ, හරිම පැහැදිලි චරිතයක්.

කුරුලුගෙන් අභිමාන්ට ලැබෙන සහයෝගය කොහොමද...?

ඒ සහයෝගය ඉතාමත් ඉහළයි. රඟපාද්දී තිරය ඉදිරිපස දක්වන සහයෝගය වගේම රඟපෑමෙන් අනතුරුව තිරය පිටුපස්සේත් දෙන සහයෝගයත් ඉතාම වැදගත් වෙනවා. මේ දවස්වල “නීල පබළු” ටෙලිනාට්‍යයේ ප්‍රචාරක වැඩසටහන්වලටත් ඒ වගේ ලොකු සහයෝගයක් තනාෂාගෙන් ලැබෙනවා. තනාෂා කියන්නේ සෑම අතින්ම සහයෝගය දක්වන චරිතයක්. තනාෂා කියන්නේ පොළොවේ පය ගහලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙල්ලෙක්.

තනාෂාට කේන්ති යනවාද...?

තනාෂාට කේන්ති යන්නේ නැහැ. ඒක තමයි මම දැකපු තවත් හොඳ දෙයක් වන්නේ. තනාෂාව කේන්ති ගස්සවන්නත් හරි අමාරුයි. හැබැයි දුක හිතෙනවා. පොඩි වචනයක් එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

තනාෂාගේ රංගනයන් ගැන සුමිරාන්ට මොකද හිතෙන්නේ...?

තනාෂා චිත්‍රපටවල රඟපාලා තියෙනවා. හැබැයි තනාෂාගේ පළමු ටෙලිනාට්‍යය තමයි “නීල පබළු” කියන්නේ. ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා චරිතයක් තමයි තනාෂා කියන්නේ. තනාෂා පළවෙනි දවසේ ෂූටිං ඇවිත් මොකක් හරි අඩුපාඩුවක්, වැරැද්දක් වුණා නම් තනාෂා ඊළඟ දවසේ දී ෂූටිං එකට එන්නේ ඒ ඔක්කොම හදාගෙන. එයා උපරිමයෙන්ම උනන්දු වෙනවා. ඒ වගේම එයාට දෙබස් වරදින්නේ හරිම අඩුවෙන්. එයාට දෙබස් හොඳට මතකේ හිටිනවා. එයා හරිම කැපවීමෙන් තමයි නිර්මාණයකදී ඉන්නේ. ඒ මහන්සිය හා කැපවීම නිසා අද වෙද්දී “කුරැලු” චරිතය එයා හොඳට කරනවා.

රූගත කිරීමකදී අමනක නොවන සිදුවීමක් මතක් කළොත්...?

ඒ වගේ සිදුවීම් නම් වෙලා තියෙනවා. අපේ තේමා ගීතයට අපි රූගත කිරීම් කරද්දී තනාෂායි මායි බෝට්ටුවක් පැදගෙන ගිහින් බෝට්ටුවෙන් වැවට වැටෙන කොටසක් රූගත කිරීම් කරන්න තිබුණා. ඒ බෝට්ටුව පැදගෙන යද්දී ඇතිවෙච්චි බය, තාමත් මතකයි. තනාෂා යන ගමනුත් “සුමිරාන් අයියේ... දැන් අපි වැටෙයි ද...?” කිය කියා බයෙන් තමයි බෝට්ටුව පැදගෙන ගියේ. ඒකේ තැන් තැන්වල ගැඹුරු මඩ වළවල් පවා තිබ්බා. ඒ බෝට්ටුව වැටෙන කොටස සහ ඒක වැටුණට පස්සේ අපි ගතකරපු ඒ තප්පර කිහිපය ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

අභිමාන්ගෙන් ටිකක් මිදිලා අපි සුමිරාන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන ටිකක් කතා කරමු ද...?

සැබෑ ජීවිතේදී මම විවාහයකයි. මගේ බිරිඳගේ නම නවෝද්‍යා ජයමාන්න. ඕනෑම පෞද්ගලික ජීවිතේක වාසනාවක් තියෙනවා. මට මේ වෙනතුරු මගේ වාසනාව ගෙනාවේ මගේ අම්මා තාත්තා. ඊළඟට මට වාසනාව ගෙනාවේ මගේ බිරිඳ. එයා තමයි මේ ටෙලිනාට්‍ය කලාවට ආපසු මාව එවන්නේ. එයාට මාව ආයෙමත් ටී.වී. එකේ ඉන්නවා දකින්න ඕන වුණා. මගේ චරිතයට මම යම් සාධාරණයක් කරනවා නම් ඒකට ලොකු හේතුව තමයි මගේ බිරිඳ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා.

සුමිරාන්ගේ ජීවිතේ ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද...?

මම එකම චරිතය දිගටම කරන්න කැමති නැහැ. අභිමාන් කියන්නේ බොළඳ ප්‍රේමවන්තයෙන් නෙවේ. දැන් ඒ චරිතය මම එකපාරක් කළා. දෙවන පාර මම ඒවගේ චරිතයක් කරන්න ඕනවෙන්නේ නැහැ. ඒකට හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්න මම කැමතියි. හැබැයි එක පාරට මම කරන්නේ එක චරිතයක් විතරයි. හැමදාම හැමවෙලේම රූපවාහිනියෙන් දකිනවාට මම කැමති නැහැ.

ඔන්න ඉතින් කුරුලු ගැන සුමිරාන් එහෙම කියද්දී අභිමාන් ගැන තනාෂා මොකද කියන්නේ කියලා අපි බලමු ද...?

තනාෂා... “නීල පබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ කොහොම ද...?

“නීල පබළු” ටෙලිනාට්‍යයට මට ලලිත් වසන්ත අයියා තමයි ආරාධනා කළේ. මම මුලින්ම චිත්‍රපටවලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. මම මුලින්ම රඟපෑවේ “රන් දේදුන්න” කියන චිත්‍රපටේ. තවත් චිත්‍රපට තුනක් තිරගත වෙන්න තියෙනවා. ඒ නිසා චිත්‍රපට පැත්තෙන්ම ඉස්සරහට යනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒත් “නීල පබළු” ටෙලිනාට්‍යයේ කතාව ඇහුවට පස්සේ ඒ චරිතයට ආස හිතුණා. ඒ නිසා කුරුලු චරිතය හරිම සතුටින් බාරගත්තා.

“නීල පබළු” ටෙලිනාට්‍යයේ වැඩිපුරම රඟපාන්න ලැබෙන්නේ අභිමාන්ගේ චරිතයත් එක්කයි. සුමිරාන්ගේ ලැබෙන සහයෝගය කොහොමද...?

ඇත්තටම සුමිරාන් අයියා කියන්නේ හරිම හරි හොඳ වගේම සහෝදරයෙක් වගේමයි. රූගත කිරීම් කරද්දී සුමිරාන් අයියගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. මට බොහෝ දේවල් කියලා දෙනවා. ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට මම හරීම අලුත්. මට වඩා සුමිරාන් අයියා නිර්මාණ කිහිපයකම වැඩ කරලා තියෙන නිසා අත්දැකීම් බහුලයි. ඒ නිසා එයාගෙන් මට ඉගෙන ගන්න තියෙනවා වැඩියි.

සුමිරාන් මොන වගේ කෙනෙක්ද...?

සුමිරාන් කියන්නේ අභිමාන් කියන චරිතයට වඩා එහා පැත්තට ගිය ටිකක් වෙනස් චරිතයක්. හරිම මිත්‍රශීලීයි. ඒ වගේම වැඩ කරන්න ගොඩාක් ලේසියි. අභිමාන් කියන චරිතය වගේ රළු චරිතයක් නෙවෙයි. එයාගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි.

ඇයි තනාෂා වතුරට ඔච්චර බය...?

අනේ... ඔය කියන්නේ අර බෝට්ටු සහ දර්ශනය ගැනනේ. එදා නම් මම හරියට බය වුණා. ඒත්... සුමිරාන් අයියා හැමවෙලේම කිව්වේ බය වෙන්න එපා. අපිට කොහොම හරි කරමු කියලයි. හැබැයි සමහර වෙලාවට මටත් වඩා සුමිරාන් අයියා බයවෙලයි හිටියේ. ඒක අපිට අමතක නොවන සිදුවීමක්. 

රූගත කිරීම් කරද්දී ලැබෙන පොඩි විවේක වෙලාවට කට්ටිය මොකද කරන්නේ...?

ඒ වගේ වෙලාවට කට්ටිය එකතුවෙලා කාව හරි අල්ලගෙන බයිට් කරනවා. “නීල පබළු” ටෙලිනාට්‍යය අපේ සම වයසේ අය කිහිපදෙනෙක්ම ඉන්නවා. රයන් අයියා ඉන්න වෙලාවට ඉතින් හිනාවෙලාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ.

තනාෂාගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද...?

“නීල පබළු” ටෙලිනාට්‍යය නිසා හිතුවෙවත් නැති විදිහට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් ඉදිරියට ටෙලිනාට්‍යය ආරාධනා කිහිපයක් ලැබුණා. “නීල පබළු” නිසා කාර්යබහුල වෙලා තියෙන නිසා වෙනත් නිර්මාණයක් තාම බාරගත්තේ නැහැ. “නීල පබළු” ටෙලිනාට්‍යය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කළා.

Text - Dishani   /   Pic – Sumudu

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00