2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ඩිකියෙවත් බඩු නෑලු..

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

කොළඹදී පැවැත්වීමට නියමිත එක්තරා ප්‍රණාම උළෙලක් වෙනුවෙන් අදාළ සංගීතවේදියා නිර්මාණය කළ ගීත ගායනා කරන්නට අලුත් මෙන්ම ප්‍රවීණ ශිල්පීන්ට ආරාධනා කරලා තිබුණා.

සංගීත කණ්ඩායමත් සමඟ පුහුණුවීම් සැසිවාර තුන හතරකුත් යොදාගෙන තිබුණලු. මුදල් නොගෙවන වැඩක් නිසාදෝ මන්දා කට්ටිය වැඩේට ආවෙ හරිම අලසකමින්ලු.

ඒත් කැපවීමෙන් ආපු අයත් හිටියා.
ඇයි බං අපි මේවට එන්නෙ සල්ලි බලාගෙන නෙවෙයිනෙ. ඒ වුණාට අඩුම ගාණෙ අපි ගැන දන්න කට්ටිය ඩිකියෙවත් මොකුත් ලෑස්ති කරලා නැහැනෙ, කියමින් මළ පැන්න එක්තරා ශිල්පියෙක් එතැනින් මාරුවුණාලු.

 

පුටුව දුන්නට කෙල්ලට බැණුම්..

පහුගිය දවසක එක්තරා අලුත් චිත්‍රපටයක රූපගත කිරීමක් තිබුණෙ කොළඹ ජනාකීර්ණ පෙදෙසක. එහි සිටි නළු නිළියන්ට හරියට වාඩිවෙන්නවත් ළඟ පාතක හරිහැටි ඉඩක් තිබුණෙ නැහැ.
ළඟ පාතක තිබුණු කඩේක පුටු දෙක තුනක තමයි කට්ටිය වාඩිවෙලා හිටියෙ. වැඩි දෙනෙක් හිටියෙ හිටගෙන. වාඩිවෙලා හිටියෙනම් නවකයො.

එක්තරා ප්‍රවීණ ශිල්පියෙක් දැක්ක ගමන් වාඩිවෙලා හිටිය එක් ශිල්පිනියක් පුටුවෙන් නැඟිටලා ඒ අසුන ප්‍රවීණ ශිල්පියාට පිරිනැමුවා. ඒ සිද්ධිය දැක්ක තවත් නවක ශිල්පිනියක් මේ අසුන පිරිනමපු කෙල්ලව පැත්තකට කතා කරගෙන ගිහින් හොඳ ලෙක්චර් එකක් දුන්නලු.

අනේ අක්කේ, ඒ වුණාට එයා ප්‍රවීණයෙක්නෙ. මම කොහොමද එයා ඉස්සරහ වාඩිවෙලා ඉන්නෙ. ඒ අය රඟපාන්න එනකොට අපි ඉපදිලාවත් නැහැනෙ..
අනේ මේ උඹේ ඒ පැහිච්චකම්වලින් වැඩක් නැහැ. තමුසෙ කරන වැඩවලින් අපටයි පාඩුවෙන්නෙ. මම නම් ජාතික ගීය වාදනය වෙනකොටත් වටපිට බලලා තමයි හිටගන්නෙ. නැත්තම් ඒ පුටුවත් නැතිවෙයි.

 

මේක පුදුම ලෝකයක්

අනුන්ගෙ සින්දු තමන්ගෙ කරගෙන ගායනා කරන ජාවාරමනම් ගජරාමෙට කට්ටිය කරගෙන යනවා. මොන නීති ගෙනාවත් ඒවා අස්සෙන් රිංගලා යන්න අපේ කට්ටිය දන්නවනෙ.
එක්තරා ප්‍රවීණ ගායන ශිල්පියෙක් ළඟදි කියපු කතාවක් අහලා ඇත්තටම අපට ඇතිවුණේ දුකකට වඩා තරහක්.

එකම වේදිකාවෙ සින්දු කියන්න යනකොට ඒ ප්‍රවීණ ගායන ශිල්පියාගෙ ගීත තවත් නවක ශිල්පියෙකුත් තමන්ගෙ වගේ ගායනා කරනවලු.
ලස්සනම වැඩේ කියන්නෙ අර ප්‍රවීණ ශිල්පියාට ගෙවන ගාණට වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් අර අනුන්ගෙ සින්දු කියපු එකාට ගෙවනවලු.
ප්‍රසංග සංවිධායකයොයැයි කියාගන්නා කට්ටිය මේ ගැන අවධානය යොමුකරනවනම් හොඳයි.

 

► Text - Mithra

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00