දාන පාරමිතා පුරන
බෝධි සත්ත්ව වෘක්ෂය නුඹ
නසනු රිසින් වැළඳ නුඹව
සපැමිණි දුක් පිළිලය මම
මම එහෙම ලිව්වා... දවසක් දා... හැම පිළිලයක්ම පිළිකාවක්ද? මම එහෙම අහද්දී එදා නිහඬව හිටපු සොබාදහම මට එදා ප්‍රශ්නයට උත්තර දුන්නා දවසක... පොළොන්නරුවේ පරාක්‍රම රජුගේ එදා සත්මහල් ප්‍රාසාදය තිබුණේ යැයි කියන බිමේ සැරිසරපු දවසක මගේ හිත එක තැනක නැවතුණා. ඒ මහා ගහක් ළඟ... ජීවිතේ දුක සතුට සංකාව වේදනාව බෙදාගන්න කෙනෙක් නැත්නම් තමන්ටම කියලා... ඔයාට ඔයාගේ හිත කියවන්න කෙනෙක් ඔයාගේ ජීවිතයේ නැත්නම් මහා ගහක කඳට හිස හේත්තු කරගන්න... ජීවිතයේ සියල්ල බෙදාගන්න කෙනෙක්ගේ උරහිසක ඔළුව තියාගත්තම දැනෙන සැනසිල්ල ඔයාට දැනෙයි. අහන්න.... මගේ ජීවිතේ අහම්බෙන් දවසක දුටු ඒ මහා ගහ දිහා මම බලාගෙන හිටියේ මින් පෙර හිතට ගොඩ නොවෙච්ච මහා අමුතුම හැඟීමකින්... සංසාර වීදි දිගේ ආව මඟතොට මෙහෙම ගස් කොච්චර මඟ දෙපස හමුවී ඇද්ද? කියන්න දන්නෙ කවුද?
ඒත් ජීවිතේ දැක්ක හැම ගහකටම වඩා මේ ගහ හරි වෙනස්... එයා මිත්‍රත්වය ගැන... පරාර්ථය ගැන අමුතුම පාඩමක් කියාදුන්නා මට... ඉඩදෙන්න... හදවතෙන් ජීවයක් ඉල්ලන හැම හුස්මකටම... නොවෙනස්ව ළඟ ඉන්නවා නම් නොරිදා නොනසා අතු අගිස්සක ළදල්ලක් තරම්වත්... එයා කියලා දෙන්නේ එහෙම කතාවක්...
මහ බෝ ගසක් වසාගෙන වෙළී තල් ගහක්. ඒ බෝ ගසයි තල් ගසයි එක්ක ඇහැටු වර්ගයේ තවත් ගස් දෙකක්... මහා කඳ බෝ ගසේ... ඒ කඳට වාරු වී තල් ගසක් ඇහැටු ගස් දෙකක්... එක හදවතක් එක හුස්මක් එක්ක සොබාදහමේ සියල්ල හැම ඇහැටු කොළයක්ම බෝ කොළයක්ම තල් කොළයක්ම බෙදාගන්නවා. ඒ හැම කොළයක් අග්ගිස්සෙන්ම මොකක්දෝ සතුටක් හිතුවක්කාරකමක් වෑස්සෙනවා. ප්‍රකෘතිය විකෘතිය කියලා දෙයක් කොහෙද? සම්මතයක් අසම්මතයක් කියලා දෙයක් නෑ. මේ ලෝකයේ මිනිසා විසින් නිර්මාණය කළ හැම සංකල්පයක්ම සාපේක්ෂයි... නිරපේක්ෂක කිසිවක් මේ ලෝකයේ නෑ. ගසක් වෙත ඇවිත් දැවටෙන ශාකයක් ලෝකයට අනුව පිළිලයක්. ඒ පිළිලය පිළිකාවක් වගේ ජීවය දෙන ඒ මහා ගහම ප්‍රාණ නිරුද්ධ කරනවා. මිනිස්සු මැවූ ඒ සංකල්පය සොබාදහම බොරුවක් කරනවා. සොබාදහම හැමවිටම ඉන්නේ මිනිස් චින්තනයට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. සොබාදහමත් එක්ක අංශු මාත්‍රයකින්වත් ළං වෙන්න මිනිස්සුන්ට බෑ. මට හිතෙන්නෙ එහෙම. බෝ,තල්,ඇහැටු මේ එකතුව සියල්ල බෙදාගන්නේ පුදුමාකාර ස්නේහයකින්. අව්ව වැස්ස හිරු කිරණ සඳ එළිය මේ හැමදේම උන් එකට විඳගෙන මිතුරු හිතකින් බෙදාගන්නේ ජීවනය...
ඒත් ඒ ගහේ හිස තියාගෙන මට මෙහෙම කියන්න හිතෙනවා.
මිතුරු මිතුරියන්ට...
දරුවන්ට
මේ අහන්න ලෝකයටම ආදරය කරන්න පුළුවන් එක විදිහකට
ඒත් තමන්ගේම ජීවිතය කරගෙන ආදරය කරන්න පුළුවන් එක්කෙනෙකුටම විතරයි. ආත්මගත සංසාර හුස්මක් බවට පත් කරගන්න පුළුවන් එක්කෙනෙක්ම විතරයි. ඔව් එක්කෙනෙක්ම විතරයි....
ඒ ආදරය බෙදන්න බෑ....
ආදරයෙදි සොබාදහම තරම් නිර්ලෝභී වෙන්න පරිත්‍යාගශීලී වෙන්න කවදාවත් මිනිස්සුන්ට බෑ. ජීවිතයම බෙදාගත්තත් ජීවිතයම කරගත්ත ආදරය බෙදාගන්න මිනිස්සුන්ට බෑ....
නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන සොබාදහමේ බෝධි සත්වයන් වෙන්න මිනිස්සුන්ට බෑ.