අන්තර්ජාලය එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය කියන්නෙ ලෝකෙ කොයි කොණේ හිටියත් අපිට ලෝකයම මුණගැහෙන්න පුළුවන් තැනක්. ෆේස්බුක්, ට්විටර්, යූ ට්යුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ එක එක නම් තියෙන සමාජ මාධ්‍ය හැම එකකින්ම කරන්නේ ලෝකෙ වටේ ඉන්න අයව එකට යා කරන එකයි. කොටින්ම බොලිවුඩයේ හරි හොලිවුඩයේ හරි ඉන්න සුපිරි නළුවෙක් හරි නිළියක් හරි දවල්ට කෑවෙ මොනවද කියන දේ පවා අපිට මේ සමාජ මාධ්‍ය හරහා දැකගන්න පුළුවන්. ඒවා තමයි සමාජ මාධ්‍යවලින් මිනිස්සු දකින්න කැමැති, ආසා කරන දේවල්. හැබැයි මේ කියන්න හදන්නේ සමාජ මාධ්‍යවලට රිංගපු පාතාල ගැන්සියක් ගැනයි.
ඔව්. නළු නිළියෝ තමන්ගේ ලස්සන පින්තූර සමාජ මාධ්‍යවලට දානවා වගේ යුරෝපෙ ඉන්න පාතාල කල්ලිත් දැන් දැන් තමන්ගේ පින්තූර සමාජ මාධ්‍යවලට මුදාහරින්න පටන් අරන්. ඒකෙදි මුල්තැන අරන් ඉන්නේ හෙල්බනිසන්ස් කියන නැගෙනහිර ලන්ඩනයේ ඉන්න සුප්‍රකට පාතාල කණ්ඩායමක්. ඇල්බේනියානුවන්ගෙන් සෑදුණු මේ පාතාල කණ්ඩායමට ඇල්බේනියානු පාතාල මාෆියාව එක්ක සම්බන්ධකම් තියෙන බවටත් ආරංචියි.
හෙල්බනිසන්ස් කියන්නේ කොච්චර දරුණු පාතාල කණ්ඩායමක්ද කිව්වොත් ලන්ඩනයේ කොකේන් ඇතුළු මත්කුඩු වෙළඳාම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙයාලයි. එයාලා දකුණු ඇමෙරිකාවේ ඉන්න මත්ද්‍රව්‍ය නියෝජිතයන්ගෙන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන්වගෙන ලන්ඩනයේ ලොකු මත්ද්‍රව්‍ය අධිකාරියක් පවත්වගෙන යන බව ප්‍රසිද්ධ රහසක්.
මේ තරම් දරුණු ඒ වගේම පොලිසියේ උකුසු ඇසට වහන්වෙලා ඉන්න ඕන හෙල්බනිසන්ස් පාතාල කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්ස්ටර්ග්‍රෑම් එකේ තමන් වෙනුවෙන් පිටුවක් තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වේවි. ඒත් ඒක තමයි ඇත්ත. පින්තූර අටදාහක් විතර තියෙන මේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ, පාතාල ගැන්සියේ සාමාජිකයන්ගේ පින්තූර, එයාලා ගාව තියෙන මිලාධික සුඛෝපභෝගී මෝටර් රථ, අවි ආයුධ, මුදල්, රත්තරන් බඩු වගේ ගොඩක් දේවල්වල පින්තූර මුදාහැරලා තියෙනවා. ඒ විතරක් නෙමේ දැනට හිරගතවෙලා ඉන්න එයාලගේ පාතාල සාමාජිකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා කරපු රැප් වීඩියෝවකුත් මේ පිටුවට එකතු කරලා තියෙනවා.
කොහොම වුණත් හෙල්බනිසන්ස්ලා තමන් ගැන ලොකු තක්සේරුවකින් ඉන්න බව නම් එයාලගෙ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒකෙ සඳහන් විදිහට එයාලා තමයි මේ වෙද්දි ලන්ඩනය පාලනය කරන්නෙ. ඒකට විරැද්ධව ඉස්සරහට එන වෙනත් ඕනම පාතාල ගැන්සියක් එක්ක යුද වදින්න තමන් සූදානම් කියලත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. තමන්ව වීථියේ දෙවිවරැ කියලා හඳුන්වගන්න මේ පාතාල සාමාජිකයෝ සුපිරි මෝටර් රථ වගේම සුරූපි තරුණියන් සමඟ ගත් ඡායාරූපත් එහි දකින්න ලැබෙනවා.
පුදුමේ කියන්නේ මේ සමාජ මාධ්‍ය පිටුව හැමකෙනෙක්ටම විවෘත වුණු පිටුවක් වීමයි. කොටින්ම එංගලන්ත පොලිසියේ, ඒ කියන්නෙ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ නිලධාරීන්ට පවා මේ පිටුවේ තියෙන දේවල් බලන්න පුළුවන් වීමයි. ඉතින් මේ විදිහට විවෘතව ක්‍රියාත්මක වෙන්න තරම් හයියක් හෙල්බනිසන්ස් පාතාලයින්ට ලැබිලා තියෙන්නෙ කොහොමද කියන එකත් ලොකු පුදුමයක්.
ඩේලිමේල් ඇසුරෙන්
► Text — Suranga