2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

මට මාව නැතිවුණාද හිතෙනවා

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 223

Art එකේ කැරට්ටුව..

Dinesh සමඟ Danushka 

ඈත එපිට ගම්මානයකින්.... කඳු මුදුන් අග්ගිස්සෙන් හැපි හැපී සුළං රුල්ලක වෙලි වෙලී ආවා නෙවෙයි ඒ වයලීනයේ හඬ...
නිවාලන්න මා මනස.....
කොපුල් මත සැත්කම් කරන සංවේදී හැම ස්නායුවක්ම උඩට ඉස්සෙන ඇහි බැම්මකින් පවා කියන්නේ එකම එක කතාවක් විතරයි....

ඔහුගේ ප්‍රාණය සංගීතය...
ඔහුගේ ආත්මය වයලීනය....
මට හිතෙන්නේ නොසිතන මොහොතක එක අහම්බයකදී වුව දෙවියන් මවන ප්‍රකම්පනය සංගීතයයි....
මවන නාද රූ හැඩතල නිය අගිස්සකින් පවා වගුරුවන ඒ වයලීනයේ අයිතිකාරයාට එන්න කියන්න මට හිතුණේ.... ඔහු වයලීනයට ආදරය කරද්දී ඔහු වයලීනයෙන් වයන ස සිට නි යන්න දක්වා අප ගෙන යන අනන්තයේ සෑම අංශුමාත්‍රයකටම මම ආදරය කරන හින්දා.....

දිනේෂ්.... දිනේෂ් සුබසිංහ.... ඒ කීවේ ඔයා ගැන....

දිනේෂ් මොකද වෙන්නෙ ඉතින්....?
පහුගිය දවස්වල පිටරට සංචාරයක් යන්න වුණා. ඒ ගිහින් ඇවිල්ලා අලුත් ටෙලිනාට්‍යයක් සහ චිත්‍රපටයක සංගීතය කරමින් ඉන්නෙ. ප්‍රසංග කිහිපයකම සංගීතය මෙහෙයවීමේ කටයුතු ඉදිරියේදී තියෙනවා... ඒවත් එකක් කාර්යබහුල වෙලා ඉන්නවා... ඒ කාර්ය බහුලත්වයත් එක්කම මට ඇරුණ මගේ ජීවිතය ජීවිතය මට මඟඇරිලා ගිහිල්ලා කියලා තමයි මට හිතෙන්නේ... එහෙම බලපුවාම මට ඇරුණු මගේ ජීවිතය අසාර්ථකයිද කියලා මට හිතෙනවා. ඇත්තම කිව්වොත් මගේ මුළු ජීවිතයම දැන් සංගීතයයි....

හරි එහෙනම් නමෝ විත්තියෙන් වැඩේට බහිමුද...? දිනේෂ්ගේ ජීවිතයට සමීපවුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද? 
මගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරපු සහ මගේ ජීවිතය පැති ගොඩකට අරගෙන ගියපු ආගමික නිර්මාණ දෙකක් තියෙනවා. එකක් තමයි මහාභාරතය සහ භගවත් ගීතාවලිය, අනිත් එක තමයි ශුද්ධ වූ බයිබලය. මේ කෘති දෙක ගැනම මම ලොකු අධ්‍යනයක් කළා. ඒ දෙක ඇරුණාම මම තවත්  ගොඩක් ආදරය කරන ලාංකික නිර්මාණයක් තමයි ගම්පෙරළිය කෘතිය... ඒ අතරින් අද මම කතාකරන්න තෝරගන්නවා භගවත් ගීතාවලිය කියන කෘතිය. ඒකට හේතුව තමයි මිනිසාව මොරාල් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් වැටිච්චි මනුස්සයෙක්ව නැගිටුවන්න පුළුවන් ප්‍රඥාව අවදිකරගන්න කැමති මනුස්සයෙක්ට යමක් ගන්න තියෙන කෘතියක් හැටියට මම දකිනවා මහා භාරතය කියන ඉතිහාස පරිසරය තුළ ලෝකෙට බිහිවෙන භගවත් ගීතාවලිය කියන කෘතිය.

මේ කෘතිය රචනා වෙන්නේ ඉන්දියානු සාහිත්‍ය අනුසාරයෙන්. මහා භාරතය කියන ඉතිහාස පරිසරය ඇසුරැ කරගෙන නිර්මාණය වන භගවත් ගීතාවලිය කෘතියට මූලික වෙන්නෙ අතිශය ප්‍රතිපත්තිගරැක මිනිසුන් ජීවත් වෙච්ච කාලයක්. ඒ ප්‍රතිපත්තිවලින් ස්වභාව ධර්මයට පවා බලපෑමක් කරන්න පුළුවන් වුණා. සරලව කිව්වොත් අපි සත්‍යයක් ක්‍රියා කියන්නෙ.. ඒ තුළින් විශ්වය පවා කම්පනය කරන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. 

මහා භාරතයේ සඳහන් වෙන ආකාරයට ක්‍රිෂ්ණා දෙවියන් අර්ජුනට තමයි භගවත් ගීතාව දේශනා කරන්නෙ... ක්‍රිෂ්ණා දෙවින් මේ මහපොළොවේ වැඩ වාසය කරපු යුගයේ පාණ්ඩව කුමාරවරු පස්දෙනක් ජීවත්වෙනවා... ක්‍රිෂ්ණා ඒ පාණ්ඩව කුමාරවරැ පස්දෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගන්නවා... මේ පාණ්ඩව කුමාරවරුන්ගේ සහෝදර ඥාතීන් පිරිසක් හිටියා කෞරව කුමාරවරුන් කියලා. මේ දෙගොල්ලන්ටම සිංහාසනයේ උරුමයක් තිබුණා... මොකද මේ දෙගොල්ලන්ගේ මව්වරුන් විතරයි වෙනසක් තිබුණේ. පිය පාර්ශ්වය එකමයි..  මේ පරම්පරා දෙක අතර ධර්ම සහ අධර්මය පිළිබද මත ගැටුමක් ඇතිවෙනවා. මේ දෙගොල්ලොම ධාර්මිකව ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙච්ච අය. කොහොම හරි සිංහාසනයට තිබිච්ච බලලෝභය නිසා මහා යුද්ධයකට යන්න සිද්ධ වෙනවා. මේක ඉන්දියාවේ මිනිස්සු හඳුන්වන්නේ ධර්ම යුද්ධයක් කියලා. ඒකට හේතුව තමා කෞරව රාජ්‍යයේ අය විසින් පාණ්ඩව රාජ්‍යයේ අයව පෝෂණය කළා... පාණ්ඩවයනුත් එහෙමයි.. මේ දෙගොල්ලොම ඉතා සුහදව ධාර්මිකව හිටපු අයනේ... රාජ්‍ය රැකගැනීම දැඩි ප්‍රතිපත්ති නිසා මේ දෙගොල්ලන්ට යුද්ධය කියන අවසන් අවස්ථාවට යන්න සිද්ධවෙනවා. අර්ජුන කියන්නේ පාණ්ඩවයන්ගේ නායකයා ඔහු හරි දක්ෂ දුනුවායෙක්... දුනු ශිල්පයෙන් ඔහුව අභිබවා යන්න කිසිකෙනෙක් සිටියේ නෑ... අර්ජුනට සිද්ධවෙනවා තමන්ට උදව්කරපු ගුරුවරුන්ට ඥාතීන්ට එරෙහිව තමන්ගේම දුන්න පාවිච්චි කරන්න. ඔහුට ඒක දරාගන්න බැරිවෙනවා. ඔහු අධෙර්යයට පත්වෙලා අඩපණ වෙලා ඉන්න මොහොතේ වාසනාවකට වගේ ඔහුගේ යුද රථය පදවන්න  පැමිණෙන්නේ ක්‍රිෂ්ණා දෙවියන්.... මේක හරි රසවත් කතාවක්...   ක්‍රිෂ්ණා දෙවියන් අර්ජුනට කියනවා මේ මොහොතෙදි තමයි ප්‍රඥාව අවදිකරන්න ඕන කියලා.  තමා කරන ක්‍රියාව ඇතුළත, නැත්නම් රාජකාරිය තුළදී හැඟීම ගාවගන්න එපා. ඒ ක්‍රියාව නැත්නම් කර්මය පමණක් හරි ආකාරයට කරන්න කියලා ඉතා උත්තරීතර දේශන මාලාවක් ක්‍රිෂ්ණා දෙවියන් විසින් දේශනා කිරීම තමයි භගවත් ගීතාව කියන්නෙ... ඒ කතාව මගේ පපුවට දැඩි ලෙස වදින්න ගත්තා... මට මේ කතාවට ගොඩක් සමීපවෙන්න හේතුවත් ඒකමයි. 

මේ පොත ගැන විස්තර හොයන්න ඕනෙ මේ පොත කියවන්න ඕනෙ කියලා අදහස දිනේෂ්ට ඇතිවුණේ කොහොමද?
ඉස්සෙල්ලාම මම වී.ආර්. චොප්රා කියන නිර්මාණවේදියා විසින් කරපු මහාභාරතය කියන ටී.වී. සීරිස් එක නැරඹුවා. එතනදී තමයි මට මුලින් මේක ගැන ආශාවක් ඇතිවුණේ... ඊටපස්සෙ මම ඉන්දියාවට ගියා ඒ.ආර්. රහුමාන් සර්ගෙන් සංගීතය ඉගෙනගන්න. එතනදීමට මුණගැහුණා ක්‍රිෂ්ණ දෙවින් පිළිබඳ දැඩි භක්තියක් තියෙන මිත්‍රයෙක්.. ඒ අය සමඟ රාත්‍රී කාලවලදී සුහදව අපි කතාකරපු දේවලුත් එක්ක මට ආස හිතෙනවා මේ ගැන වැඩිදුර හොයන්න.. මේ සිද්ධි සිද්ධවෙච්ච තැන්වලට පවා මම ගිහින් සොයාබලන තරමටම මට භගවත් ගීතාව, මහාභාරතය ගැන උනන්දුවක් ඇතිවුණා. ඊටපස්සෙ තමයි මේ පොත කියවන්න මම පෙළඹෙන්නෙ... පස්සෙ මට තේරුණා මනසින් වැටිච්ච කෙනෙක් හරි, මනසින් අන්ධ වෙච්ච කෙනෙක් හරි නැත්නම් බැඳීම් එකක් උග්‍රව ජීවත්වෙන කෙනෙක්ට හරි තමන්ගේ මොරාල් එක උස්සගන්න, නැත්නම් මැරීගෙන යන හැඟීම් උත්තේජනය කරගන්න පුළුවන් සර්වකාලීන කෘතියක් තමයි මේ භගවත් ගීතාව කියන්නෙ කියලා.  

භගවත් ගීතාව කියවද්දී මතකයෙන් ගිලිහී නොයන තැන් එහෙම තියෙන්න ඇති. එකක් දෙකක් මතක් කරමුද දිනේෂ්...?

අපෝ ඔව් එහෙම තැන් ගොඩක් තියෙනවා. එක තැනක කියනවා ක්‍රිෂ්ණා දෙවියන්  ප්‍රතිඵලය නොසිතා වපුරන්න, රැකියාව පූජාවක් ලෙස කරන්න. මම අත්දැකපු දෙයක් තමයි ගොඩක් අය ඉන්නවා මනසින් වැටිලා. ඒ අය හිතනවා අපි හරි අවාසනාවන්තයි. අපිට මේ දෙවල් නෑ. අරයට අරවා තියෙනවා මේවා තියෙනවා කියලා. අපි කර්ම ගෙවන  අමාරු කාලයක් තියෙනවා. අපිට තව කාලයක් තියෙනවා කර්මයේ ප්‍රතිඵල එන හොඳ කාලය. ඒ වගේම මැද මාවතේ යන කාලෙකුත් තියෙනවා... ක්‍රිෂ්ණා දෙවියන් කියනා මේ කුමන කාලෙක වුවත් ප්‍රතිඵල නොසිතා වපුරන්න කියලා. රැකියාව පූජාවක් ලෙස කරන්න කියන එක මම ප්‍රායෝගිකව හුරුකරන දෙයක්. මොකද මම ඉස්සර වයලීනය වාදනය කරේ කාවහරි පුදුම කරන්න කාගෙ හරි ආකර්ෂණයක් ගන්න. මිනිස්සුන්ගේ හදවත්වලින් ලැබුණු ආශිර්වාද අඩුයි. ඒත් මට යම් යම් ජයග්‍රහණ ලැබුණා... ඒත් දැන් මම එහෙම කරන්නෙ නෑ..  දැන් මම නිර්මාණයක් කරද්දී විශ්වීය යාතිකාවක් කරනවා. මගේ මේ නිර්මාණයෙන් මේ මිනිස්සුන්ගේ ජීවිතවලට අරුතක්, ආලෝකයක් ලැබේවා කියලා. අපේ හිත්වල ඇතිවෙන ඉරිසියා, කුහකකම්වලට දිව්‍ය ඖෂධයක් මේ පොත... තව කාරණයක් කියන්න ඕනෙ. එක එක තර්ක ගොඩක් මේ පොතට ඇති වුණා... මොකද ක්‍රිෂ්ණා මේ කරන දේශනාව නිසා  යුද්ධයට උඩගෙඩි දීමක් සිද්ධවෙලාද කියලා... කොහොම වුණත් ඒ මොහොතේ වෙන සිද්ධියකට තමයි ක්‍රිෂ්ණා මේ දේශනාව ඉදිරිපත් කරන්නෙ. නමුත් මේ ක්‍රිෂ්ණා දෙවියන් ඉදිරිපත් කරන දර්ශනය සමස්ත මානව සමාජයටම යහපතක් කරනවා.

වයලීනයෙන් නැගෙන, රැව් පිළිරැව් දී ඇසෙන පැහැදුල් සංධ්වනිය තනි මටම දිනේෂ්ගේ සිතුවිලි දහරාවත් ගැඹුරුයි සේම සුමටයි.... 

එහෙම හිතුණේ මට.... ඔයාට....?

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00