ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ගී පද රචනය - රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ආ දුර කොතෙක්ද නොදනිමි කියන්න සංසාරේ මහ දුරක් නිසා...
ඒ යශෝධරාවගේ දිනපොතේ එක් පිටුවකි.
මගේ දෙනෙත් තවත් පිටුවක අකුරු සිසාරා ඇවිදියි....
සංසාරයක් පුරා භවයෙන් භවයට ඔබ නමින් මා ඉහිලූ දුක් කන්ද වලාකුළු වියන් විනිවිද අහස් තලයත් සිදුරු කරගෙන යන තරම්යැයි මට සිතේ. දිලිසෙන තාරුකා මා ඔබ නමින් පිරූ සියක් දහසක් ප්‍රාර්ථනායැයි මට සිතේ. තුරු මුදුන් මතින් හමායන මේ සුළං රැලි මා සසරක් පුරා හදවතේ සිරකර සඟවාගෙන සිටි සුසුම්සරයැයි මට සිතේ. මේ අසෙනි වැහි මා මන්ද්‍රී දේවියව උපන් සඳ ඔබ මාත් මගේ දරු දෙදෙනාත් ඔබේ පාරමිතාවක් පූරණය කරන්නට ඔබ දන් දුන් දින දුටුවොත් මේ කඳුළු ඔබට රිදෙතැයි සිතුවිල්ලෙන්, කඳුළු දෑසින් නොගලන්නට හැඬූ දා හදවතින්, දෑසින් නොගැලූ කඳුළුයැයි මට සිතේ...
තවත් පිටුවක් කියවමි මම..
ස්වාමිනී... සංසාරයක් මා නොහඬා දරා උන් කඳුළු මගේ දෑසින් ගලා ගියේ නොකියාම ඔබ අබිනික්මන් කළ දිනය. අත්හරින්නට වෙන බව දැන දැනම ඔබ අත අතනෑර මම පැමිණියෙමි... පොළොවක් සේ අකම්පිතව ජීවිතය දරාසිටින ගැහැනියක නොඉද කෙලෙසද බුදුවෙන්නට පෙරැම් පුරන බෝධි සත්ත්වයෙකු අස... එහෙයින්ම ඉරණම දැන දැනම මම ඔබ හා පැමිණියෙමි... ගමන් මඟ.. සංසාර වීදි දිග... මා ඔබ ලෙයින් බැඳී බන්ධනයක සිරකර ඔබ බන්ධනයක රැහැන් අතහැර යන දා මා හැඬූයේ මා ගැහැනියක වූ නිසාවෙන් නොව ආත්මගත සංසාර වෙළුමක අවසාන පරිච්ඡේදය මේ බැව් හදවත මුර ගා කී බැවින්මය...
රම්‍ය සුරම්‍ය සුභ හැරදා ඔබේ ලෙයත් ඔබ හැර ගිය දා මට ඔබේ පා දොවන්නට තිබුණිනම් ඒ සංසාර හුරුපුරුදු කඳුළින්... ස්වාමිනී කෝ මගේ රජ පැටියට තාත්තෙක්...? ඔබ යනෙන දා මා මිහිලියම නොවූයේනම් කෙසේ දරාගන්නද බන්ධනයක මා වෙලා
ඔබ හැරගියදා රජ මැඳුරේ හුදෙකලාව මා විඳි අවමාන.. නෙක ගැරහුම්....
තවත් පිටුවකින් නෙත මඟ නොහරින්නට මට සිතේ..
ස්වාමිනී... විදසුන් වඩන සඳ ඔබ හද මඬල සංසාර ස්නේහයේ මතක ඡායා කොහි ගියේ දැයි නොඅසමි මම... සාක්ෂාත් කළත් දිනෙක විවරණ.. ලිහා දැමුවත් ක්ලේශ රැහැන් පට ස්වාමිනි සෙනෙහස හද ද්වාරයෙන් පිටමං කළොත් එසඳ ඔබ බුදුවරයකු වන්නේ කෙසේදැයි මම මගෙන්ම විමසමි... ඒ ස්නේහයේ එකම වෙනස මා ස්නේහයේ නැති පරාර්ථයේ සුසුවඳ ඔබ ස්නේහයේ හැම සිතුවිල්ලක්ම තැවරී තිබීම පමණකැයි සිතෙයි මට.. මතකද හිමියනේ මුවන් වී උපන් සඳ ඔබ පවස සන්සිඳුවන්නට මා හඬා එක් කොට කඳුළු ඔබට බොන්නට දුන් අතීතය.. මගේ ඉඳින් සෙනෙහස මෙතෙක් වේ යැයි පහදන්නට තවත් නිදසුන් කුමකටද මට..
මගේ හදවත දැන හඳුනාගත් කවුරුන්දෝ කවිකාරයෙක් අනාගතයේ දවසක හිමියනේ මා නමින් පබඳිනු ඇතැයි සිතේ මට මේ කවි.
හිමයේ ගොසින් මල් යහනක සිටිනව ද
කොමල අනගි සිරි පා දෙක රිදෙනව ද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද
මගෙ ඇත් රජුනි නුඹ අද කොතැනක ද
කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑ දේවා
සුවඳ බොජුන් වැළඳු මගේ හිම සඳ ට
නිබඳ බොජුන් රස කර දුන් වළඳන් ට
සුවඳ පලාපල වැවියන් හිමියන් ට
සුවඳ මල් නිතර පිපියන් රන් කඳ ට
දින පොත වසා මොහොතකට මම නතරවෙමි රඹුක්කන සිද්ධාර්ථ අපේ හාමුදුරුවන් ළඟ.
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
හැඬූ මුත් ඒ හැඬුවේ වාවන්නම බැරි තැනය. සසර බැඳුමක් බිඳුණු තැන වේදනාවේ මහ කන්ද අනන්තයේ මුදුනතටත් එහා බැවින.. අරහත් නොවූ සිතේ හැම පුංචි ස්නායුවකටමත් දැනුණු සඳ සංසාර ඇසුරක අකලංක සුවඳ පොද..
ඒ හැඬුවෙත්
ළා දළු බෝ පත් සෙමින් සැලෙන සේ..
නොඇසෙන්නට කාටවත්ම.. නොඇසෙන්නට හඬන මටවත් මගේ ඉකිබිඳුම... දොසක් කියතැයි බයෙන් ඔබට කවුරුන්ම හෝ...
ලේන කුලේ සිට ආ ගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී
සෙවණැල්ලත් අඳුරු දිගහැරුණු මොහොතක හැර යන බැවින් මා ඔබට සෙවණැල්ලක් නොව ආත්මගත ආත්මයක්ම නොවුණේදැයි විමසමි මම... නොසැලී නොවෙනස්ව දරා ඔබ නොසිටියේනම් මම... කියන් හිමියනේ නිවන වුවත් තව දුරවන්නට නොතිබුණේදැයි ඔබෙන්ම පමණක් ඇසුවොත් වැරදිකාරියකද මම..?
තැලී සෙනේ සිත සැලී හඬන විට
හිමියනේ බුදු බව සාක්ෂාත් කොට ඔබ වැඩි දින අපේ සිරි යහන් ගැබට ඔබ හා ප්‍රේමයෙන් බෙදාගත් ජීවිතයේ සියලු මතක සපැමිනුනි මා සිත අගිස්සට.. බුදු වුණේ ඔබම මිස මා නොවූ බැවින සිරිපතුල් තෙමාලමින හද දියකර ගැලූ කඳුළු වැගිරුණේ මේ විලස..
එහෙත් සසර පුරා ආ ලෙසින්ම නිවන් හමු වූ මේ භවයේත් එමි මම ඔබ අතනෑර.. විඳිනු පිණිසම නිවනෙහි අම රස.
ගැහැනිය ගැන බටහිර නිදහස් සංකල්පය සහ ආසියාතික ගෞරව පූර්ව සංකල්පය තුළ ඔබට ඒ යශෝධරාව හමුවේද? හිමි සැනසුම වෙනුවෙන් තම සැනසුම දන්දෙන.. හිමි සතුට වෙනුවෙන් තම සතුට දන්දෙන.. හිමි පාරමිතා වෙනුවෙන් ජීවිතයේ කප්පරක් ප්‍රාර්ථනාවන් දන්දෙන අකම්පිත මහා පොළොවක් සේ අනන්ත සංසාරයක නොසැලී සියල්ල දරාගත් සුරැකි පතිනි මහිමයෙන් හිමි පාමුල දුහුවිල්ලක් වූ යශෝධරාවන් වන් ගැහැනියක් ඔබට හමුවීද..
සිදුහත්ටම මිස..
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර