පසුගියදාක නෙරංජලා සරෝජිනීත් අනුරාධා නන්දසිරිත් එකතුවෙලා ඔස්ට්‍රේලියාවේ ඉතා සාර්ථක ප්‍රසංගයක් පැවැත්වුවා. ඒ ප්‍රසංගය ගැන අපිට විස්තර කිව්වොත්..?
ඔව්.. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවේ බෙල්බර්න්, පර්ත්, සිඩ්නි සංචාරය කළේ මීට වසර විස්සකට පමණ උඩදීයි. ඒ මමත් අබේත් ෆ්‍රෙඩී අයියත් එකතුවෙලයි. අපි තුන්දෙනා ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග ගණනාවක් පැවත්වුවා. ඒ ප්‍රසංග සියල්ලම වගේ ඉතා සාර්ථක වුණා. ඉතින්.. අවුරුදු විස්සකට පස්සෙ තමයි ආයෙත් මම මේ ප්‍රසංගයකට සහභාගී වුණේ. ඉතින්.. ඒ ගමනේදී මට මගේ පරණ යාළුවෝ සෑහෙන්න ප්‍රමාණයක් මුණගැහුණා. අපි දෙන්නා එනවා කියලා ආරංචි වුණාට පස්සෙ ඒ අයගේ ලොකු ප්‍රසාදයක් තිබුණා. අපිව දැකගන්න ආසාව වගේම අපේ සින්දු අහන්න ලොකු ඕනකමක් තිබුණා. ඉතින්.. මම සින්දු කියන්නෙ නැහැ කියලා කියද්දී ඒ අය ගොඩක් දුක් වුණා. නමුත් ඒ ගීත ඒ අයුරින්ම මගේ දියණියක වුණු අනුරාධා ගායනා කළා.
ඒ ප්‍රසංගයත් හරි සුවිශේෂී නේද..?
ඔව්.. ඒ ප්‍රසංගය සංවිධානය කළේ අපේ ඉතාම දක්ෂ සංගීතඥයෙකු වන ඉන්ද්‍රජිත් මිරිහානයි. එයා දැන් පදිංචිවෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඔහු ඇතුළු කණ්ඩායමක් නෑසෙන ගී යන නමින් ප්‍රසංග මාලාවක් සංවිධානය කරලා තිබුණා. ඉතින්.. ඉන්ද්‍රජිත් මට ඊළඟ ප්‍රසංගය සඳහා ආරාධනා කළා. ඒ වනවිටත් ඉන්ද්‍රජිත් මම ගීත ගායනා කරන්නෙ නැහැ කියලා දැනගෙන හිටියා. ඒ නිසා කමක් නැහැ අක්කා.. අපි දුව ලව්වා ඒ ගීත ගායනා කරමු කියලා කිව්වා. ඉතින්.. ඒ අනුව තමයි මගේ ගීත තෝරාගන්න, කතාබහ කරන්න ඉන්ද්‍රජිත් ලංකාවට ආවෙ.
ඔබ සහ අබේවර්ධන බාලසූරිය ගීත ගණනාවක්ම ගායනා කරපු කලාකරුවන් දෙදෙනෙක්. එම ගීත තුළින් ප්‍රසංගය සඳහා ගීත තෝරාගන්නෙ කොහොමද..?
ඇත්ත.. මමත් අබේත් සංයුක්ත තැටි දහතුනක් කරලා තියෙනවා අබේ - නෙරංජලා විශිෂ්ට ගී අංක එක, දෙක, තුන වශයෙන්. ඉතින් ඒවායින් ගීත පහළොවක් තෝරාගැනීමම ඉන්ද්‍රජිත්ට දැඩි අපහසුතාවයක් වුණා. ඒකත් පොඩි ගැටලුවක් වුණා. එක ගීතයක් මතක් කරද්දී ඒකත් ඕනෙ.. තවත් එකක් මතක් කරද්දී ඒකත් ඕනෙ.. ඉතින්.. අවසානයේදී බොහොම අමාරුවෙන් ගීත පහළොව තෝරාගෙන ඉතාම සාර්ථකව ඒ ප්‍රසංගය කළා. සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. පරණ මිතුරුකම ආයෙත් අලුත් වුණා වගේ දැනුණා. ඉතින්.. ප්‍රසංගය සාර්ථක වීම ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. ඒ ප්‍රසංගයේ සංගීතය සැපයුවේ ඉන්ද්‍රජිත් මිරිහාන ඇතුළු ඔහුගේ සංගීත කණ්ඩායමයි. ඒ සුසන්ත කුමාරගේ. කැමිරොන් කොළඹගේ, රෝහිත උඩුවෙල, තිලක කුලතුංග, සමිත ජයතිලක, නීල් ගමගේ, ජූඩ් ප්‍රනාන්දු සහ ඩී.ඩී. ගුණසේනයි. මේ ප්රසංගයෙදී අනුරාධා එක්ක යුග ගීත හතරක් ඉන්ද්‍රජිත් මිරිහාන, චන්ද්‍රා දිසානායක සහ මහේෂ් ගමගේ ගායනා කළා. ඒ අතර අපේ දක්ෂ වයලින් වාදක ඩී.ඩී. ගුණසේන මහතාත් ඔස්ට්‍රේලියාවේ ඉන්නෙ. ඉතින්.. ගුණසේන අයියත් මේ ප්‍රසංගයට සංගීතය සැපයුවා. ගුණසේන අයියටත් හරිම සතුටුයි. මගෙයි අබේගෙයි ගීතවලින් බොහෝ ගීත පටිගත කරද්දී ඒ කාලෙත් ගුණසේන අයියා සංගීතයෙන් සහභාගීවෙලා තියෙනවා. ඉතින්.. එයාට ඒ කාලය ආයෙමත් මතක් කළා කිව්වා. එයත් ඒ ගීතවලට උපරිම දායකත්වය ලබාදුන්නා.
ආරංචිය නම් මේ ප්‍රසංගයෙන් පසුව තවත් ප්‍රසංගවලට ආරාධනා ලැබුණු බවයි..?
ඔව්.. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවලටත් අපිට ආරාධනාවක් තිබුණා. නමුත් ඒ සඳහා කාලය මදි වුණා. ඉදිරියෙදී ඒ අය නැවත සංවිධානය කළාම අපිට ඒ ප්‍රසංගය පවත්වන්න පුළුවන් වේවි. මම ගිය අවුරුද්දෙ ඉතාලියේ රෝම නගරයේ මගේ ප්‍රසංගයක් කළා. ඒ ප්රසංගයෙදී මගේ ගීත ගායනා කළේ ඉතාලියේ පදිංචිවෙලා ඉන්න අපේ රටේ දරු දැරියන්. එදා ඒ දරුවන් මගේ ගීත විසිපහක් පමණ ගායනා කළා. ඒකෙදීත් මම මගේ ගීත ගැන කතාබහ කළා. ඒවා කතා කරන්න තමයි මම ගියේ. මේ ප්රසංගයෙදීත් අනුරාධා ගායනා කරන්න කලින් ගීතයෙන් ගීතයට ඒ ගීතයේ පසුබිම ආදී සියල්ලම කියලා තමයි ගීතය ඉදිරිපත් කළේ.
අනුරාධා ගායනා කරද්දීවත් ඔබේ හඬ අවදි කරන්න නිකමටවත් හිතුණෙ නැද්ද..?
නැහැ.. මට එහෙම හිතුණෙ නැහැ. මේක මගේ කැමැත්තෙන් ගත්ත තීරණයක්. මගේ අබේ වෙනුවෙන් මම මගේ හඬ කැපකළා. අබේ නැතිවෙලා දැන් අවුරැදු අටක් ගෙවෙනවා. ඉතින්.. අබේ වෙනුවෙන් ඒ දේ කරන්න ඕනෙ කියලා මම හිතුවා. එයා තමයි මගේ සෙවණැල්ල වගේ මගේ පසුපස හිටියෙ. මගේ නම හදාගන්න සෑහෙන්න උදව් උපකාර කළා. අබේගෙන් තමයි මම ලෝකය දැක්කෙ. ඉතින්.. අබේගේ හඬ අහිමිවෙද්දී එයා ගොඩක් දුක් වුණා. මම දැනගෙන හිටියා එයාගේ හඬ නැවත එන්නෙ නැහැ කියලා. නමුත් ඒ දේ එයා දැනගෙන හිටියෙ නැහැ. ස්නායු ආබාධයක් තමයි අබේට ඇතිවුණේ. ඒකෙදී ඇඟේ තිබුණු ස්නායු මැරි මැරී ගියා. මාංශපේෂි මැරි මැරී ගියා. ඒවා නැවත වැඩෙන්නෙ නැහැ. ඒ නිසා හඬත් එහෙම ටික ටික නැතිවෙලාම ගියා. අබේට කතා කරගන්න බැරිවුණා. ඒ තිබුණු දුක මට හොඳටම දැනුණා. ඉතින්.. කවදාහරි එයා සමුගත්ත දවසට මගේ ගායනයට සමුදෙනවා කියලා මම හිතුවා. අද ඒ මම ගත්ත තීරණය ගැන කිසිම දුකක් නැහැ.
මතකද ඔහුත් එක්ක ගායනයේ යෙදුණු අවසන් විදෙස් සංචාරය..?
2006 වසරේ යුරෝපය, ඉතාලිය, ග්‍රීසිය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් ගණනාවක මමත් අබේත් වික්ටර් අයියත් ප්‍රසංග දහතුනක් පැවැත්වුවා. ඒ ප්රසංගවලින් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ලංකාවේ ඒ කාලෙදී අපි එච්චර ප්‍රසංගවලට සහභාගී වුණේ නැහැ. හැබැයි වැඩසටහන්වලට සහභාගී වුණා.
අනුරාධාට අමතරව තවත් ඔබේ ගීත ගයන්න ඔබ සෙව්වන්දිටත් අවස්ථාව ලබාදීලා තියෙනවා..?
ඔව්.. මම නිර්මලා අක්කගේ දුව සෙව්වන්දිටත් මගේ ගීත ගයන්න කියලයි තියෙන්නෙ. මගේ ගීතවල අයිතිය මට තිබුණට එයාලට ගයන්න අවස්ථාව දීලයි තියෙන්නෙ. මට මගේ දරුවන් ගැන ඉරිසියාවක් නැහැ. ඒ දරුවන් දෙන්නම ඒ ගීත ඒ විදිහට ගයනවා. මම මගේ කැමැත්තෙන් තමයි ඒ අවස්ථාව ලබාදුන්නෙ. ගීතවලට හානියක් නැතිව ඒ අය ගයනවා. ඒ හැම ගායනයකදීම ඒ දරුවන් මම ගැන මතක් කරනවා. මට අද සතුටුයි මගේ ගීත එහෙම ඉස්සරහට අරන් යාම පිළිබඳව.
ඔබ ගායිකාවක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා..?
ඔව්.. රූපවාහිනියේ සෙනෙහසේ නවාතැන කියන වැඩසටහන ඉදිරිපත් කරන්න කියලා විනීතා කරුණාරත්න ආරාධනා කළා. ඒක මම ඉතාම සතුටින් බාරගත්තා. මම ඒ කරපු රස්සාව නිසා ඒක මට අමුත්තක් නෙමේ. මම රූපවාහිනියේ ප්රවෘත්ති කිව්වා. ගුවන්විදුලියේ සහාය නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එළිමහන් ප්රසංගනම් මම කොහොමත් නිවේදනය කරන්නෙ නැහැ. තෝරා බේරාගෙන සුදුසුයි කියලා හැඟෙන වැඩසටහන් තිබුණොත් මම නිවේදන කටයුතු කරනවා.
අද දවස ගෙවෙන්නෙ කොහොමද..?
ඉස්සර ඉඳන්ම මම කාර්යබහුලයි. මම උදේම නැඟිටලා උයන පිහින වැඩ ටික කරගන්නවා. දැන් මට අබේ නැති පාළුව තනිකම හුඟාක් දැනෙනවා. නමුත් අද මම හිත හදාගෙනයි ඉන්නෙ. මොනවා කරන්නද.. එයා වෙනුවෙන් මම හැමදෙයක්ම කළා. ඒත් මට එයා ජීවත් කරවගන්න බැරිවුණා. වෙනදා වගේම රූපවාහිනිය බලනවා. පොත්පත් කියවනවා. මගේ ගෙදර සුරතල් බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. අපේ යාළුවන්ගෙම එක එක වැඩසටහන්වලට ඇරයුම් ලැබෙනවා. ඉතින්.. ඒ දේවල් කරද්දී කාලය ගෙවිලා යනවා.
නෙරංජලා සරෝජිනී එහෙම ප්‍රසංගය ගැන කියද්දී පුංචිගේ ගීත ගයන අනුරාධා නන්දසිරිගෙනුත් අපි ඒ ගැන අහන්න අමතක කළේ නැහැ..
පුංචිගේ ගීත හරි අපූරුවට ගායනා කරලා හොඳ ප්‍රතිචාර ලැබුණා නේද..?
ඇත්තටම ඒක මට ලොකු අත්දැකීමක්. අම්මයි තාත්තයි එක්ක තමයි මම මෙච්චර කාලයක් ප්‍රසංගවලට පිටරට ගිහින් තියෙන්නෙ. මගේ මුල්ම විදෙස් සංචාරය කළේ අවුරුදු දහතුනේදී. මුලින්ම වේදිකාවට ගොඩවුණේ එංගලන්තයෙදී. ඒ වගේම අමතකම නොවන ගමනක් තමයි නෙරංජලා පුංචි එක්ක ගිය ඔස්ට්‍රේලියා ගමන. මේ ප්‍රසංගය තිබුණේ ඔක්තෝබර් පස්වැනිදා. අපි යද්දීත් ඉන්ද්‍රජිත් ඇතුළු කණ්ඩායම පුහුණුවීම් පටන්ගෙන තිබුණේ. ඉතින්.. ජීවිතේ පළවැනි වතාවට මෙච්චර ගීත ප්‍රමාණයක් එකදිගට ගායනා කරන්න ලැබුණා. හිතට එකඟව මගේ කනට මාව ඇහෙන විදිහට මට සතුටුවෙන්න පුළුවන් වුණා. බලපු අයගෙන් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හැමෝටම වඩා නෙරංජලා පුංචි එදා ගොඩක් සතුටු වුණා. පුංචි මට ලොකු ශක්තියක්. මේ සැරේ මම ළඟ අම්මයි තාත්තයි දෙන්නම හිටියෙ නැහැ. ඒ හැමදේටම මට හිටියෙ පුංචි. හැබැයි අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගෙයි. පුංචිට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් වුණත් එයා ගයන්නෙ නැහැ. ඉතින්.. මම පුහුණුවීම් කරද්දී ඇයගේ ගීතවල එන සමහර හැඟීම් පවා පුංචි මට කියලා දුන්නා. එන ප්‍රේක්ෂකයන් එන්නෙ පුංචිගේ හඬ අහන්නයි. ඒ නිසා ඒ හඬට සාධාරණයක් කරන්න මම උපරිමයෙන් මහන්සි වුණා.
ප්‍රසංගය දිනයෙදී ඔබේ මිතුරු මිතුරියන් පවා බලන්න ඇවිත් හිටියා..?
ඔව්.. ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ නෑදෑයෝ, අපේ හිතවතුන් මේ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉන්න සරත් ද අල්විස්, බණ්ඩාර ඇහැළියගොඩ, ජය ශ්‍රී චන්ද්‍රජිත් වගේම මගේ මිතුරා රනිල් මල්ලවආරච්චිත් මේ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. ඒ වගේම මියුසියස් විදුහලේ මගේ යාළුවෝ පවා මේ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. ඒ හැමෝම මට ලොකු ශක්තියක් වුණා.
ශ්‍රී ලාංකිකයන්ට රසවිඳින්න මේ ප්‍රසංගය අවස්ථාවක් කරගන්නෙ නැද්ද..?
ඇත්තටම එහෙම අදහසක් තියෙනවා. හැබැයි මේ ප්‍රසංගයේ අදහස වුණේ ඉන්ද්‍රජිත්ගේ. ඉතින්.. ඔහු තමයි අපිට මේ ප්‍රසංගයට ආරාධනා කළේ. ඉතින්.. බලමු ඉදිරියෙදී මේ ප්‍රසංගය ලංකාවෙදීත් කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙම බලාපොරොත්තුවකුත් තියෙනවා. පුංචිගේ ගීතවලින් පුංචි නියෝජනය කරන්න ඕන තැන්වලදී මමත් සෙව්වන්දි නංගීත් එක්ව ගායනා කරනවා. හැබැයි ඒ හැම එකක්ම කරන්නෙ පුංචිගේ දැනුම්වත් වීම මතයි.
► Text - Dishani / Pic- Sumudu