2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දැහැන

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

නොඅසන්න... නොකියමි... ඈ කවුද?
ඉටිපන්දමක් වගේ දියවෙන්න ගත්තා ඇය... ජීවිතයම කරගත්ත ප්‍රේමයක් ළඟ... ඒ තමයි ඇගේ ප්‍රථම සහ අවසාන ප්‍රේමය... දියවෙලා යන්න පුළුවන්ද ඒ විදිහට ප්‍රේමයක් ළඟ... පිරිමියෙක් ළඟ... මට හිතෙනවා අපි මරණය තෙක් ඇවිදගෙන යන්නේ එකම පාරක... වෙනස් වෙන්නේ අපේ ප්‍රාර්ථනාවන්... අරමුණු හා බලාපොරොත්තු විතරයි... ලේ උරුමයෙන් සහ සංසාර උරැමයෙන් අපි අරන්එන ගතිසොබා විතරයි. නැත්නම් අපි හැමෝම එකම යාත්‍රාවක නැවතුමක් හොයාගෙන එකම පාරක ඇවිදින ගමන් මගීන්... දැනුණත් නොදැනුණත් සංසාර වීදි දිගේ අපි හමුවෙලත් ඇති අනන්ත වාරයක්...

මට හිතෙනවා හදවත පලාගෙන එන්න තරම් කැක්කුමකින් ලේ උණුහුම් කරගෙන හදවතේ හැම ස්නායුවක්ම ඇහැරවමින් පපුවේ හරි මැදට ආමන්ත්‍රණය කරන ස්නේහයක අතීතය හොයාගෙන හොයාගෙන ගියොත් සංසාර ඇරඹුමේ මුදුන් මුල දක්වාම එහි භෂ්මාවශේෂ හමුවෙයි ඔබට...

ඔයා විශ්වාස කරනවද ඇගේ හැම හුස්මකටම ප්‍රාණයක් දෙන්නේ ඔහුගෙ කටහඬ කියලා... ඒ කට හඬ නෑසෙන දවසක ඇය දන්නේ ඇය ජීවත්වන බව විතරයි. ඇයට ජීවත්වෙන බවක් දැනෙන්නෙ නෑ... ඒ කටහඬ ඇයව ඇහැරවමින් ජීවිතය වෙතට කැටුව යනවා... ඇයට අහස් ගංඟාවේ තරු ගණින්න සඳ සිහිලසේ නැහැවෙමින් කිමිදෙන්න කියා දෙනවා... හීන බලාපොරොත්තු ජීවිතය පුරා පැළකරන්න කියාදෙනවා. 
ඉතින් මට කියන්න ඒ ආදරයෙන් වියුක්තව ඇය කොහොමද එක මොහොතක් ජීවත් වෙන්නේ...

ජීවත් වෙන්න සල්ලි භෞතික සැප සම්පත් හරිහම්බ කරන කී දෙනෙක් හිතුවද ඒ ජීවත් වීමට හුස්මක් දෙන්න ආදරයක් සහ සතුටක් හරිහම්බ කරගන්න ලේ නහර ගැඹුරම හිරිවට්ටන... මට හිතෙන්නේ ජීවිතයට ආදරය කරන ජීවත්වීම අස්සේ ජීවිතයක් හොයන හැම කෙනෙක්ම එහෙම ආදරයක් හොයනවා... ඒ ආදරය උපද්දවන ආත්ම කළලය තමයි සතුට... මුළු ලෝකයම ඔයාගේ වුණත් ඔයාගේ ආත්ම දාහය නිවන ඔයා සුවපත් කරන ආදරයක් සතුටක් ඔයාට හිමි නැත්නම් ඔයාගේ හදවතේ කොතනකට හරි කවදාහරි දවසක දොර ඇරගෙන එන තනිකම සහ පසුතැවිල්ල ඔයාට ජීවිතේ මඟහැරීම් ගැන කියාදෙයි... ඒත් එදාට ඔයා ජීවිතය වෙනුවෙන් ඉල්ලන කිසිදෙයක් ඔයගේ අත දිගු කළ හැකි මානයක නැතිවෙයි... ඔයා ජීවත්වීම වෙනුවෙන් කොච්චර දේවල් හරිහම්බ කරලා තිබුණත් ජීවිතය වෙනුවෙන් ඔයාට අල්පමාත්‍රික තරම් දෙයක්වත් ඔයාගේ සන්තකයේ නැතිවෙයි...
සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය...
අහන්න...

ඔයා කවුරු වුණත් ප්‍රේමය කියන ගනුදෙනුවේදී ඔයා සුන්දර ප්‍රේමවන්තයෙක් වෙන්න... ලෝකයේ තියන විද්‍යාවන්... ඔයාගේ නම ඉස්සරහට එන පදවි නම්බු නාම... ඔයා ජීවිතය දිහා බලන සිද්ධාන්ත... ඔයාගේ සමාජ ආකල්ප... සංස්කෘතික නිර්ණායක ප්‍රේමය කියන නිල් දියවර බොර කරන්න ගල් කැටයක් කරගන්න එපා... ගනු විතරක් තිබුණත් බෑ... දෙනු විතරක් තිබුණත් බෑ... ප්‍රේමයක උත්තරීතරත්වය හද දෑල සනසන ගංඟාවක් වෙන්නනම්... බැඳීමක් ආදරණීය සන්තුෂ්ටියක් බවට පත්කරන්නේ සාධාරණත්වයේ උපරිම රේඛාවකට ළංවෙච්ච තැනකදී විතරයි... මට හිතෙන්නේ එහෙම... ආදරය ලෝකය, ජීවිතය, ජීවත්වීම මේ හැම සංසිද්ධියක්ම ගැඹුරින් හා අවබෝධයෙන් තේරුම් ගන්න. ඒත් ආදරය විඳින්න ඒ ලෝගු ගලවලා පැත්තකින් තියන්න... ප්‍රකෘතියේ නිදි ගැට කඩන්න... පැළයක් වුණත් පඳුරු දදා වැවෙන්නේ තෙතක් සිහිලසක් තියෙන බිමකදී... වියළි පොළෝතල මත පැලවෙන ගස් ඕනතරම් තියෙනවා... ඔයා මාත් එක්ක තර්ක කරයි... ඔව් තියෙනවා... ඒත් ජීවය දුන් පොළොවටවත් සිහිලසක් දෙන්න පුළුවන්ද එහෙව් ගහකට අහස් මුදුන සිඹින්න තරම් වැඩුණත් සාරෙට... පැලුණු පොළොව එහෙමමයි... ඒ ගස සිහිලසක් දෙයි ඒ ගිනිදන පොළොවේ නවාතැන් සොයා එන්නෙකුට... ඒත් කවුද එහෙම පොළොවක අඩියක තරම්වත් නැවතුමක් ඉල්ලගෙන එන්නේ... නැවතෙන්න නවාතැනක් නැතිම වුණොත් මිසක... මට හිතෙනවා අහස ඉඹින්න තරම් සාර සුබාවට වැඩුණත් ඒ මහා ගහත් අඬනවා දවසක ඉරිතැලුණු පොළොවත් එක්කම එකම එක දිය බිඳක් ඉල්ලගෙන... සෑහෙන්න පුළුවන්කමකට නෙවෙයි වැස්සක් කවදාවත් ඒ ඉරිතැලුණු පොළොව හොයාගෙන නොඑයි කියන පසුතැවිල්ලට... තෙත බිමක ඉපදුණු ළදල්ලක් කවදාවත් වැස්සක් ඉල්ලලා හඬන එකක් නෑ පොද වැහි නෙවෙයි ඇති තරම් තෙමෙන්න අසෙනි මහ වැහිම ඒ ළාදලු පැළවුණු පොළෝතල හොයාගෙන එන හින්දා...

නැපෝලියන් බොනපාට් කියන රණශූරයා මුළු ලෝකයේම අණසක පතුරවපු මහා රණ ශුරයෙක්... ඒත් ප්‍රේමය ළඟ ඔහු වෙඬරැ පිඩක් වගේ දියවී ගැලූ හැටි... ඔයා කියවලා තියෙනවද නැපෝලියන් තමන්ගේ ආදරවන්තිය වුණ ජෝසපින්ට ලියූ ආදර හසුන්... ඔබ නොදැක ඉන්න බෑ... මට එක මොහොතක්වත්... ඔබේ හඬ නෑසෙන හැම දවසක්ම නින්ද හරි දුරයි මට... ඒ රණශූරයා ආදරණීය ප්‍රේමවන්තයෙක් වුණේ එහෙම... 
මට හිතෙනවා මෙහෙම... 

කවි ලියන කිවිඳුන්ටත්... ලෝකයේ මහා කෙටිකතාකරැ කියලා කීව ඇන්ටන් චෙකොව් කියන දොස්තරටත්... නැපෝලියන් බොනපාට් කියන මහා රණශූරයාටත්, සොක්‍රටීස් වැනි මහා දාර්ශනිකයන්ටත්, විදර්ශනාවෙන් ලෝකය දුටු ලෝකයම සත්‍ය දර්ශනයක් තුළ අතැඹුලක් සේ විනිවිද දුටු බුදුන් වහන්සේටත්... ලෝකය වෙනුවෙන් ප්‍රාණය දුන් ජේසුස් වහන්සේටත් ප්‍රේමය ප්‍රේමයමයි. හැම හදවතක්ම හැම ස්නායුවක්ම ප්‍රේමය ළඟ තිගැස්සෙනවා... ගැහෙනවා... හිරිවැටෙනවා... නොහැඬුවත් හඬනවා... ඒ තමයි මම අදහන ප්‍රේමය... 

ඔබ, 
ඔබ වෙනස් ඇති... 
ඒත් ඔයාට කියන්න මට එක දෙයක් තියෙනවා... අහිමි වූ දවසක ඔබේ සුසුමකටත් පෙම් කරන ප්‍රේමයක් මඟහරවගන්න අසීරු හිස්තැනක් දැනෙයි එදාට...
එදාට... ඔයා ළඟ දියවෙච්ච ඉටිපන්දම දියවෙලා වැක්කෙරිලා නිවිලා තියෙයි... 

නිවිච්ච ඉටිපන්දමක් ආය දල්වන්න පුළුවන්... ඒත් වැක්කෙරිලා ගල්වෙච්ච ඉටි හරි ඝනකම්... ඒ ඉටි ආය දියවෙවී වැක්කෙරෙන එකක් නැහැ...
එහෙම දවසක් කවදාවත් එයි කියලා බලාගෙන ඉන්නත් එපා.

වටිනාකමකින් හදවතට බාරනොගත්ත දෙයක් දෙවියන්වහන්සේ කවදාවත් ආය වතාවක් ඔයාට දෙන එකක් නෑ.