2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දෙවියන්ගේ ක්ෂේම භූමියේදී ආදරයක් හා ගංවතුරක්!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 192
 
මේ කියන්න හදන්නේ ඉන්දියාවේ සිද්ධවුණු ගංවතුර තත්ත්වයක් ගැනයි. හරියටම කියනවනම් මේ සිද්ධිය වෙන්නේ 2013 අවුරැද්දේ උතුරු ඉන්දියාවෙයි (නේපාලයේ) මේ බලන බලන අතේ සුදු පාට දිස්වෙන හිම කඳුවලින් වටවෙලා තියෙන උතුරු ඉන්දියාවේ සිදුවීමක්. මේ පළාතේ ඔබ ඉන්නවනම් ඔබගෙත් ඇඟේ හී ගඩු නංවගෙන හමායන සීතල සුළං රැලිවල පහස ඔබගේ ශරීරයටත් අනිවාර්යයෙන්ම දැනෙනවා. මෙන්න මේ ප‍්‍රදේශයට කියන්නේ දෙවියන්ගේ ක්ෂේම භූමිය කියලයි. 
 
ඒකට හේතුවක් වෙන්නේ මේ පළාතේ පැරැණිම දේව මන්දිර පිහිටලා තියෙන නිසයි. මේ පළාතට හින්දු ආගම අදහන හින්දු බැතිමතුන් ඉන්දියාවේ සතර අතින්ම එනවා, වයස් භේදයකින් තොරව. 2013 අවුරුද්දේ එක දවසක හින්දු ආගම අදහන, එකවරක් දැක්කම ආපහු හැරිලා බලන්න තරම් ලස්සනක් තියෙන සුරෑපී තරැණියක් වන මුක්කු තනියම කේදර්නාත් කියන මේ පුණ්‍ය භූමියේ තියෙන ඉපැරැණි දේව මන්දිරය වැඳ පුදාගන්න එනවා. ඇය මේ පළාත ගැන නොදන්න හින්දා ඇයට මාර්ගෝපදේශකයෙක් අවශ්‍ය වෙනවා. ඇයට මඟපෙන්වන්නෙක් විදියට හමුවෙන්නේ මන්සූර් කියන මුස්ලිම් ජාතික තරුණයා. කන්දක් මුදුනේ හැතැප්ම ගාණක් යන්න තියෙන මේ ගමන අතරතුර මේ දෙන්නා අතර ලොව උතුම්ම බැඳීම ඇතිවෙනවා. ඒ කියන්නේ දෙන්නගේ හිත්වල ඒ සුන්දර ආදරය ඇතිවෙන්නේ දෙන්නට දෙන්නා දැක්ක ගමන්මයි. ගමන අතරතුර මේ දෙන්නා ගොඩාක් එකිනෙකාට ළංවෙනවා. මුක්කු ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඇයගේ තොල සට සට ගාලා වෙව්ලනවා. මුක්කුගේ හදවතේ ගැස්ම ඇයට ළංවෙමින් ඉන්න මන්සූර්ටත් ඇහෙනවා. මන්සූර් හෙමින් හෙමින් දෑස් වසාගෙන ඉන්න මුක්කුගේ දෙතොල් ගාවට තමන්ගේ දෙතොල් ළං කරන්න හදනවා. ඒත් මෙන්න එකපාරටම හිමකඳු කඩාගෙන ඇවිල්ලා එක වරම ගංවතුරක් ඇතිවෙනවා. ලස්සන කතාවක් වගේ නේද? ඒත් කතාවේ ඉතුරු ටික සහ කතාවේ හොඳම ටික දැනගන්නනම් ඔබට 2018 දෙසැම්බර් 07 වැනිදා සිට තිරගතවෙන අභිෂේක් කපූර් අධ්‍යක්ෂණය කරන ලද රොනී ස්කෲවාලා, අභිෂේක් කපූර්, අභිෂේක් නයියර් නිෂ්පාදනය කළ කේදර්නාත් හින්දී සිනමාපටය නරඹන්නම වෙනවා. කේදර්නාත් කියන නමේ තේරුම වෙන්නේ දෙවියන්ගේ ක්ෂේම භූමිය කියන එකයි. ඉතින් මේ කේදර්නාත් කියන හින්දී සිනමාපටයේ කතාව අභිෂේක් කපූර් සහ කනිකා දිල්ලොන් විසින් තමයි ලියලා තියෙන්නේ. මන්සූර් ගැනයි දැන් කියන්න හදන්නේ. මේ සිනමාපටයේ මන්සූර්ගේ චරිතයට පණ පොවන්නේ 1986 ජනවාරි 21 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පට්නාවලදී ඉපදිලා දිල්ලි ටෙක්නොලොජිකල් යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපනය හදාරා 2008 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් වගේම නර්තන ශිල්පියෙක් විදියට කටයුතු කරන උස අඩි 6යි අඟල් 01ක් උස ඔහුයි. මෙන්න මේ සිනමාපටවලත් ඔහු එක එක චරිතවලට පණ දීලා තියෙනවා.
 
 
 
Kai Po Che! (2013), Shuddh Desi Romance (2014), Byomkesh Bakshy! (2015), M.S. Dhoni (2016), Raabta (2017), Welcome to New York (2018)
 
මන්සූර්ගේ චරිතයට පණ දෙන ඔහු සුශාන්ත් සිං රාජ්පුත්. දැන් ඔබට කියන්න හදන්නේ කේදර්නාත් හින්දී සිනමාපටයේ මුක්කුගේ චරිතයට පණපොවන ඇය ගැනයි. 2016 දී නිව්යෝර්ක්වල කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරලා තියෙන මේ කෙල්ලට තවම වයස අවුරුදු 24යි වෙන්නේ. ඇය මුස්ලිම් ජාතික පවුලක කෙනෙක් වන අතර ඇය ඉපදෙන්නේ 1993 සැප්තැම්බර් ඉන්දියාවේ මුම්බායි වලදීයි. ඉන්දියාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණු මන්සූර් අලී ඛාන් පතවුදි මේ කියන කෙල්ලගේ සීයා වන අතර ජනප‍්‍රිය නිළියක් වුණු ශර්මිලා තාගෝර් ඇයගේ මිත්තණිය වෙනවා. මේ කියන්න හදන මුක්කුගේ චරිතයට පණපොවන ඒ සුන්දර තරුණියගේ අම්මා ජනප‍්‍රිය නිළියක් වන අම්රිතා සිං වන අතර තාත්තා ජනප‍්‍රිය නළු සායිෆ් අලී ඛාන්. ඇය නමින් සාරා අලී ඛාන්. ඇය තමයි කේදර්නාත් හින්දී සිනමාපටයේ මුක්කුගේ චරිතය හැඩ කරන්නේ. මේ කිව්ව දෙන්නට අමතරව නිතිෂ් භරද්වාජ්, අල්කා අමින්, සොනාලි ගෝර්, නිශාන්ත් දහියා කියන නළු නිළියනුත් කේදර්නාත් හින්දී සිනමාපටයේ විවිධ චරිත හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා. කේදර්නාත් හින්දී සිනමාපටයේ තියෙන සුන්දර ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අමීත් ත‍්‍රීවේදී වන අතර ඒ සුන්දර පද මාලාවන් ලියා තියෙන්නේ අමිතාබ් භට්ටාචාර්යා. ඒ ගීපද මාලාවන්ට පණ දෙන්න තමන්ගේ මන්මත් කරවන හඬ මුසුකරලා තියෙන්නේ අමිත් ත‍්‍රී වේදී සහ දේව් නේගී.
 
► Translation — Chandana Waravitage
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00