2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

චාල්ස් සීයාගේ දරු සුරතල්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

බ්‍රිතාන්‍ය ඔටුන්නේ මීළඟ හිමිකාරයා වන චාල්ස් කුමාරයා පහුගියදා තමන්ගේ හැත්තෑවැනි උපන් දිනය සැමරුවා. දරු මුණුපුරන් අතර ගෙවෙන තමන්ගේ ලෝකය ඔහු ඉතාම සතුටින් ගතකරන බව පෙන්වන විදිහේ ඡායාරූප කිහිපයකුත් උපන්දිනයට සමගාමීව ඔහු අරගෙන තිබුණා. මේ ඡායාරූපවලට චාල්ස්, කැමිලා, විලියම්, හැරී, කේට්, මේගන්, වගේම ජෝර්ජ්, චාලට් සහ මාස හතක් වයසැති ලුවිස් ඇතුළු කුමර කුමරියන් එක්ව සිටියා. 

ඉතාම විනෝදජනක ආකාරයෙන් ගෙවුණු මේ සේයාරූ ගැනීමේදී චාල්ස් කුමාරයා තමන්ගේ මුණුපුරා වෙච්ච ලුවිස් කුමාරයා හුරතල් කරද්දි ලබාගත් ඡායාරූපය මේ වනවිට ගොඩක් දෙනාගේ අවධානය දිනාගන්න සමත්වෙලා. විශේෂයෙන්ම පුංචි ලුවිස් තමන්ගේ අම්මා, ඒ කියන්නේ කේට් කුමරියගේ අතේ ඉන්න අතරේදී චාල්ස් කුමාරයාගේ නාසය මිරිකන විදිහේ ඡායාරූපයකුත් ඒ අතර තියෙනවා. බ්‍රිතාන්‍යයේ ඊළඟ රජු වන චාල්ස් කුමාරයා, පොඩ්ඩාගේ මේ දඟ වැඩේ නිසා හොඳටම විනෝද වෙන ආකාරයත් කැමරාවේ සටහන් වෙලා තියෙනවා. 

මේ ඡායාරූප එකතුව නිසා චාල්ස් කුමාරයා ගැන ගොඩක් කාලයක් තිස්සේ තිබුණු එක්තරා දුර්මතයකුත් පහව ගිහින් කියලා බ්‍රිතාන්‍ය සඟරා පවසනවා. ඒ තමයි චාල්ස්ට පොඩ්ඩෝ හුරතල් කරලා පුරුද්දක් නෑ කියන කතාව. හැබැයි ඒ කතාව බොරු කරමින් චාල්ස් පුංචි ලුවිස්ව වඩාගෙන හුරතල් කරන පින්තූර ගොඩක් මේ ඡායාරූප ගොන්නේ අඩංගුයි. 

ඒ වගේම පවුලේ ඡායාරූපය ගනිද්දී විලියම් - කේට් පවුලේ ලොක්කා වෙච්චි ජෝර්ජ් කුමාරයා ඉඳගෙන ඉන්නේ තමන්ගේ සීයා එහෙමත් නැත්නම් චාල්ස් කුමාරයාගේ කකුලක් උඩයි. ඔහුගේ නැගණිය, චාලට් කුමරියත් චාල්ස් කුමාරයාටත් කැමිලා පාකර්ටත් වම්පසින් වාඩිවී සිටිනවා. 

ඔහුගේ ආර්යාව වන කැමිලා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණේත් ලුවිස් නිතරම තම සීයාගේ නාසය සහ කොණ්ඩය ඇල්ලීමට කැමැත්තක් දක්වන බවයි. “එයා සාමාන්‍යයෙන් දරුවෝ මුණුපුරෝ එක්ක බිම දිගාවෙලා සෙල්ලම් කරන ජාතියේ තාත්තා කෙනෙක් සීයා කෙනෙක් විදිහට මිනිස්සු දැකලා නැති වුණාට එයා එහෙම කෙනෙක්. හරිම සරල මනුස්සයෙක්. විශේෂයෙන්ම පුංචි ලුවිස්, නහය මිරිකන එක, කොණ්ඩෙන් අදින එක චාල්ස්ට ලොකු විනෝදයක්. එයා ඒකට ආසයි කැමිලා එහෙම කියලා තිබුණා. මේ නිසා පොඩ්ඩන් වටකරගනිමින් චාල්ස් කුමාරයා ගතකරන සුන්දර ජීවිතය ගැන ලෝකයටම ඉඟියක් දෙන්න මේ ඡායාරූප එකතුව සමත්වෙලා තියෙනවා. 

ඒ වගේම කුමාරයාගේ හැත්තෑවැනි උපන්දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සඟරාවල පළවුණු ඡායාරූප අතරේ ඔහු තම සුරතල් කුකුළු පැටවුන්ට කෑම දෙන දසුනක්, ග්ලෝස්ටෂයර්වල පිහිටා තිබෙන චාල්ස් කුමාරයාගේ මන්දිරයේ ගෙවත්තට වෙලා පොත් කියවන දර්ශනයක් පසුගියදා පළවුණා. ඒ නිසා තවම රජකම හිමිනොවුණත් ඉතාම සතුටුදායී ජීවිතයක් ඔහු ගෙවන බව සේයාරූවලින් පෙන්නුම් කරලා තියෙනවා.

- ඩේලි මේල් ඇසුරෙනි

► Text — Suranga