2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

හැඬූ දා කඳුළයි දකින්නේ සිනාවේ සරදම්...

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 330

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

ගී පද රචනය -  බන්දුල නානායක්කාරවසම් 
සංගීතය         - රෝහණ වීරසිංහ 
ගායනය         - සුනිල් එදිරිසිංහ

ආදරය වේදයකි. වැළඳුණොත් නිදන්ගත රෝගයකි.
එහෙමත් කියන ගමන් මෙහෙමත් කියා ඇත.
එක්වරක් ලියන්නට හැකි වුණොත් ප්‍රේමයක තේමාව
අවධි වෙයි අපි බිඳුණු තැන උපන් කොමාවක කෝමාව
එහෙමත් කියන ගමන් මෙහෙමත් කියා ඇත.

ඇසක අඳුරක
මඟක ගෙපැලක
අන්න එතනයි කඳුළු තිබුණේ

තුරුලු වී සිපගනී
අතැඟිලි
මතකයකි ලෙහ ලෙහා දැමුණේ
එහෙමත් කියන ගමන් මෙහෙමත් කියා ඇත

හිනාවුණු දවස් තිබුණේ ගොඩක් ඉස්සරය
හේතු නෑ තියෙන්නේ නොපැහැදිලි උත්තරය
එහෙමත් කියන ගමන් මෙහෙමත් කියා ඇත

පැටලිලා දියවුණත් රාත්‍රියකට උදය
තාම මතකයි නේද ප්‍රේමයක මුරපදය

එහෙමත් කියන ගමන් මෙහෙමත් කියා ඇත

ද්වේෂ සහගත
වෙන් කිරීමක
කැළැල් තිබුණා
බද්ධ පැලයක

මල් වඩම සිනාසිය යුතුය.. ඒ නමින් දිනූ රාජගුරු ලියූ කවි පොතේ පාරවල් දිගයි මා ඒ ඇවිද්දේ.. පැරැණි කවි, සංදේශ, කවිකාරයන්යැයි නම් ලද කිවිඳුන්ගේ කිවිඳියන්ගේ කවිකම් සොයා යන අතරේ අලුත් කවි පොතක් කියවන්නටද මට සිත් විය. 

අවසන සිඹිමි මම මේ කවි පදය..

වචන හිඟ දෙබසකදී කඳුළු හරියට බරය...
ප්‍රේමය වරෙක වවනයෙන් වියුක්ත නිහඬත්වයක්ම මිස අන් කවරක්ද? එහෙත් ඒ ශුන්‍ය අවකාශය තුළ දෑසින් දෑසට පාවෙන යාවෙන වචන අනන්තය විසල් නොවේද මේ මහා විශ්වයටත් වැඩිය...

සුන්දරය ලැබුණු දින - දුක්බරය බිඳුණු දින
එහෙමමය ප්‍රේමය... හිතෙයි මට එහෙමටම

හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

මහා සාගරයක් මුණගැසුණු දින පවස සන්සිඳුවන්නට දෝතට ගත් දිය දෝතේ කවර අගයක්දැයි ඔබටත් සිතුණේද දවසක.... වීසි කළ දිය දෝත බිඳිති සේ විසර ගිය ඉනික්බිති එකතු කර ගනු කෙලෙසකද යළි දිය දෝතක් සේ... ජීවිතයට නොහිම් වටිනාකම් එක් කළ ආදරණීය බැඳීමක් දුප්පත්යැයි සිතෙන දවසක ඒ බැඳීම හැරදා භෞතිකව පොහොසත්යැයි සිතෙන බැඳීමක් ළඟ නතර වෙන සිත් කොතෙකුත්ය. මා සන්තක මුළු ලෝකයම ඔබයැයි කියමින් සත්‍ය පාරමිතාවක් පූරණය කරන වෙසින්, භෞතිකව ජීවිතය ගොඩ නගා දෙන්නට කළ හැකි සියලු කැපකිරීම් කරමින්.. අධ්‍යාත්මිකව පූජනීය වූ ප්‍රේමයකින් හද මඬලේ හැම සියුම් ස්නායුවකටම අලුත් හුස්මක් දුන් ප්‍රේමයක හිනිමඟට අලුත් හිනිමඟක් හමුවූ දින නැගි වේගයටත් වඩා වේගයකින් මුදුනටම නැගිය හැකියැයි සිතෙන සිතුවිල්ල හේතුවෙන් පයින් ගසද්දී රිදෙන්නේ අත්නොහැර පෙම් කරන හිතටය..

පුර සඳක් නොආ දවසට අහසේ කළුවර මකන්නේ තනි තරුවක් විය හැක. තරැ පොකුරුත් පේළි සැදී පිටමං ගිය දවසට ඒ තනි තරුව රිදුණු අහස් සිතට මහා සැනසිල්ලක් ගෙනැවිත් දෙයි. ඒ රිදුණු අහස් සිත අස්වසයි. අඳුර අංශුමාත්‍රයකින් හෝ දුරලන්න සහන් එළියක් වේ.. ඒත් පුරපස සඳ නැගි දාකදී එදා කාත් කවුරුත් නැතුව තනි වූ අහසේ තනියට හැර නොගොස් ළඟින් හිඳි තරුවකට කවර සැලකිල්ලක්ද? ගැරහුමක්ම මිස...

ප්‍රේමයට මෙන්ම ජීවිතයේ හිත මිතුරු සබඳතාවයන්ට ද මේ යථාර්ථය වලංගුය. අඩිය තියා නැගි පඩිපෙලේම පසුකරගෙන ආ පඩියට කෙළ ගසන උන් එමටය. රන් බුමුතුරුණු පය පාමුල එලෙන දවසක කටු කොහොලින් පිරි මාවත්හි ඇවිද එද්දී දෙපා සැනසූ තණ පලස දුප්පත් වැඩිය.... ඇතිදා නැති අතීතය අමතක කළ උන්ට...

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්

ප්‍රේමය ජීවිතයකට කෙතරම් මානසික හව්හරණක් ශක්තියක් අභිමානයක් වූවාදැයි දැනෙන්නේ ප්‍රේමයේ සම්ප්‍රයෝගය වියෝවේ විප්‍රයෝගයක් වූ සඳය. සිනාවේ සතුට සිනාවේ සන්තුෂ්ටිය කොයි තරම්නම් සරදමක්දැයි හදවතට මුරගා කියන්නේ ඒ සිනා මල් පරවූ සොහොන් කොත් මතට අසෙනි කඳුළු වරුසා ඇද හැලෙන විටය.

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්.. මේ කියන්නේ මරණය ගැනදැයි තවත් වරෙක සිතේ. ජීවිතයේ ළඟින් උන් - උන් හා ප්‍රේමයෙන් වෙළී සිටි සඳ විඳි සතුට මරණයෙන් දුරස් වූ විට ඒ වේදනාවෙන් ආතුරව ඉකිලන හිතකට කඳුළ තරම් තවත් සරදමක් කොයින්ද? සිනාවේ සුවය විඳි හදවතකට කඳුළක සරදම මහමෙරක් තරම්ය. මහමෙරක් තරම් දන් දුන් සෙනෙහසක් වෙනුවෙන් ඉදිකටු තුඩක තරම් සෙනෙහසක් පෙරළා ලැබෙන විට දැනෙන වේදනාත්මක සාංකාව ද මහමෙරක් තරම්ය.

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි

ඒ ගඟ ජීවිතයයයි මට සිතේ. ජීවිතයේ ගැඹුර ස්පර්ශ නොකර ජීවිතයේ ඉවුරු කොනක හිඳ ජීවිතය පිරික්සන විට ජීවිතය අනන්ත වාරයක් සුන්දරය. සුමටය. ප්‍රේමයත් එලෙසමය. එහෙන් මෙහෙන් ඉඟියෙන් බිඟියෙන් පවසද්දී ප්‍රේමයේ හැම කතාන්දරයක්ම සුන්දරය. ප්‍රේමය ගනුදෙනුවක් බවට පත්වූ විට අධ්‍යාත්මික හා භෞතික නොගැලපීම්, ආකල්ප සම්ප්‍රදායන් හා අනේක සිතුවිලි හා ක්‍රියා ප්‍රවාහයන් තුළ ප්‍රායෝගිකව විඳින්නට වන අත්දැකීම් වරෙක වඩාත් රුදු විය හැක. ඒ අයුරින් එමෙන්ම අනෙකාගේ වටිනාකම් හැඟීම් සහ හදවත ගෞරවයෙන් භක්තියෙන් හා පූජනීය වූ ආදරයකින් කියවන්නට තරම් පූර්ණ ආදර ගනුදෙනුවකදී හදවතටත් ජීවිතයටත් ලැබෙන සතුට වචනයෙන් කිව නොහැකි තරමට සොඳුරු විය හැක. සුමට විය හැක.

ආලය
දයාව
රතිය

යථාවබෝධය එනයින් ආදරය අරුත් ගන්වන්නට මට සිතෙන්නේ එවන් පසුබිමකදීය.   එහෙත් සොඳුරුයැයි කලෙක හැඟුණු ප්‍රේමයේම රුදුකම්, අසංවේදීකම්, නොසලකාහැරීම් ද වරෙක විඳින්නට සිදුවේනම් ඒ නපුරුකම් ළඟ යථාර්ථයන් අත්විඳිද්දී හිත අප්‍රමාණ වේදනාවකින් රිදුම් දෙයි. ප්‍රේමයේ නොගැඹුරු ඉවුරක හිඳ හැඩ බැලූ ඉඹ බැලූ කුසුමක කටුක බව හිතට පසක් වෙන්නේ නටුවේ ගැඹුරට වැදී කටුවක රිදුම විඳින්නට වූ කලය.
නිසල ලෙස ගලා යන ගංඟාවක සිහිලස නෙතින් විඳ නොසෑහී තුරුලේ තුරුල් වී විඳින්නට ගිය ඇසිල්ලක අවසන ලැබෙන දෙය මරණය වියහැක.
ප්‍රේමයට සේම ජීවිතයටද ඒ න්‍යාය එලෙසින්ම වලංගුය.

සිහිලසක් වී ආත්ම ගින්දර නිවූ දිය පොදම සැඩ රළ පහරක් වී හුස්ම පොදත් ඈතට ගෙනයියිනම් නම් වරෙක
සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික ප්‍රේමයක් සොයා කුමටද?

මේ සියලු අරුත් නිරුත් අතරේ මේ ගීතය බෞද්ධ දර්ශනය තුළ දිගහැරෙන යථාවක් උදෙසාද දෙස් දෙයි. සොබාදහමේ සංසිද්ධීන් ඇසුරෙන් සරල සුගම සුන්දර වදන් අහුරක් ගොනුකර ගීතමය කාව්‍යයක් ඔස්සේ විවරණය කරන ඒ ජීවන සත්‍යනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා සියල්ල වෙනස්වන මියයන යථාර්ථයයි. සම්මුති මරණය තුළ නොමැරෙන ලොව සියල්ල මොහොතක් මොහොතක් පාසා මියයමින් පවතී. වෙනස් වෙමින් පවතී. එහෙත් ශරීරයේ ප්‍රාණ වායුව හිස් අවකාශයට මුහුවී හදවත නතරවීම තුළ සම්මත මරණය දකින පෘථග්ජන සත්ත්වයා ඒ මරණය නොදකී. ඒ මරණය ගැන, වෙනස්වීම ගැන, මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඇති කැළඹිලිසහගත සැලෙන ස්වභාවය ගැන පරාර්ථයෙන් තොර ආත්මාර්ථය ගැන, මේ ගීතය අපූරැ විවරණයක් සපයතැයි මට සිතේ. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර