තෙරේසා බර්කි කියන්නේ එංගලන්තයේ චෙල්සි පළාතේ ජීවත්වන කාන්තාවක්. දරු තුන්දෙනකුගේ මවක්වන ඈ, මේ වන විට දික්කසාද වූ තැනැත්තියක්. දික්කසාදයෙන් පස්සේ ඇය තවත් විවාහයක් ගැන කල්පනා කළේ තමන්ට තවත් දරුවෙක් ඕනෑ කියන හැඟීමත් එක්කයි. ඉතින් තමන්ට සුදුසු සැමියෙක් සොයාගැනීම සඳහා සහකරුවන් හොයාදෙන ඒජන්සියක සාමාජිකත්වය ගන්න ඇය තීරණය කළා.
සෙවන්ටි තර්ටි කියන එංගලන්තයේ තියෙන ජනප්‍රිය ඒ වගේම ඉහළ පෙළේ ඒජන්සියක සාමාජිකත්වය බර්කි අරගත්තේ පවුම් 12,600ක් වියදම් කරලයි. ලංකාවෙ මුදලින් ගත්තොත් ලක්ෂ 26ක් විතර. ඒ තරම් අධික මුදලක් වැය වෙන්න හේතුව මේ ඒජන්සියේ සාමාජිකත්වය ලබාගන්නේ එංගලන්තයේ ධනවත් සමාජයේ පුද්ගලයන් වීමයි.
කොහොම නමුත් බර්කි තමන්ට සුදුසු සැමියකු සොයාගැනීමේදී මූලික අවශ්‍යතා කිහිපයකුත් දාලා තිබුණා. එකක් තමයි අනාගත සැමියා මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන වැදගත් මහත්මයකු විය යුතුයි. ඊළඟ කාරණය තමා ධනවත් ජීවන රටාවක් ගෙනියන කෙනෙක් විය යුතුයි. ඒ වගේම ලෝකය පුරා සංචාරය කරන්න කැමති කෙනෙක් විය යුතුයි. ඒ සේරටම වඩා වැදගත් කොන්දේසිය වුණේ තමන් සමඟ තවත් දරුවෙක් හදන්න කැමති වීමයි.
නමුත් දින සති මාස අවුරුදු ගතවුණත් බර්කි හොයන විදිහේ සැමියෙක් එයාට ලැබුණෙ නැහැ. දවසින් දවස බලාගෙන ඉඳලා ඈට එපා වුණා. ඇය අන්තිමට තීරණය කළේ ඒජන්සියට විරුද්ධව නඩු පවරන්නයි.
බර්කි, විත්තිකාර ඒජන්සියේ සාමාජිකත්වය ගනිද්දි එයාට කියලා තිබුණේ ඇය හොයන විදිහේ අවිවාහක පිරිමි විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ඒජන්සිය සමඟ ලියාපදිංචි වී සිටින බවයි. නමුත් පසුව කරපු පරීක්ෂණවලදි හෙළිවෙලා තිබුණු විදිහට බර්කි ලියාපදිංචි වෙන අවස්ථාව වෙද්දි මේ ඒජන්සිය සමඟ ලියාපදිංචි වෙලා ඉඳලා තියෙන්නේ පිරිමි සීයක වගේ සංඛ්‍යාවක්. මේ හින්දා බර්කි නඩුව ගොනු වුණේ ඒජන්සිය අඩු පිරිමි සංඛ්‍යාවක් ඉන්දැද්දි විශාල පිරිමි සංඛ්‍යාවක් ඉන්නා බව කියමින් වංචා සහගත ලෙස තමන්ව එහි ලියාපදිංචි කරවාගත් බවයි.
කොහොම නමුත් ඒජන්සිය පැත්තෙන් ඉදිරිපත් වුණු තර්කය වුණේ බර්කි තමන් හා සම්බන්ධ වීමේදී ඊට අදාළ කොන්දේසි සහ නියමයන් ලේඛනය හරිහැටි කියවා අවබෝධ කරගෙන නැති බවයි.
මේ නඩුවේදී පැමිණිලිකාර කාන්තාවට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රේමයක්. ඈට අවශ්‍ය වුණු ප්‍රේමය ලබාදෙන බව කියමින් ඇයව රැවටූ බවක් තමයි මේ නඩුවේදී ඔප්පු වුණේ. සරලව කිව්වොත් ඈට යම් සේවාවක් ලබාදෙන බව කියමින් ඇගෙන් මුදල් ගෙන තිබුණත්, අදාළ ආයතනය එම සේවාව ලබාදීමට අපොහොසත් වෙලා. ඒක වරදක්! නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළා.
කොහොම නමුත් මේ ඒජන්සියේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ගැටලුවක් නැති බවත් විනිසුරු පැවසුවා. “මේක ඒජන්සියේ කටයුතු පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතැන ඇතිවුණු එකම ප්‍රශ්නය තමයි, ඒ මොහොතේදී ප්‍රමාණවත් තරම් පිරිමින් සංඛ්‍යාවක් ඒජන්සියේ ලියාපදිංචි වී නොසිටීම” ඔහු ප්‍රකාශ කළා.
දින ගණනාවක් පුරා නඩු කියූ ඈ අවසානයේ ජයගත්තා. ප්‍රමාණවත් පිරිමි සංඛ්‍යාවක් නොමැතිව කාන්තාවන් එහි ලියාපදිංචි කරවාගත් වරදට බර්කිට ඇය ගෙවූ ලියාපදිංචි ගාස්තුව වුණු පවුම් 12,600ක මුදලට අමතරව තවත් පවුම් 500කුත් ගෙවීමට ඒජන්සියට සිද්ධ වුණා.
► Text — Suranga