ලංකාවේ අපේ කලාකරුවන් දෙන්නෙක් ලංකාවටත් වඩා වැඩිපුරම ඉන්නේ විදෙස් ගතවෙලයි. ඒ අතරින් වැඩිපුරම ඉන්නේ නම් ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඉතින් කොච්චර කාලයක් පිටරට ජීවත් වුණාට මේ දෙන්නා අවුරුද්දට එක සැරයක්වත් ලංකාවේ ආදරණීය රසික රසිකාවියන් මුණගැහෙන්නට නම් එනවාමයි. ඒ වෙන කවුරුත් නොවේ. රෝහිත සහ රොහාන් කියන අයියමලෝ දෙන්නා. හැබැයි ඉතින් නම්වලින් කියනවාට වඩා අපි මේ දෙන්නාට ජය ශ්‍රී කියලා කිව්වොත්නම් ඔය කවුරු කවුරුත් දන්නවා. ඔන්න ඉතින් ජය ශ්‍රී මේ දවස්වල ඉන්නේ ලංකාවේ. ඒ නිසාම අපි ජයශ්‍රීලාව පොඩ්ඩක් මුණගැහෙන්න හිතුවා.
රෝහිත කවදා ද ලංකාවට ආවේ...?
අපි ආවේ නොවැම්බර් මාසේ. මේ කොහොමටත් අවුරුද්දට එක සැරයක්වත් අපි ලංකාවට එනවා. මේ පාර ඇවිල්ලත් අපිට කරන්න අලුත් වැඩ ගොඩාක් තියෙනවා. ප්‍රසංග කිහිපයක්ම බාර අරගෙනත් තියෙනවා. පෙබරවාරි මාසේ මුල වෙනකම් අපි ලංකාවේ ඉන්නවා. ඉතින් වැඩ ගොඩයි.
රෝහිත ඔය දෙන්නාගෙන් වැඩිමලා ඔයා...?
ඔව්... පැය තුනකට මෙයාට වැඩිමල්. ඉතින් ඒක නිසා මම තමයි අයියා. හැබැයි ඉතින් අපි දෙන්නා සහෝදරයෝ දෙන්නෙක් වගේම හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක් වෙනවා. ඇත්තටම මේක යාළුවන්ට එහා ගිය සහෝදරකමක් වගේම සහෝදරකමට එහා ගිය යාළුකමක්. ඉස්කෝලෙන් පස්සේ අපේ සෙරඩීප් බෑන්ඩ්එක පටන්ගනිද්දී බෑන්ඩ්එකේ කළමනාකරු වුණේ අපේ තාත්තා එතකොට මම ඩ්‍රම්ස් ගැහුවා.
පොඩි කාලේ රණ්ඩු කරන්නත් ඇති...?
අම්මෝ ඔව්... ඕන තරම් රණ්ඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒක බොහෝම කෙටි වෙලාවයි. ඉස්කෝලේ යාළුවෝ එක්ක මම රණ්ඩු කරද්දී මල්ලී ඇවිත් බේරාගන්නවා. මල්ලී රණ්ඩු කරද්දී මම ගිහින් බේරගන්නවා. කොහොමටත් අපි දෙන්නට ඒ කාලේ ඉඳන් හොඳ යාළුවෝ සෙට් එකක් හිටියා. මල්ලියි මමයි කොච්චර රණ්ඩු කළත් ඒවා කොලු කාලේ කරපු බොහෝ ජොලි රණ්ඩු විතරයි. අපි එදා ඉඳන්ම තාමත් හොඳ යාළුවෝ.
මුලින් ඕස්ට්‍රේලියාවට ගියේ රෝහිතද... රොහාන්ද...?
මුලින්ම ඒ රටට ගියේ අයියා (එහෙම කියන්නේ රොහාන්) එයා 1989දී ගියා. ඊට පස්සේ 1991 අවුරුද්දේ මාත් ඒ රටට ගියා. ඒ ගියාට පස්සේ තමයි ජය ශ්‍රී කණ්ඩායම හැදුවේ. ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ බංගලාදේශයේ දෙන්නෙකුත්, අප්‍රිකාවේ එක්කෙනෙකුත්, ඔස්ට්‍රේලියාවේ එක්කෙනෙකුත්, ලංකාවේ තව එක්කෙනෙකුත් ඉන්නවා. ඉතින් ජය ශ්‍රී දැන් ලංකාවේ විතරක් නෙවේ පිටරටත් හරි ජනප්‍රියයි.
රෝහිත මොන වගේ චරිතයක්ද...?
අයියා තමයි අපේ කොන්සට් හැම එකක්ම ප්ලෑන් කරන්නේ. එයාට හැම දෙයක්ම සැලසුම් කරන්න හොඳ හැකියාවක් තියෙනවා. කිසිම දේක අඩුපාඩුවක් තියන්නේ නැතිව අයියා හැමඑක්කම හරිම නීට්එකට ප්ලෑන් කරනවා.
ඒ කියන්නේ රොහාන්ට තියෙන්නේ ප්‍රසංගයට ගිහින් සින්දු කියන්න විතරයි... එහෙමද රෝහිත...?
ඔව්... ඒ කතාව හරියට හරි... මල්ලිට කිසිම දෙයක බරපතළක් නැහැ. එයා හරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. සමහරදාට මට කලින් දවසේ රෑ කියනවා “ඔන්න අපිට හෙට මේ ප්‍රසංගය තියනවා. කියලා. හැබැයි පහුවදාට ඒ හැමඑකක්ම අමතකයි. ඉතින් රොහාන්ට තියෙන්නේ මම කතා කළාම ලෑස්ති වෙලා වාහනයට නගින්න විතරයි.
ඒ කතාව හරියට හරි...
ඔන්න ඉතින් රොහානුත් අයියාගේ කතාව අනුමත කළා. එහෙම අනුමත කරලා නිකන් හිටියේ නැහැ. තවත් ඒ කතාවට අපූරු දෙයකුත් එකතු කළා. මම ලංකාවට ආවට පස්සෙත් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. උදේට අම්මගේ තේ එක බීලා නිදහසේ අහසේ පියාඹන කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නඑක තරම් සතුටක් මට තවත් නැහැ. මමත් හරියට නිදහසේ ඉන්න කුරුල්ලෙක් වගේ. මගේ අයියා ගෘහනිර්මාණ ශිල්පියෙක්. හිටපු ගමන් ඔය ගෙවල් අඳින වෙලාවලුත් තියෙනවා. හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ අපි ලංකාවට ඇවිත් අපේ අම්මත් එක්ක ඉන්නවා. ඒ වගේම අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දටත් අපි එනවා.
රොහාන් ඔය විලාසිතා කාගේ අදහසක්ද...?
මේ විලාසිතා මගේම විලාසිතා තමයි. පොඩි කාලේ ඩෙනිම් ඉරාගෙන ඇඳගෙන යද්දී අපේ අම්මා “මොකද පුතා ඉරුණු කලිසම් ඇඳගෙන යන්නේ... කියලා අනන්තවත් ඇහුවා. “අයියෝ... ඔයාට කලිසම් නැද්ද ඉරිච්චි කලිසම් ඇඳගෙන යන්නේ... කියලා අම්මා ඉස්සර කියනවා මට තාම මතකයි... මම කාගේවත් ස්ටයිල් කොපි කරන්නේ නැහැ. මගේම විලාසිතා රටාවක් මට තියෙනවා. මේ අතේ කරේ තියන මාල, බෑන්ඩ් මම රෑට නිදා ගනිද්දීවත් ගලවන්නේ නැහැ. වැස්සට තෙමෙනවා. ඒත් මට ඒක ගාණක් නැහැ. මේ හැම දේකටම මොකක් හරි විශේෂ සිදුවීමක් තියනවා. මගේ ළඟම හිතවතුන් දීපු සිහිවටන තමයි මේවා. ඒ නිසා මේ හැම එකක්ම අවුරුදු ගාණක් මගේ අතේ, කරේ තිබෙනවා. පිට රටවල්වල ගියාමත් ගත්තු මතකසටහන් පවා මේවාවල තියෙනවා. ඒ නිසා පරණ වෙලා මගේ අතින් ගැලවුණොත් හැර මම මේ කිසිම දෙයක් ගලවන්නේ නැහැ.
රෝහිත... මල්ලිගේ විලාසිතා ගැන මොකද හිතෙන්නේ...?
ඒක ඉතින් එයාටම ආවේණික විලාසිතා. මට මටම ආවේණික විලාසිතා තියෙනවා. සමහර තැන්වල යද්දීනම් මම “මල්ලි... ඕවා ටිකක් ගලවලා වරෙන්... කියලා කියන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් මේ හැමදෙයක්ම එයාගේ කැමැත්ත. කොච්චර කිව්වත් එයාගේ විලාසිතා එයා වෙනස් කරන්නේ නැහැ. ඒකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. එයා එයාගේ කැමති දේ කරනවා. මම මට කැමති දේ කරනවා. ඒ හැම දේටම කැමති රසික රසිකාවියන් පිරිසකුත් ඉන්නවා.
රෝහිත මොනවගේ චරිතයක් ද...?
එයා කාවවත් අනුකරණය කරන්නේ නැහැ. එයාට ඕන විදිහට එයා නිදහසේ ජීවත් වෙනවා. සමහර වෙලාවට මල්ලිට කේන්ති යනවා. අපි දෙන්නා සහෝදරයෝ වුණාට වෙලාවකට යාළුවෝ දෙන්නෙක් වගේ හිටියට අපි දෙන්නා අපේ වැරදි තිබ්බොත් දෙන්නට දෙන්නා පෙන්නලා දෙනවා. කේන්ති ගියාමත් ඉතින් ඒ වෙලාවට ටිකක් කෑ ගහනවා. හැබැයි ඉතින් ඒක එතනින් ඉවරයි. ලංකාවේ කලාවේ ඉන්න සමහර කලාකරුවන් එක එක ප්‍රශ්න ඇතිකරගත්තට අපි දෙන්නට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අපේ ගමන එකතුවෙලා යනවා. මේ රටේ දක්ෂ කොල්ලෝ ඉන්නවා නම් ඒ අයට අතදෙන්න වුණත් අපි කැමතියි. අපිට කා ගැනවත් ඉරිසියාවක්, වෛරයක් නැහැ. තමන්ට කරන්න පුළුවන් දේ හඳුනාගෙන, ගමනක් ගියොත් කාටවත් වරදින්නේ නැහැ. අපේ බෑන්ඩ්එක ඇතුලේ ලොක්කෝ නැහැ. බොස්ලා නැහැ.
රටවල් කීයකට විතර ගිහින් තියෙනවාද...?
ඒක තමයි කියන්න අමාරුම දේ. ගියපු රටවල් නම් ගොඩායි. සමහර රටකට වාර හතර පහකට වගේ ගිහින් තියෙනවා. ගියපු රටවල් ගණන් කරනවාට වඩා නොගිය රටවල් අඩුයි. හැබැයි ඉතින් මොන රටකට ගියත් අපි අපේ රටට හරි ආදරෙයි.
රොහාන්ටයි, රෝහිතටයි අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද...?
අම්මෝ අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා. ප්ලයිට් වැරදුණු අවස්ථානම් කීපයක්ම වෙලා තියනවා. අපි එක පාරක් ජයශ්‍රී කණ්ඩායම ඉතාලියට ප්‍රසංගයකට ගියා. ඒ ගමනට අපි දෙන්නා විතරක් නෙමේ. මුළු ජයශ්‍රී කණ්ඩායමම ගියා. ඉතින්... අපේ අනිත් සාමාජිකයෝ ලාංකිකයින් ගැන ලොකු පැහැදීමක් තියෙනවා. කීප වතාවක්ම ඒ අය ලංකාවට ආවා. ඒ නිසා ලංකාවට ඒ අයත් හරි ආදරෙයි. ලංකාවේ අයට හරි ආදරෙයි. ඉතින් ඉතාලියේ ගියපු වෙලාවක අපි අපේ ප්‍රසංගය හොඳටම තිබ්බා. හැබැයි සංවිධායකවරයා අපිට සල්ලි අරන් එනනම් කියලා ආවේම නැහැ. පහුවදා උදේ අපි ඉතාලියෙන් එන්නත් ඕනේ. බලාගෙන හිටියට සංවිධායක අවෙම නැහැ. ෆෝන් ආන්සර් කළෙත් නැහැ. අන්තිමට මොනවා කරන්නද... පහුවදා තිබුණු ප්ලේන් එකෙන් අපි එරටින් ආවා. ඒ ආපු ගමන් අපි දෙන්නා එකතුකරගත්තු සල්ලිවලින් අපි අපේ බෑන්ඩ්එකේ සාමාජිකයින්ට සියලුම ගෙවීම් දුන්නා.
ජයශ්‍රීගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද...?
ජයශ්‍රී සංගීත කණ්ඩායමේ එදා වගේම ලංකාවට ආදරෙයි. ඒ නිසාමයි 2019 අවුරුද්ද ලබද්දී ලංකාවේ ඉඳගෙන අලුත් අවුරුද්ද සමරන්න අපි ලංකාවට ආවේ. ඉතින් ලෝකේ වෙන රටකට ගියත් අපි අපේ රටේ ඕනෑම තැනක බිම ඉඳගන්න අපි ලජ්ජා වෙන්නේ නැහැ. අඳින පළඳින කතාකරන විදිහෙන් වෙනමම රසික පිරිසකුත් එකතුවෙලා ඉන්නවා. අයියටත් වෙනමම පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඉතින්... ලංකාවට අපි ආදරෙයි. ලංකාවේ හැමෝටම
ජය ශ්‍රී.
► Text - Dishani / Pic - Sumudu