2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඔබට පුදන මේ ලෝකයමයි හෙට  ඔබට එරෙහි වී නැගිටින්නේ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 439

පූජාසනයේ ඔබ හිඳුවා 
ඔබට පුදන මේ ලෝකයමයි හෙට 
ඔබට එරෙහි වී නැගිටින්නේ 
පූජාසනයේ ඔබ හිඳුවා 

ඉසුරින් කිත් යසසින් බබළන දා 
ඔබගේ බැණුමත් ගීයක් වේ 
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා 
සිනාසුණත් එය වරදක් වේ 

කිරියෙන් පැණියෙන් උතුරා යන කල 
ලොව ඔබ පාමුල හඬා වැටේ 
අත මිට හිඟ වී බෙලසුන් වන කල 
ලොව ඔබ හිස මත කඩා වැටේ 

ගී පද රචනය - සුනිල් ආරියරත්න 
සංගීතය   - එච්. එම්  ජයවර්ධන 
ගායනය - නන්දා මාලිනි

නවකතාකරුවකු, විනිශ්චකාරවරයකු වශයෙන් ද ඒ ප්‍රශ්න පාඨකයා නැමැති ජූරි සභාව වෙත යොමු කළ යුතුයි.. ඇන්ටන් චෙකොව් නම් ලෝකයේ මහා කෙටිකතාකරු ලෙස විශ්වීය සාහිත්‍ය ඇගයීමකට ලක්වූ රුසියානු දොස්තරවරයා ඒ කීදේ නවකතාවේදියකුට  පමණක් නොව ඕනෑම නිර්මාණයක් උත්පාදනය කරන නිර්මාණවේදියකුට සාධාරණයැයි මට සිතේ. මේ මොහොතේ මම  සභාවක ජූරි සභිකයෙක් වෙමි. එහෙයින් මේ අමතන්නේ ගී පද රචකයා නැමැති විනිශ්චකාරවරයාටයි.

දුක - සැප, ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා නැමැති අෂ්ඨ ලෝක ධර්මය නම් සනාතන චක්‍රය මේ ලෝකයට යන එන සියල්ලන්ටම සර්ව සාධාරණ වූ නියතයකි. ජීවිතයේ සියලු සංසිද්ධීන් ඒ නොවෙනස් යථාර්ථය තුළ සංසරණය වෙයි. උපේක්ෂාව ඒ ධර්මයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ හොඳම මාර්ගය වග බුද්ධ දේශනයයි. නියත දහමට අවසඟව යන කිසිත් මෙදියත නැත. ලෝකය වෙත පැමිණීමේ සිට නික්මයාම දක්වා අපි යනෙන සියලු මාර්ගයන් තුළ ඒ නොවෙනස් දහම අත්විඳින්නෙමු. අට ලෝ දහම යනු මහා වෘක්ෂයක් යැයි මට සිතේ. අපි ඒ වෘක්ෂය යට හිඳින්නෝ වෙමු. ඒ වෘක්ෂයෙන් අපේ හිස මතට වැටෙන ඵලය කවරක් වුවත් අප එය සම සිතින් දරා ගත යුතුය. එමෙන්ම දුක - සැප, ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රසංශා යන ඵල අටෙන් කවර ඵලයක් හෝ  ඒ ගසින් අපේ හිස මතට කොයි මොහොතක හෝ ඇද වැටිය හැක. ස්වභාවය එයයි. එහෙත් කවර ඵලයක් ඊළඟ මොහොතේ ජීවිතය හා වෙලී සිටියත් ජීවිතයේ යථාර්ථය මැනවින් දැක ඉවසිල්ලෙන් හෙට දවසක සුබ සිහින දකිමින් ජීවිතය සොයා යමින්  ජීවිතය සුමට ස්පර්ශයෙන් විඳින දා එය කොතෙක් සොඳුරුදැයි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුබ උදෑසන නම් කවි පොතේ එන ගොළුබෙල්ලා සහ පලා ගිරවිය නම් කවිය කියවද්දී මට සිතුණි.

ඉපල් වී අතු රිකිළි කෙසඟව
ඇඟිලි ඉල්පිණ නහර බහනින
උනා දලු මල් බරණ සියොළඟ
හඬයි වැන්දඹු වෙලා මහ ගස

බදා මහ කඳ, ඇලී ගසටම
සෙමින් ඉහළට ඇදෙන නොනැවත
ඉදින්, ගොළුබෙල්ලාණනේ තොප
කිම්ද මුදුනට නඟින කාරණ?
එකද දලුවක් නැතිව තුරුහිස
නිරාහාරව මියෙන්නෙය තොප^

ගිමත් මුළු කල නිමක් නොමැතිව
වයා මිණි වෙන ගැයුම් කළ තොප
නොදත් දේ ඇත පලා ගිරවිය
හඬන්නට නැත කරුණු මා ගැන

එකම මොහොතක් වුවද මරණය
ජීවිතය, මොහොතක් නොවේමය
වසන්තය යනු එක රැයක් නොව
ජීවිතේ මුළු මහත් වෙහෙසය

දුෂ්කරැයි හැර නොයා මහ ගස
සියල් දුක් බික් විඳ දරාගෙන
සෙමෙන් බඩගා තුරු සිරස වෙත
දිනෙක මුදුනට ළඟාවෙමි මම

එදින, දලු කොළ පැළඳි තුරුහිස
සිනා පොකුරක් ගෙන හිඳිනු ඇත

ජීවිතය නිර්වචනය කරන්නේ කවර අයුරකින්ද? අප ඉල්ලා හිඳින, නොඉල්ලන එහෙත් නොඉල්ලුවත් ලැබෙන සියල්ලේ එකතුව ජීවිතයයැයි මට වරෙක සිතේ. අට ලෝ දහම නැමැති මාර්ගයේ මරණය නැමැති තොටුපොළ දක්වා අප පැද යන යාත්‍රාව ජීවිතයයි. ඔබ මා වෙනස් වන්නේ විඳින අත්දැකීම්, සංසිද්ධීන්, බැඳීම්, සිහින, බලාපොරොත්තු අරමුණු සහ ඒ සියල්ල කෙරේ මගේ අධ්‍යාත්මික දැක්ම තුළ පමණි. සසර සුවිසැරිය තුළ හුදෙක් අපි සියල්ලෝම ජීවිතය හා මරණය තෙක් ජීවිතයක් හා ජීවත්වීමක් ඉල්ලා සිටින්නෝ වෙමු.

බුදුන් වහන්සේ වරක් දේශනා කළේ තමන්ට ගැලපෙන ඇසුරට යෝග්‍ය දුක සැප දෙකේදී අත්නොහැර ළඟින් හිඳින කලණ මිතුරන් ඇසුරට නැති සඳ හුදෙකලාව විසීම යෙහෙකිය යන්නය. අපි ලෝකයට ආදරය කළත් අපි ජීවිතයම කරගෙන යමෙකුට ආදරය කළත් ඒ ආදරයේ වටිනාකම ඒ ආදරයේ ගැඹුර තේරුම් ගත් ආදරයක් පෙරළා ලැබෙන ඉඩහසර සුලභ නොවේ. ස්වභාවය එයයි; බොහෝ වර ජීවිතයට වලංගු වෙන... අප ප්‍රායෝගික සමාජය ඇසුරෙන් අත්විඳින ඇතැම් දෑ බොහෝ විට බොහෝ දෑ වරෙක වඩාත් රුදුරුය. කටුකය. භෞතික වටිනාකම් මත සියල්ල තක්සේරු කරන එකී වටිනාකම් මත මිනිසුන්ගේ අගය තීරණය කරන ලෝකයකි, බහුතර මිනිස් ප්‍රජාවකි අප දෑස් අබිමුව සිටින්නේ... අධ්‍යාත්මික වටිනාකම් ධනය බලය වැනි සාධක මත පා ගැටෙන දුහුවිල්ලක් බවට පත්වූ බහුතර මිනිස් වගකින් අප - අප අත්නොහැර යන ප්‍රේමයක්.. ගෞරවයක්.. සැලකිල්ලක් ජීවිතය ගරා වැටෙන තැනකදීත් අපේක්ෂා කරන්නේනම් එය සමාජ යථාර්ථය පිළිබඳව අපේ නොපැසුණු බොළඳ මානසිකත්වය යැයි මම හඟිමි. සියල්ලට මූල්‍යමය වටිනාකමක්, තක්සේරුවක්, වෙළෙඳ අගයක් ලබාදෙන ලබාදෙන්නට උත්සාහ ගන්න සහ ලබා ගන්නට වෙහෙසෙන වාණිජකරණය වූ මමත්වය සමාජ පදනම කරගත් ලෝකයකින් අප මනුෂ්‍යත්වය සාරධර්ම සහ ස්නේහයේ සුසුවඳ  ඉල්ලා හඬා කුමටද? වරෙක අත්විඳින කටුක නීරස රුදුරු නපුරු අත්දැකීම් හද ගැඹුරට කොඳුරා පසක් කරන සත්‍ය එයම නොවේද?

පූජාසනයේ ඔබ හිඳුවා 

ඔබට පුදන මේ ලෝකයමයි හෙට 
ඔබට එරෙහි වී නැගිටින්නේ 

ලෝකයට අද වීරයකු වූ මිනිසෙක් හෙට ලෝකයට දුෂ්ටයෙක් උන්මත්තකයෙක් විය හැක. එක පරම්පරාවකට ශ්‍රේෂ්ඨ චරිතයක්, නිදහස් චින්තකයෙක්, මානව හිතවාදියෙක්, ලෝකයේ චින්තනමය වෙනසකට, දේශපාලන පෙරළියකට වග වූ අසහාය නායකයෙක්, ආදරණීය මිනිසෙක් තව පරම්පරාවකට තව යුගයකට දුබලයෙක්, වැඩවසම්වාදී චින්තකයෙක්, අන්තවාදියෙක්, අනුකාරකවාදියෙක් විය හැක. ලෝක ස්වභාවය ධර්මතාවය එයයි. මානව චින්තනයේ ස්වභාවය එයයි. තවත් වෙසෙකින් අරුත් පසිඳින කල ධනය බලය ඇතිදා අධ්‍යාත්මික වටිනාකම් කවරක් වුවත් කම්නැතැයි සලකමින් ඔවුන්ට පුදන ලෝකය ඔවුන් ධනයෙන් බලයෙන් පිරිහුණු දා අහම්බයෙන් මුණගැසුණත් නන්නාදුනන ප්‍රතික්ෂේපිත වදකාරයකු ලෙස සලකයි. එදා බුදුන් දවස රූපයෙන් රජවරුන් රජ කුමරුවරුන් වසඟයට ගත් එදා ගණිකාවන්ගේ මළගම් දා දහස්වරක් ඔවුන් සැනසූ ඒ ප්‍රාණ නිරුද්ධ සිරුරු බලන්න පැමිණි කිසිවකුත් ගැන සාහිත්‍ය දෙස් නොදෙයි. ලෝකයේ ආදරණීය ලෙස මිනිසුන් උන්මත්තක කළ සුරූපී තරු වැහැරී ගොස් එදා ඉල්ලුම නැති වූ දා ඔවුන් දෙස හැරී බලන්නටවත් කෙනෙක් නැති තරම්ය දවසක. ඒ ලෝක යථාව ගැන කදිම පිළිබිඹුවක් විවරණයක් ලෙස මේ ගීය අර්ථ දැක්විය හැක. සදාකාලිකව ජීවත් වෙන වෙසින් ලෝකයෙන් අදටත් ආදරය ලබන ලෝකය හැර ගිය චරිත එමටය. එහෙත් එලෙසින්ම මේ යථාර්ථයත් ලෝකයට වලංගුය. ජූරි සභික මගේ නිගමනය එයයි. 

පූජාසනයේ ඔබ හිඳුවා...

පූජාසනයක් යනු ගෞරව වන්දනාමාන සත්කාරවලින් පිදුම් ලබන සෙනසුනකි. සමාජය ධනයෙන් බලයෙන් පමණක් නොව ඇතැම්විට අභිමානයෙන් හැකියාවෙන් හා චින්තනයෙන් සමාජය තුළ නැගී හිඳින කෙනෙක්ට මුදුනතක තබා මහා අගයක් වටිනාකමක් දෙයි. එසේ පුදන ලෝකය ඒ ඉසුරු බල සෙන් පිරිහී ගිය දවසක අතීතයේ මේ මිනිසා කළ දේ වෙනුවෙන් නැත්නම් අතීතයේ ඔහු හිමි කරගෙන තිබූ බලය ධනය හේතුවෙන් නොසලකා නොහැරිය යුතුය යන සිතුවිල්ලට ඒනම් ඒ අතිශය කලාතුරකිනි. 

බොහෝ විට අත්විඳින්නට වෙන යථාර්ථය නම් 
ඔබට පුදන මේ ලෝකයමයි හෙට 
ඔබට එරෙහි වී නැගිටින්නේ 

ඇති දා පා දොවන්නට එදා රජ දවස සට්ටම්බි  රාළලා කළ කාර්ය වුවත් කරන්නට නොපැකිලි වූ කවුරුත් නැති දා ළඟ නැත. අපේ උත්තමයාණන් වහන්ස වැනි ආමන්ත්‍රණයන් එදාට අන්න අරූ, මූ යන පරිවර්තන බවට පත්වන්නට ඇතැම් විට මොහොතක්වත් ගත නොවෙන තරම්ය.

ඉසුරින් කිත් යසසින් බබළන දා 
ඔබගේ බැණුමත් ගීයක් වේ 

ගීයක් යනු මන පිනවන්නකි. වින්දනීය ඉසව්වක් වෙත අප කැටුව යන්නකි. යස ඉසුරු කීර්ති ප්‍රශංසාවන් මහා රැස් වළල්ලක් වී ජීවිතය පසෙකින් පහන් ටැඹක් වී දිලෙන සඳ ඔබේ බැණුමත් ගීයක් සෙයින් මිහිරිය. භෞතික කාරණාවන්ට මිනිසුන් හිස්මුදුනට දෑත් ගෙන කරන වන්දනය ඒ ගී පද මැනවින් අරුත් දක්වයි.

ඉසුරින් කිත් යසසින් පිරිහුණ දා 
සිනාසුණත් එය වරදක් වේ 

මිනිසුන් වන්දනීයත්වයෙන් බුහුමන් දැක්වූයේ නමස්කාර පූර්ව භක්තියෙන් හිස නැමූයේ භෞතික වටිනාකම්වලට මිස අධ්‍යාත්මික ගුණාංගවලට නොවන බව මේ ගීපද සඟවා කියන යථාර්ථයයි. මක්නිසාදයත් අධ්‍යාත්මික ගුණාංග විෂයෙහි භක්ති පූර්ණ වූයේ නම් ඉසුරු ජීවිතය හැරගියත් අභිමන් මිසක් ගැරහුම් උරුම වෙන්නට හැටියක් නැත. වත්පොහොසත්කම් යස ඉසුරු ඇතිදා බැණුමත් ගීයක් වී ඒ සියල්ල නැති දා තිළිණ කරන සිනහව වරදක් වෙන්නට විදිහක් නැත. බැණුමත් ගීයක් වේ - සිනාසුණත් එය වරදක් වේ යන පද ඔස්සේ පිළිබිඹු කරන සත්‍ය මිනිස් ස්භාවයේ නරුම ලීලාවන් දෙඇස් හඬවන තරම් රුදුරැය. නපුරුය.

කිරියෙන් පැණියෙන් උතුරා යන කල 
ලොව ඔබ පාමුල හඬා වටේ 
අත මිට හිඟ වී බෙලසුන් වන කල 
ලොව ඔබ හිස මත කඩා වැටේ 

වචන තවත් ඇවැසිද මේ සත්‍යයේ ගැඹුර පහදන්නට? අවැසි නැති වග මේ යථාර්ථයන් විඳි නොවිඳි දුටු නොදුටු ඔබ සැමගේ උත්තරයයැයි මට සිතේ. 

අසුන්දර ඒ සත්‍යයේ ගැඹුර ඔබට වටහා ගත හැකිනම් ඔබ විසල් මුදුනතක සිට මහා ප්‍රපාතයක දිනෙක ඇද වැටුණත් ඒ සියල්ල උපේක්ෂා ගුණ පෙරදැරිව දරා ගන්නට ඔබට ශක්තිය හිමි වෙනු ඇත. මුළු ලොවම ඔබ හැර ගියත්, ඔබට පිටුපෑවත්, ඔබට අවසඟව ගියත්, තමන් හිසට තම අතමය සෙවණැල්ල යන ඇත්ත ඔබ එක් වරට සිය වරක් පසක් කළත් ඔබ ඔබට ඔබව අහිමි කර නොගනු ඇත. මුළු ලෝකයම ඔබ පය පාමුල කඩා වැටුණත් ඔබ වේදනා කඳුළු මඟහැරීම් සවිමත් පියාපත් යුගලක් බවට පරිවර්තනය කරගෙන ඔබේම අහසක ඔබ ඉගිල්ලෙනු ඇත.

ජීවිතය තිත්තයැයි 
කෙළ ගසන්නේ කුමට - (රත්න ශ්‍රී)

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00